Sunday, 24 April 2016

සෝමපාල හේවාකපුගේ




මෙම ලිපිය රාවය පුවත්පතේ 2016-04-24 දින පලවූවකි.


බලවත් සංස්කෘතික මිනිසෙකුගේ අහිමිවීමක්
          කලා ක්ෂේත‍්‍රයේ නිමග්න බොහෝ උදවියට සෝමපාල හේවාකපුගේ සමග බෙදා හදාගත් චමත්කාරජනක ජීවන අත්දැකීම් සමුදායක් තිබිණි. ඔහුගේ මරණයත් සමග මතක වැස්සක් පරිද්දෙන් ඒ අත්දැකීම් සමුදාය මාධ්‍ය හරහා බෙදා හදා ගැණිනි. සෝමේ හා මගේ ඇසුර ඇරඹෙන්නේ මීට වසර තිහක පමණ කාලයක සිටය. ඔහු අපූරු චමත්කාර ජනක හා ශක්තිමත් ගමන් සගයෙකු විය. ඔහුගේ මිතුරු ජාලයට ඇතුලත් වූ කවර තරාතිරමේ පුද්ගලයෙකු වේවා එකම සමානත්වයකින් ඇසුරු කළේය. අමරදේව පණීභාරත චිත‍්‍රසේන කේමදාස මනෝ දිද්දෙණිය රෝහණ නිමල් ලක්ෂ්මන් හඳගම වේවා අප වැනි ඊට වඩා බොහෝ පහල තලයක අයෙකු වේවා මිත‍්‍රයෙකු නම් සෝමේට ඒ සියල්ලම සමාන මිතුරන්ම විය.
         ඔහු අඩපන වී මියයමින් සිටියේ තරමක කාලයක සිටය. ගිය වසරේ සැප්තැම්බරයේ රෝගීව සයනාසනව සිටි සෝමේ බලන්නට ගිය විට පැරණි පුරුදු සතුටෙන්ම ඔහු අපව පිනවීය. අභාග්‍ය සම්පන්න රෝගී ඉරණමකට කලක් තිස්සේ  ගොදුරු වී සිටි ඔහුට ප‍්‍රබෝධමත් ජීවන හුස්මක්  ආපසු ලැබුණු බව පැවසුවේ නිමල් ඒකනායකය. ආපසු ලබා ගැනීමේ චේතනාවෙන් තොරව මිත‍්‍ර ප‍්‍රජාවකට කළ මෙහෙවර කෘතගුණයක් ලෙස නැවත ඒ මිතුරන් විසින්ම ලෙඩ ඇඳට වැටුණු සගයාට නැවත පුදා තිබුණු නිසාය ඒ.
          සෝමපාල හේවාකපුගේ යනු සැබෑ සංස්කෘතික මිනිසෙකි. මගේ ඔහු කෙරේ වන ළබැඳියාව අභිබවා මා විසින් සෝමේ හඳුනා ගන්නේ එලෙසිනි. සෝමපාල හේවාකපුගේ වැනි සංස්කෘතික මිනිසුන් තැනූ සමාජ පරිසරය ශී‍්‍ර ලංකාව තුළින් අහෝසි වී ඇති බව මගේ හැඟීමයි. අශෝක හඳගම කියනා පරිද්දෙන් සිනාව අමතක වූ සමාජයක ජීවත් වන අපට සෝමේ සිනාවේ තෙත් බව කියා දුන් දෙවියෙක් බඳු මිනිසෙක් විය.
          ශී‍්‍ර ලාංකීය කලාවේ ස්වර්ණමය දශකයක් වූ හැටේ දශකයේ සිට 21 වන සියවස දක්වා කලා සංස්කෘතික ක්ෂේත‍්‍රයේ නිරත නිර්මාණ කරුවන් සමග ගැවසුණු සෝමේ ඒ කාලය තුළ පරම්පරා අතර ගමන් කළ ¥තයෙකු බවට පත්වූ සත්පුරුෂයෙකි. එමෙන්ම පරම්පරා අතර මිතුරුදමේ පාලම් තැනූ මිනිසෙකි. එකල චව්කොස්කිගේ ීඅ්බ ක්නැ ඔහු අතට පත්වූ විට එය අසා රස විඳ ඔහුගේ මිතුරු ලැයිස්තුවේ සුදුස්සන් අතට එය පත් කළේ දැනුම හා රස විඳීම බෙදා හදා ගත යුතු දෙයක් යැයි විශ්වාස කළ හෙයිනි. ඔයැ ඛ්ිඑ ඔැපචඒඑසදබ  දෙ  ක්‍යරසිඑ බියගම මර්වින් පෙරේරා පියතුමාගේ ආස‍්‍රමයේදී ඔහු නරඹා තිබිණ. ඉනික්බිති සමහර හැන්දෑවල එය නැරඹිය යුතු යැයි සිතෙන පිරිස් ෂඡුඊ මුද්‍රණාලයට එක් රැුස් කොට කාගේ හෝ වාහනයකින් බියගමට ගෙන ගොස් එය නරඹන්නට සැලස්වූවා මට මතකය. එකිනෙකා හා මෙලෙස නරඹන හා විඳින කලාකෘති ගැන කතා කරන ඔහු ඒවායේ දී මතුවන අදහස් තම මිතුරන් අතර බෙදා හදා දුන්නේය. බි‍්‍රතාන්‍ය කවුන්සිලයේ වේවා, ඉන්දියානු සංස්කෘතිය මධ්‍යස්ථානයේ වේවා, ලූම්බිනියේ ලයනල් වෙන්ට්ඞ් හි වේවා උසස් කලා කෘතියක් නැරඹීමට අවස්ථාව ලැබුණු විට ඔහු ඒ තොරතුරු අනෙකුන් හා බෙදා හදා ගනිමින් ඒ ආස්වාදය ජනගත කළේය. සැබවින්ම ප‍්‍රත්‍යන්ත ප‍්‍රදේශයක සිට අග නගරයට සංක‍්‍රමණය වූ අපගේ උසස් කලා රසාස්වාදනයට මං පෙත් විවර කර දුන් මහෝත්තමයන් අතර කෙනෙකි සෝමපාල හේවා කපුගේ, එවැනිම අනෙක් තැනැත්තා දිවංගත පියසේන ගුණතිලකයන්ය. හැරල්ඞ් පීරිස් තවත් එවැන්නෙකි.
        මාතරින් කොළඹට පැමිණි සෝමේ සිය සොහොයුරා ඇසුරෙන් මුද්‍රණ කර්මාන්තයට පිවිසුණි. ද්විභාෂික උගතෙකු වූ ඔහුගේ මනරම් ආත්මය තුළ කළ එළියට නොගත් කලාකරුවෙකුද සිටියේය. ඔහු ලියූ ඇතැම් කවි එකළ මා සංස්කරණය කළ ‘මාර්ඟ’ සඟරාවේ පළ කර ඇත. අශෝක හඳගම සෝමේ තුළ සිටි විශේෂිත චරිතාංග නළුවා එළියට ගත්තේය. චිත‍්‍රසේන ලෙස්ටර් වැන්නන් සමග ඉංගිරිසියෙන් ගනුදෙනු කළ ඔහු බොහෝ දෙනා සමග සිංහලෙන් ගනු දෙනු කළේය.
        විවිධ පක්ෂවල ප‍්‍රබලයන් සෝමේගේ මිතුරන් වුවත් ඒ කිසි පක්ෂයක ඔහු අනුගාමිකයෙකු නොවීය. ඒ සියල්ල සමග ඔහු සම සිතින් ඇසුරු කළේය.  කලි කලහයන්ට මැදිවන සියලූ දෙයින් මිදී ඊට ඉහළින් සිටීමට හැකි සමත්කම සෝමේට තිබිණි.
          කලාකෘතියක් නිෂ්පාදනය වූ පමණින් එයට හිමි ආනුභාවය සමාජ ගත වන්නේ නැත.  ඒ සඳහා දියුණු සහෘද රසික පර්ෂදයක් අවශ්‍යය. හැටේ දශකයේ කලාව ආනුභාව සම්පන්න වන්නේ එදා තිබුණු ඒ රසික පර්ෂදය හරහාය. අද පවතින ප‍්‍රබුද්ධ රසික පර්ෂදයේ දුබල බව වත්මන් කලාවේ තත්වය මෙසේ වීමට බලපා ඇත. හැටේ දශකයේ කලාව හා කලාකරුවන් ඇසුරින් හුවමාරු වූ ඥාන සම්භාරය සෝමෙට බලපෑ අතර එයම කලාව වෙනුවෙන් යම් යම් පරිත්‍යාග කිරීමට ඔහු පෙළඹවීය. එමෙන්ම ඊට පසු යුගයක කලාව සිය ආත්ම ප‍්‍රකාශනය කරගත් බොහෝ උදවියට සෝමේ සිය අතීත අත්දැකීම් ඇසුරෙන් කියා දුන් බොහෝ දේ තම කලාවේ හැඩහුරුකම සකසා ගැනීමට බලපෑවේය.
        කවිය සිනමාව චිත‍්‍රය නවකතාව නර්තනය සංගීතය ප‍්‍රචාරණ කලාව වැනි විවිධ කලා මාධ්‍යයන්හි දැවැන්තයෝ ද ආධුනිකයෝ ද ෂඡුඊ ආයතනයට පැමිණ සෝමේ වටා ගොනු වූහ. මුද්‍රණ කටයුත්තකට පමණක් නොව මරදාන පැත්තේ ආ විට සෝමේගේ තැන රජයන හිතකාමී පරිසරය නිසා කලි කලහයෙන් මිදී සිතට සහනයක් පතාමත් බොහෝ උදවිය ඔහු හමුවට ගියහ. එතනදී අන්තර් විෂයයන්හි නිරත එකිනෙක කලාකරුවන්ගේ සංලාපයන්ට මඟ පෑදුනෝය. ‘තමා නිමග්න කලාවෙන් බැහැර අනෙක් කලාවක් සේවනය කිරීම තම කලා භාවිතය පෝෂණය කරන්නේය’ යන පාඩම මට කියා දුන්නේ පී මාමායයි අප හැඳින් වූ දිවංගත පියසේන ගුණතිලකයන්ගෙනි. එමෙන්ම අන්තර් කලා රසාස්වාදනය අපගේ එදිනෙදා ජිවිතයට බද්ධ වූ චමත්කාර ජනක පුරුද්දක් බවට පත් කිරීමට සෝමේ හා වූ ඇසුර බලපෑවේය. චිත‍්‍ර ප‍්‍රදර්ශනයකට, නර්තන උළෙලකට සංගීත ප‍්‍රසංගයකට. සරච්චන්ද්‍රයන්ගේ හෝ සුගතපාල ද සිල්වාගේ නාට්‍ය පුහුණුවක් නැරඹීමට සෝමේට පුද්ගලිකව ලැබෙන ආරාධනාවකට අපද කැටව ගියේය. පොදුවේ ඒවා ගැඹුරින් රස විඳීමට මං පෙත් සලසා දුන්නේය.
       මෑතක දී නිමල් ඒකනායක ‘සොක‍්‍රටීස්’  නිෂ්පාදනය කළේය. ආචාර්ය ජයලත් මනෝරත්න ‘හඬ නිහඬ’ නාට්‍යය නිෂ්පාදනය කළේය. නාට්‍ය දෙක නිෂ්පාදන අවදියේ පසුවෙද්දී මම මනෝ හා නිමල් සමග නිෂ්පාදන ගලායන ආකාරය ගැන විටින් විට කරුණු විමසීමි. දෙදෙනාටම ඒ සම්බන්ධ දුක් ගැනවිලි තිබිණ. මට හැඟී ගිය ආකාරයට ක්ෂේත‍්‍රයේ අත්දැකීම් බහුල ඒ දෙදෙනාටම අතීතයේදී චමත්කාර ජනක අත්දැකීමක් වූ නාට්‍ය නිෂ්පාදනය අද වෙහෙස කර අරගලයක් බවට පත්වී ඇති සෙයකි. චමත්කාරජනක ජීවන අත්දැකීමක සිට වෙහෙසකර අරගලයක් බවට පත්වීමට බලපෑ හේතු අතර එකක්  වන්නේ එවැනි කටයුතුවලට අනුප‍්‍රාණය සැපයූ සෝමේ වැනි සහෘදයන්ගේ සහාය නොලැබීම යයි සිතමි. සරච්චන්ද්‍රයන් හෝ සුගතපාල ද සිල්වා තම නාට්‍යයක පුහුණුවීම් බලන්නට සෝමේට ආරාධනා කරන්නේ නාට්‍ය වේදය හෝ එහි හැඩතල ගැන යමක් අසා දැන ගන්නට නොවේ. ලෙන්ගතු මිතුරුකමට අමතරව ප‍්‍රබුද්ධ රසිකයෙකුගේ අදහස් දැන ගැනීමේ අටියෙනි.
     අද අපේ සමාජය වනාහි බලවත් සේ දේශපාලනීකෘත වූ සමාජයකි. ඒ දේශපාලනයේ බලි බිලි බවට පත් වූ අපේ අගනා කලාකරුවෝ  එතෙක් තමන්ට සමාජය ඇමතීමට තිබූ පොදු වේදිකාව අහිමිකර ගෙන ඇත. සෝමේ මේ තත්වය කල්තියා දුටු මිනිසෙකි. සිය හිත මිතුරන් වූ මිනිසුන් පක්ෂ දේශපාලනයේ අත කොළු වන විට ඔහු කණස්සල්ලෙන් පසුවිය.
      මිතුරුදම් හොඳින් පැවැත්වීමේ හැකියාව නිර්මාණාත්මක දෙයකි. එමගින් සැපයෙන අනුප‍්‍රාණය මිනිසුන් ජීවත්කරවයි. සිය හිත මිතුරු කලාකරුවන් මැදිහත්වී ඔහු වෙනුවෙන් පැවැත්වූ ‘ආදරණීය සෝමේ’ ප‍්‍රසංගයේදී කලාකරුවෝ සෝමේගෙන් ලද අනුප‍්‍රාණය වචන දෙක තුනකින් පැවසීය. ඒ වචන කිහිපය මරණාසන්නව සිටි සෝමේ කලකට නැගිටවාලූහයි කියනු ලැබේ.
        දේශපාලකයන් පසුපස යන කලාකරුවන් ඔහුට කනස්සල්ලක් ගෙන දුන්නත් කලාවේ දේශපාලනය සෝමේට සතුටු සහගත බලාපොරොත්තුවක් විය. අශෝක හඳගම ‘චන්ද කින්නරී’ නිපද වූ විට ඒ වටිනා චිත‍්‍රපටියක් වන්නේ කෙසේදැයි කියමින් අප වෙනුවෙන් පූර්ව දර්ශනයක් සංවිධානය කර දුන්නේය. 88-89 බිහිසුණ වකවානුවේ ඒ භීෂණයම තේමා වූ ‘මාඝාත’ නාට්‍ය පිටපත අනුමත කරවා ගැනීමට සෝමේ දුන් සහය හඳගමයන් කෘතවේදීව සිහිපත් කරයි.
        අජිත් තිලකසේනයන් රජයේ සේවයෙන් විශ‍්‍රාම ගොස් සිටියදී ඔහුගේ ආර්ථිකයට සහායක් වශයෙන් ‘උපදේශක තනතුරක්’ දී ෂඡුඊ  ගේ මේසයක් පුටුවක් සකස් කර දුන්නේය. නොකර බැරිකමට පෲෆ් එකක් ද බලවා ගත්තේය. එහෙත් තිලකසේනයන්ගේ බඳවා ගැනීම ගැන සෝමේ මා සමග කීවේ වෙන කතාවකි. ‘මචං... අජිත් වගේ මිනිහෙක් ළඟ ඉන්නකොට මොන තරං දෙයක් ඉගෙන ගන්නවද? මං විතරක් නෙමෙයි. මෙතෙන්ට එන එවුනුත්... අයිය නම් විරුද්ධයි. ඒත් එයා විරුද්ධ වුණා කියල බෑනේ.’ එතැන් සිට ඔහුගේ කතා සරිත් සාගරය තුල අජිත් තිලකසේන කී කතා බොහොමයක් තිබිණි.
        තමන්ට හැකි නිසඟ හැකියාවන් පාවිච්චි කරමින් බුම්මාගෙන සිටි කලාකරුවන්ට සිනාසෙන්නට ඉගැන් වූයේ සෝමේය. තමාගේ කලාවේ මහන්තත්ත කමට අමතරව අනෙකුත් මහන්තත්ත කලාවන්ද ඒවා කරන මිනිසුන්ද සිටින බව සමහරුන්ට පසක් කර දුන්නේ ඔහුය. සියල්ලන්ගේ උස් කම් මිටි කළේත්ල මිටි කම් උස් කිරීමටත් ඔහුගේ ‘මචං’ කම බලපෑවේය. මාගේ සමස්ත ජීවිතය පුරා ‘මචං’ යන ඇමතුම මෙතරම් බලගතුව යෙ¥ මිනිසෙකු හමු වී නැති තරම්ය.
        සෝමපාල හේවාකපුගේ යනු ඉතිහාසගත චරිතයකි. ඔහු වෙනුවෙන් පොතක් ලිවීමට ප‍්‍රවීණ ලේඛිකා කැතලීන් ජයවර්ධන ඔහු ජීවතුන් අතර සිටියදීම ඉදිරිපත්වීම අපේ වර්ගයා වෙනුවෙන් කළ උතුම් කාර්යයකි. ඒ පොත ඔහුගේ ජීවිතයට කෙතෙක් අනුප‍්‍රාණය සැපයීද යන්න අන්තිමවරට ඔහු හමු වූ විට මට පසක් විය. ‘ආදරණීය සෝමේ’ ප‍්‍රසංගයද එවැන්නකි.
       සෝමපාල හේවාකපුගේ නම් වූ ප‍්‍රබල චරිතය ද එවැනි ගති ලක්ෂණ ඇති කුඩා චරිත ද බිහිවූ සමාජ අවකාශය අපට අහිමි වී ගොසිනි. එය සාමාජීය විකාශනයේ ප‍්‍රතිඵලයකි. ඔහු දුක්බර නිමේෂයන් පළවා හැරීමට සිය මිතුරුකම් පාවිච්චි කළේය. ඒ හිත මිතුරු කලාකරුවන්ගේ පුද්ගලික ජීවිතය පැත්තෙනි. ඔහු කලාවට සහය දුන්නේ කවුරුත් කියන සමරු කලාපය හෝ පෝස්ටරය මුද්‍රණය කරදීමෙන් පමණක් නොවේ. ඒ කලාකෘතිවල ඇතුලාන්තයටම උදව් කිරීමෙනි. ඒ කෘතිය හිමි කලාකරුවා මානසිකව නඟා සිටුවීමෙනි. එකී කලාකරුවා නොදුටු ඉම් පෙදෙස් පෙන්වා දීමෙනි.
         සෝමේ පසුගිය දශකයක පමණ කාලයක සිටියේ රෝගීව සයනාසනවය. එහෙත් ඔහුගේ අතීත මහා මෙහෙවර හේතුවෙන් අපට ඔහු සජීවී සහකරුවෙකු සේ දැණිනි.එහෙත් ඔහු කායිකවද අපව හැර යන විට මහා සතිපට්ඨානය සජ්ජායනය කරන විට දැනෙන සාංකාකුල හා බලවත් දුක්බර හැඟීමක් දැනෙයි. ඒ සා හැඟීමක් දැනෙන්නේ හෘදයංගම වූ මහාපුරුෂයන් කෙරේ පමණි.
ආදරණීය සෝමේ ඔබ එවැනි මහා පුරුෂයෙකි.
                                                           චන්ද්‍රරත්න බණ්ඩාර

1 comment:

  1. සෝමේ අයියා යනු වචනයේ පූර්ණ අරුතින්ම සුන්දරයෙක් බව වැටහුනේ රනිල් ඇල්විටිගලගේ' ප්‍රෙස් කන්තෝරුවේ' හමුවූ වකවානුවේය. ඔබට නිවන් සුව!!!!!!

    ReplyDelete