Sunday, 21 April 2019

මේ ඒ ඛේදවාචකයට ගොදුරුවූ කොච්චිකඩේ දේවස්ථානය පසුබිමේ......




‘‘ඔහු කහපාට ඉටිපන්දම් අස්සෙන් මට පෙනුනෙ කොච්චිකඩේ පල්ලිය  ඉස්සරහ. බලාපොරොත්තු පුරවා ගත්ත ඇස්වලින් පාර කෙලවරත් යන එන ටැක්සි දිහාත් බලලම ඔහුගෙ ඇස් විඩාවෙලා තිබුණා. කොටින්ම මං ළඟට යනකං ඔහුට මාව පෙනුනෙ නෑ.
”ආ..... ඔයා.... මෙතන.... පොඞ්ඩක් ඉන්න මගෙ පපුව ගැහෙන වේගෙ... පොඞ්ඩක් අල්ලල බලන්න.’ ඔහු පපුව ඉස්සරහට කළා.
මං ඔහුගෙ පපුවට අත තිබ්බේ නෑ. හිනාවුනා විතරයි. කමිසයේ ඇරපු බොත්තම ආපහු දා ගත්තා. කොටුවේ ඉඳං පයින් ම ඇවිල්ල ඔහුගේ පපුවේ පදාසයක් ම දාඩියෙන් තෙමිලා.
‘බස්සෙකෙක එන්න තිබුණනේ’
‘හ්ම්’
.ඇයි නාවෙ’
‘අපරාද සල්ලිනෙ....’
‘සල්ලි අතේ තියෙනවා ද ’
‘ඔව්’ හීන්දෑරී ඔහුගේ මුහුණේ පැහැබර උද්‍යෝගය ටිකක් අඩුවුණ බව මට පෙනුණා. තොල් අතර දිදුලපු පුංචි හිනාව ඒ හිනාවත් එහෙම තියෙද්දිම ස්ථිතික වුණා.
ඉටිපන්දම් දෙකක් අරගත්ත මං සල්ලි ගෙවන්නත් ඉස්සර ඔහු ඉස්සර වුණා. ඒත් ඔහුටත්  ඕනෑ වුනා සල්ලි ගෙවන්න. පර්ස් එක කලිසමේ පිටුපස්සෙ සාක්කුවෙ තිබුණත් ඔහු සල්ලි ගත්තේ ඉස්සරහ සාක්කුවක තිබිලා. ඒකෙන් කියවෙන කතාව මං දැනං හිටිය. කඳුළු බිංදු එළියට පනින තරම් වේගයකින් මගෙ පපුව හෝස් ගාලා පත්තු වුණා. ඒත් කඳුළු එළියට පනින්න ඉඩ දුන්නෙ නෑ. මං සල්ලි ගෙව්වට පස්සෙ ඔහු තවත් ඉටි පන්දම් දෙකක් ගත්ත. ඉටිපන්දම්කාරයා පුදුමෙන් වගේ බලං ඉඳලා ඔහුගේ සල්ලි ගත්තෙ. ගත්ත ඉටිපන්දම් දෙක මට දීලා මං ගත්ත ඉටිපන්දම් ඔහු ගත්ත.
”යං”
මං ඉස්සර වුණා. ඔහු මා පස්සෙන් මාව අනුව ආවා.
”ඔයත් එක්ක එකට යනකොට මට හරි ආඩම්බරයක් දැනෙනවා.”
ඔහු වරක් දෙකක් කොහේදිද මට කියලා තිබුණා. විටින් විට ඒවට හේතුත් කියලා තිබුණා.
සිය ගානක් ඉටිපන්දම්වලට තව හතරක් එකතු වුණා. කලිං දැල්වෙච්ච ඉටිපන්දම් තිරවලින්ම මේ ඉටිපන්දමුත් පත්තු කර ගත්තා. පල්ලියෙන් එපිට ගිනි මද්දහනෙ දැවෙන කාෂ්ටකේට වැඩියි ඉටිපන්දම් රස්නෙ. ඉටිපන්දම් ගිනි මැලයට ඉහළින් අන්තෝනි මෑණියෝ අපෙ දිහා බලාන ඉන්නවා. අපිත් උන්නාන්සෙ දිහා බලාගෙන හිටියා.
‘මොනවද ඉල්ලූවෙ’ .......... ඔහු අහනවා.
‘මොකුත් නෑ......’
‘ඇයි.....’
‘මොනව ඉල්ලන්න ද? ’
‘ඇයි අපි ගැන’
‘ඉතිං මේ අපි ඉන්නෙ.... ඒ මදි ද? මං ටිකක් හයියෙන් හිනාවුණා. ආයෙත් ඔහුගෙ මූන සුදුමැලි වුනා.
‘මට මේක සෙල්ලමක් නොවේ.’ ඔහු කියනවා.
‘මටත් සෙල්ලමක් නෙවේ. ඒත් මම අපි මේ කරන වැඬේට නමක් හොයනවා....’
‘ඒකට ආදරේ කියන්න මං පුංචි ද? මං මදි ද?’ ඔහු අහනවා.
වචනයක් පිට නොකර මං ඔළුව හෙල්ලූවා...
‘‘ කල් - අකල් වැහිවලට තෙමුණු තුන් දෙනෙක්’’
මවිසින් රචිත ’ඊළගට තනාගත් ලෝකය’’ කෙටිකතා සංග‍්‍රහයෙන්



2 comments:

  1. සත්තකින්ම ඉතා සුන් දර කෙටි කතාවක්! දෙයියනේ අත්තටම මේ ඒ දෙවොලම නොවේද?

    ReplyDelete
  2. කතාව ලස්සනයි ..පින්තුරය කැතයි

    ReplyDelete