Monday 28 January 2019

තිස්ස,මේ අඹ ගස් හැර තවත් අඹ ගස් තිබේද? මේ සරච්චන්ද්‍ර හැර තවත් සරච්චන්ද්‍රලා සිටිත් ද?


සරච්චන්ද්‍රයන් ලංකාවේ සාමානයන් බොහෝ ගණනක් අතරින් අධිනිශ්චය වූ චරිතයකි. ඔහු නාට්‍යකරුවකු වීම පමණක් නොව, සම්ප‍්‍රදායකට මුලපිරීමත් එමගින් ලංකාවේ හැඩරුව වෙනස් කිරීමට දායක වීමත් හේතුවෙන් ඔහුට ගරු නම්බු බොහෝ ලැබිණ. උපතින් සියවසක් ගෙවා ඇති ඔහුගේ ජීවිතය පුරාවෘත්තයක් තරමට සමාජය තුළ එසවී ඇත. ඒ සඳහා ඔහුගේ ගෝලබාලයෝද මහා මෙහෙවරක් කර තිබේ. මේ සියල්ල හේතුවෙන් මියගියත් නොමැරුණු චරිතයක් බවට සරච්චන්ද්‍රයන් පත්වී ඇත. ඇත්ත වශයෙන්ම එය සමාජයේ ශිෂ්ට සම්පන්න ජයග‍්‍රහණයකි.
සමාජයට මෙහෙවරක් කරන්නේ කලාකරුවන් පමණක් ම නොවේ. සමාජ විද්‍යාඥයෝ, විද්‍යාඥයෝ, ඉතිහාසඥයෝ ඇතුළු  බොහෝ දෙනා කරන්නේද මෙහෙවරකි. දියුණු සමාජයන්හි ඒ කළ මෙහෙවර අනුව ඒ සියල්ලෝ ම එක සේ අධිනිශ්චය වෙති.
උදාහරණ ලෙස ගතහොත් ගණනාත් ඔබේසේකර වැන්නෙකු සමාජ මානව විද්‍යාඥයකු ලෙස සිය විෂය ක්ෂේත‍්‍රය තුළ කළ මෙහෙවර පරිමාණව සරච්චන්ද්‍ර මෙහෙවරට දෙවෙනි නොවේ. විද්වතකු ලෙස ලෝකය ජයගැනීමේ දී ජාත්‍යන්තර බහුමාන ලැබීමේදී සරච්චන්ද්‍ර පරයා යයි. එහෙත් එතුමන් විශිෂ්ට ලංකා පුත‍්‍රයකු ලෙස ශ‍්‍රී ලංකාව තුළ අධිනිශ්චය නොවුණේ ඇයි? (ලංකාවේ බිහිවුණ නායකයන් අතරින් නූතනත්වය යම් පමණකින් හඳුනන චන්ද්‍රිකා හා රනිල් හැරුණුකොට ගණනාථ ඔබේසේකරයන් කවුද? ඔහුගේ මෙහෙවර කුමක්ද යන්න කවුරුත් නොදන්නා බව නිසැකය.)
ආචාර්ය කුමාරි ජයවර්ධන 19  වන සියවසේ හා ඉන් මෑත ඉතිහාසයේ සමාජයේ ගතිකයන් සිය පර්යේෂණ විෂයයන් රටට ලොවට පහදා දුන් අනුපම ශාස්ත‍්‍රීය මෙහෙවරක් කළ තැනැත්තියකි. ඇගේ බරසාර ග‍්‍රන්ථ මාලාව ම එයට උදා උදාහරණ වෙති. එහෙත් ඇය සමස්ත සමාජය තුළ අධිනිශ්චය නොවුනේ ඇයි?
සිය ප‍්‍රභූ උරුමය අනුව බොහෝ මාවත් තෝරාගැනීමට තිබියදී පුරාවිද්‍යාව තෝරාගත් මහාචාර්ය ශිරාන් දැරණියගල සිය ක්ෂේත‍්‍රයට කළ මෙහෙවර අනුව යුගකාරක පුරුෂයකු ලෙස සමාජය තුළ අධිනිශ්චය නොවන්නේ ඇය?
තව බොහෝ සිටිති. ඔවුනට සරච්චන්ද්‍රට ලැබුණු වාසනාව නොලැබිණි. කලාව මෙන්ම අනෙකුත් සමාජයීය විද්‍යාවන් ද, ශුද්ධ විද්‍යාවන් ද එකසේ සමාජය තුළ ගරු නම්බු ලබමින් පරිහරණය විය යුතුය. ඒ මෙහෙවරයන්හි නිර්මාතෘවරු සමාජය තුළ සමානව අධිනිශ්චය වියයුතුය. සමබර සමාජයක් වන්නේ එවිටය.



2 comments: