Thursday 7 April 2016

ඡන්ද දායක සමාජයක සිට පුරවැසි සමාජයක් දක්වා



2011 දී ජපානයේ තොහෝකු (Tohoku) නගරයේ සිදු වූ බිහිසුණු භූමි කම්පාව නිසා ඇතිවූ ව්‍යසනයේ භෞතික හානි විශාල ප‍්‍රමාණයක් සමනය කර ගැනීමට එරට මේ වන විට සමත් වී තිබේ. ඒ හපන්කම ඔවුනට කළ හැකි වූයේ රාජ්‍ය හා එහි සහන සේවකයන්ගේ කි‍්‍රයා කලාපයන් හේතුවෙන් පමණක් නොව ජපන් ජනතාව ප‍්‍රගුණ කොට ඇති යහපත් ගුණාංග සමුදායකගේද ශක්තියද නිසාය. මේ භූමිකම්පාව ආශි‍්‍රත පීඩාකාරී අවස්ථාවේ පවා ජපන් ජනයා ආත්මාර්තකාමී නොවී සමාජය ගැන පොදුවේ සිතීම මේ ශක්තියට හේතුවය.
මේ එයට ගත හැකි එක උදාහරණයකි. තොහෝකු පළාතේ භුමි කම්පාව නිසා විදුලිබලය ජල සැපයුම ඇණහිටි අතර ආහාර පාන මිළදී ගැනීමේ අර්බුදයකට පවා එහි ජීවත් වූ ජනයා ගොදුරුව සිටියේය. කෙසේ හෝ දින කිහිපයක් ඇවෑමෙන් යම් මට්ටමකට පිළිසකර කර ගත හැකිවූ සුපිරි වෙළඳ සැලක ඇති ආහාර ද්‍රව්‍ය මිළදී ගැනීමට දිගු පෝලිමක් විය. පළාතේ විදුලි බලය ඒ වන විටත් යථා තත්ත්වයට පත්ව තිබුණේ නැත. වෙළෙඳ සැල් හිමියා ජෙනරේටරයක් මාර්ගයෙන්  මුදල් අයකරන හා රිසිට්පත් නිකුත් කරන යන්ත‍්‍රය තාවකාලිකව සකසා ගෙන තිබිණ. විවිධාකාර භාණ්ඩ කූඩා සහ පාරිභෝගික කරත්තවල  දමාගත් පාරිභෝගිකයෝ සුපර් මාර්කට්ටුව තුළ දිග පෝලිමක සිටින්නේ මුදල් ගෙවීම සඳහාය. සැලකිය යුතු ප‍්‍රමාණයකට භාණ්ඩ සඳහා මුදල් ලබාගෙන කටයුතු නිමවද්දී පරිශ‍්‍රමයෙන් සකසා ගත් ජෙනරේටර් යන්ත‍්‍රයද කි‍්‍රයා විරහිත විය. තවදුරටත් කටයුතු පවත්වාගෙන යාමට නොහැකි බව තේරුම් ගත් වෙළෙඳ සැල් හිමියා ඒ ගැන සමාව භජනය කරන ලෙස පෝලිමේ බඩු භාණ්ඩ රැුගෙන රැුඳී සිටින අවශේෂ ජනයාගෙන් ඉල්ලා සිටියේය. අවස්ථාව තේරුම් ගත් එකී බඩු මිලදී ගැනීමට නොහැකි වූ පෝලිමේ සිටි උදවිය ඉතා සන්සුන්ව තම කූඩා හා පාරිභෝගික කරත්තවල තිබුණු භාණ්ඩ නැවතත් ඒවා නිසි පරිදි තිබූ තැන්වල තබමින් අවසන සන්සුන්ව නික්ම ගියේ දැරූ උත්සාහයට හා එතෙක් කළ සේවාවට වෙළෙඳ සැල් හිමියාට ස්තුති කරමිනි. මට මේ දර්ශනය ඇතුලත් යු ටියුබ් වීඩියෝව හා සඟරාවක පළවු සටහන එවා තිබුණේ රංජිත් බන්දුලහේවා සොහොයුරාය. මේ එකල ජපානයේ එවැනි සිදුවීම් ගණනාවක එකක් පමණකි. ඒ යහපත් පුරවැසි සමාජයක ජනතාව හැසිරෙන හැටිය. අවස්ථාව හා අවශ්‍යතාව සූක්ෂමව තේරුම් ගැනීමට ඔවුන්ට පුරුදු පුහුණුකම් ඇත්තෝය. බොහෝ දියුණු බටහිර රටක වුවද තත්ත්වය මෙයම විය හැකිය. දියුණු පුරවැසි සමාජයක අයහපත දකින්නේ, සමාජ උවදුරක් පමණක් ලෙස නොව, තමාද අයත් සමාජයට වන උවදුරක් ද ලෙසිනි.

එහෙත් අප මෙන්ම බොහෝ තුන්වැනි ලෝකයේ රටවල් එලෙස සිතීමට අකමැතිය. එක්කෝ එවැනි සිතීමක් අපට පුරුදු නැත.
ඒකාධිපතිවාදය වෙනුවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය තෝරා ගැනීම නරක වෙනුවට හොඳ තෝරා ගැනීමේ එක් කඩඉම් අවස්ථාවකි.  එහෙත් ඒ ඓතිහාසික අවස්ථාවේ සිට ඉතිහාසය තව දුරටත් නොනවතින ගමනක් ගොස් ඇත.
ජපානයද අපේ රටේ මෙන්ම මහජනයාගේ ඡන්දයෙන් පාලකයන් තෝරා ගැනීමේ ක‍්‍රමවේදයක් අනුගමනය කරයි. කැනඩාවද ඇමරිකාවද යුරෝපයේ රටවල්ද ඉන්දියාවද අපි‍්‍රකාවේ බොහෝ රටවල් ද පාලකයන් තෝරා ගැනීමට අනුගමනය කිරීමට පාවිච්චි කරන්නේ එකී ක‍්‍රමවේදයමය. ලෝකයේ අංක එකේ ¥ෂිත පාලකයෙකු වන උගන්ඩාවේ මුසවේනි තම පාලකයා වශයෙන් පස්වන වරටත් තෝරා ගැනීමට උගන්ඩානු ජනතාවට හිරිකිතයක් නැත. ඉතාම සාරවත් පොහොසත් රටක් දිළිඳුම රටක් බවට පත් කළ රොබට් මුගාබේ නම් සිම්බාබ්වේ හි පාලකයා අවුරුදු පනහකට ආසන්න කාලයක් තම පාලකයා වශයෙන් තෝරා ගැනීමට සිම්බාබ්වේ ජනතාවටද හිරිකිතයක් නැත. ශී‍්‍ර ලාංකික දේශපාලන ඉතිහාසයේ අක‍්‍රමිකතා ගැන වඩාත්ම නම කියවෙන පාලකයා වූ මහින්ද රාජපක්ෂ අහම්බයක් සේ බලයෙන් ඇද වැටුණු නමුත් ඔහු වටා රොද බැඳ ගත් ජනතාව යයි කියන පිරිස් ඔහුගේ අපිරිසිදු අතීතය අමතක කිරීමට සූදානම්ය.
ජීවිත දෙස සානුකම්පිතව බැලීමට පෙළඹවීමේ වෑයමක් ස්ථාපිත බොහෝ ආගම් විසින් දරා තිබේ. ඒ අතිනුත් බුදු දහම විශේෂිතය. ජීවිත දෙස සානුකම්පිතව බැලීමේ වෑයමේදී පළමුව බැලිය යුත්තේ තමන්ගේ ජීවිතය දෙසය. එයට අවශ්‍ය කෑම බීම ඇඳුම් පැලඳුම් නිවාස ආදිය පමණක් ඇතුලත් තිරිසනුන්ට පවා අවමව හිමිවිය යුතු අවශ්‍යතා ගැන පමණක් නොව ගෞරවයෙන් යුතුව ජීවිතය ගෙවිය හැකි සමාජ වටපිටාවක්ද ඒ අවශ්‍යතා ලැයිස්තුවට තිබිය යුතුය. සජීවී සංස්කෘතිය නැමති කි‍්‍රයාවලිය මිනිසාගේ ජීවිතයට මැදිහත් වන්නේ එම අවස්ථාවේදීය. ටොන් ගණනින් වසර දහස් ගණනක් පැරණි පුරා වස්තු තමා ජීවත්වන භූමියෙන් ගොඩ ගත්තාට, බුදුන් දෙවරක් පැමිණ එකී පොළොවේ පා තැබුවාට, දඬු මොනරයක නැගී අසල්වැසි රටේ ගැහැනියක සොරාගෙන ආ රජෙකු හිටියා යයි කියන කෙප්ප දෙසා බෑවාට, ඒවායින් මිනිස් ජීවිතවලට ඇතිවන සංස්කෘතික උත්තේජනයක්  නැත.
             
 රජා , පාලකයා තම ජීවිතයේ කුදු මහත් කටයුතු වලට වැද්ද ගන්නේ ස්වකීය ඥාන මණ්ඩලය හා පරිකල්පනය මෙහෙයවා කලහයෙන් තොරව සමාජයක ජීවත්වීමට නොහැකි මිනිස් සමාජයන්ය. ඡන්දය (ස්ව කැමැත්ත) නමින් ඉතිහාස කඩ ඉමකදී යම් වැදගත් දෙයක් නිර්මාණය වුවත් එය මිනිසාගේ වහල් චින්තනය එහි සමස්ථ අරුත භුක්ති විඳීමට ඉඩ නොදෙයි.
අද අපේ රටේ ඇත්තේ පක්ෂවලට බෙදුණු ඡුන්දදායක සමාජයක් විනා පුරවැසි සමාජයක් නොවේ. පිරිසක් මහින්ද රාජපක්ෂ දේවත්වයට ඔසවා සිටින අතර, පිරිසක් රනිල් වික‍්‍රමසිංහ දේවත්වයට ඔසවා තිබේ. ඔවුන්ගේ වහල් චින්තනයේ පුරුදු පුහුණුකම් අනුව තමා තැනූ දෙවියන් වහන්සේලාගේ කට කඳත්, අධෝ වාතයන් දෙකම සඳුන්  සුවඳක් සේ ගනිති. ඔවුන් කරන විනාශය නොදකිති. ඔවුන් කරන හොඳක් වෙතොත් එය හොඳක් ලෙස ඔවුන්ම කියා දෙන තෙක් එය හොඳක් සේ නොගනිති.
ස්වකීය ඥාන මණ්ඩලය මෙහෙයවා සිතන, කතා කරන, කෑ ගහන, කරුණාභරිත වන, විරෝධය දක්වන ජනතාවක් දැන් අපට අවශ්‍යය. දැන් අපේ ගුණධර්මද නිර්මාණශීලී චින්තනයද, හොඳ නරක හඳුනා ගැනීමේ ශක්තියද හීන වී ගොසිනි. නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අරමුණු වූයේ පොදුවේ ජනයාට ඍජුව රට කරවීමට සහභාගි විය නොහැකි හෙයින් තමාගේ අදහස නියෝජනය කරන නියෝජිතයකු පාලන මණ්ඩලයට යැවීමය. පක්ෂ නිර්මාණය වූයේද ඒ කටයුත්තට සහාය වනු පිණිසය. එහෙත් දැන් සිදුව ඇත්තේ රට පාලනය කිරීමට පමණක් නොව තමන්ගේ ස්වකීය ජීවිතය පාලනය කිරීමත් එකී නියෝජිතයාට භාරදීමයි.
මේ පුරවැසි සමාජයක හැටි නොවේ. මේ වහල් ඡුන්ද දායක සමාජයක හැටිසොබාවය. තමන් විසින්ම කර අඹවාගෙන තමන්ම බෙල හීනත්වයට පත් ජනතාවකගේ හැටි සොබාවය. මෙවැනි ජනතාවක් ගැන බර්ටෝල්ට් බ්‍රෙස්ට් මෙසේ කීවේය.

‘දැන් අපි පාලකයන් වෙනස් කිරීමට වෙහෙසෙනවාට වඩා ජනතාව වෙනස් කිරීමට වෙහෙසිය යුතුය.’
චන්ද්‍රරත්න බණ්ඩාර

No comments:

Post a Comment