Saturday 5 November 2016

අමරදේව





 

පුන්සඳ ඇවිදින්නා සේ මගේ හදවත මතින්... කිව නොහැකි
ගැඹුරක්..... කිව නොහැකි සාඩම්බර හැගුමක්.....

නොදරුවකු වූ මට, මගේ අම්මා සිය තන පුඩුවෙන් කිරි උරා
බොන්නට සලස්වා.... ඒ මදිවට කී නැළවිලි ගීත් ඔබේය.

තරුණ, ගැටවර වියේ, ප්‍රේමයේ කුමුදාන අවදිව ලියූ ප්‍රේමයේ
පොරොන්දු කවියත් ඔබේය.

ප්‍රේමය සැලමුතු වී ලෙයින් ලියූ
කවියත් ඔබේය.
 
 
පිය පදවිය ලැබූ දා උදාරම් ලෙසින් සටහන් තැබූ කවියත් ඔබේය.
 
සැලමුතු පෙම මල්වී පරවී ගිලිහී වැටුනදා ගැයූ පසුතැවිලි කවියත් ඔබේය.
 
මැදිවියේ මෝදු වූ ප්‍රේමයේ හා ඒ හා උපන් සංතාපයෙන් යුතුව
උස් ස්වරයෙන් හැඬු හැඩුමේ තනුවත් ඔබේය.

මැදිරිගිරිය වටදාගේ අසලින් සොරා ගත්තේ
සඳකඩ පහනක් වූ ඔබේ ගීතයක් ය.
 
මහවැලි වතුර ලෙස පොල්ගොල්ලෙන් රජරටට මුදා හැරියේත්
ඔබේ රැකවල් ලූ ගීතයක්ය.

සැවුලන් උදෑසනින් අවදිව ලොවම අවදි කරවන්නේ
සොරාගත් ඔබගේ තනුවේ කොටසකිනි.
 
මීට විසි වසරකට පෙර, ගමේ ගුරුන්නාන්සේ තැනූ මල් යහනෙන් නැගුණු
ගොක් කොළ සුවඳ, පුවක් මල්, පොල්
මල් සුවඳ, නික, ගම්මිරිස් කොළ සුවඳෙහි ද, ඔහු ගයද්දී ආතුරයා වී
මා අසා සිටි මල්යහන් කවිවල ද ඔබේ ගීතය තිබිණ.
 
නගරයේ ගෙන්දගම් අව්වෙන් හොඳටෝම කේඬෑරි වී,
අම්මාගේ දස අවුරුදු දානයට ගමේ ගිය දා, රජමහ වෙහෙරේ බිතු සිතුවම් යළිදු නැරඹුවෙමි.
තේමිය ජාතකය ද, වෙස්සන්තර ජාතකය ද, ඇඳ තිබූ ඒ පනේල අස්සෙන් ආ
පැරණි සුවඳෙහි ඔබේ ගීයේ සමහන් බව තිබුණි.
 
රජමහ වෙහෙර වට කොට තිබූ පූදින නිල් ගොයමෙහි සිහිලැල් සුවඳ,
මුවින්, සවනින්, දෙනෙතින් විඳි විටක ඔබේ ගීතය ද, ඔබේ රූපකාය ද මතක් විය.
 
වෙහෙරෙන්, බෝධි මළුව වෙන් කළ තැන ඇති පියගැට පෙළෙහි හිඳ අසනා
බෝධියේ සිලි සිලි හඬෙහිත්, සුදෝ සුදු සෑ රදුන් දැකීමෙන් ඇතිවන,
මහා නිවී සැනසීමේත්, ඔබේ ගීතයද තනුවද විය.
 
සියුම් රාවයක් සහිත බීතෝවන්ගේ මහා නාදාවලියෙන්,
සුවයේ පරමය භූක්ති විඳින කල,
හංසවිලේ හැම තැනම සිනාසෙන හැම තැනම ලතවෙන නාදයන් ගේ, රසය විඳින කල,
ඒ විඳීම නම් ලොව්තුරා සුවය පහදා දුන් මුනිවරයා ඔබය.
 
කල් කර්ම, අකල් කර්මයන්ගෙන් මිදුණු, වස විසෙන්,
කලි කලහයෙන් තොර, කුනුහරුප, රැවුම් ගෙරවුම් නැති,
කුල ගොත් නොවිමසන ලෝකයක පරමානන්දයේ
 
නාදේශ්වරයාණෝත් ඔබය.

(මගේ 'කැට කිරිල්ලී '(2010) කෘතියේ මවිසින් අමරදේව දෙවිදුන් පිදූ හැටි......)

No comments:

Post a Comment