Wednesday, 8 April 2015

අති පූජ්‍ය අග්ග මහා පණ්ඩිත උඩගම ශී‍්‍ර බුද්ධරක්ඛිත හිමිපාණෝ



                      අස්ගිරිය අප බැඳී සිටින ප‍්‍රාදේශීය බුද්ධාගමේ මූලස්ථානයයි. එසේ කියන්නේ අපේ ගමේ පන්සලත් ගම අවට ඇති අනෙකුත් පන්සල් සියල්ලත් අයත් වන්නේ සියම් නිකායේ අස්ගිරි පාර්ශවයට නිසාය. එම නිකායේ මහනායක හාමුදුරුවෝ ලෙස කලක් තිස්සේ එම ධුරය හෙබවූ අති පූජ්‍ය අග්ග මහා පණ්ඩිත උඩගම ශී‍්‍ර බුද්ධරක්ඛිත හිමිපාණෝ අපවත් වී වදාළ සේක. මේ අපවත් වීම මහනුවර පළාතේ උදවියට ටිකක් බරට දැනෙන සමාජ ආගමික සිදුවීමකි.
           
                මහනායක හාමුදුරුවන්ගේ පෞද්ගලික ජීවිතයේ හොඳ නරක මා නොදන්නා නමුත් උන් වහන්සේ උන්වහන්සේගේ තරමට වඩා වැඩියෙන් සමාජය හමුවේ විහිලූ සැපයූ බව නම් දනිමි. මෑතකදී උන්වහන්සේ කළ හොඳම විහිලූව නම් නාමල් රාජපක්ෂ කුමාරයා ගේ මග පෙන්වීමෙන් දළදා මාළිගාව අවට වැව රවුමේ පැවැත්වූ මෝටර් රථ තර`ගයේ හා කාම සංදර්ශනයට මුලින් විරුද්ධවී පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපත්ෂගේ පොරොන්දුවක් නිසා ” මේ සැරේට විතරක් තියපුවාවේ ” කියා උන් වහන්සේ නිහඬ වීමය.
     
           සියම් නිකායික පාර්ශව දෙකේ එනම් අස්ගිරි පාර්ශවයේ  හා මල්වතු පාර්ශවයේ මහනායක හිමිවරුන් පිටුපස දුරාතීතයට ඇදෙන දැවැන්ත ඉතිහාසයක් පෙලගැස්වී තිබේ. එහෙයින් උන්වහන්ස්සේලාත් උන්වහන්සේලා නායකත්වය දරණ නිකාය දෙකත් ලාංකීය සමාජ සංදර්භයේ වැදගත් නියෝජන දෙකකි. උන් වහන්සේලා දෙනම අකලංක සිතින් සෟජුව සිට ගත්තොත් ලංකාවේ බොහෝ දෑ කණපිට හැරවීමේ හැකියාවක් අදටත් තිබේ. එහෙත් තමන් වහන්සේලා එතරම් බලගතු යයි උන් වහන්සේලාට ද අමතකව ගොසිනි. එහෙත් රටේ නායකයෝ හා අනෙකුත් දේශපාලකයෝ උන් වහන්සේලා ගැන නිවරැුදිව තක්සේරු  කරගෙන සිටිති.  ඒ බව දන්නා නිසාම මල්වත්තේ හා අස්ගිරියේ පන්සල් බිම ඉඩ  නැතිවන්නට දේශපාලකයන්ගෙන් පිරිකර ලෙස ලැබුණු බෙන්ස් කාර්වලින් පිරී තිබේ. පොඩි දරුවන් සෙල්ලම් බඩු වලින් සැනසෙන්නාසේ අපේ නායක හාමුදුරුවරුද ඒවායෙන් සැනසෙති. මේ සෙල්ලම අද ඊයේ සිට සිදු වූවක්ද නොවේ.
     
          ලාංකීය බුදු දහමේ සංඝරාජවරු දෙපළ වන මුන්වහන්සේලාගේ කි‍්‍රයාකාරිත්වය බුදු දහමේ චිරස්ථිතියට පමණක් යොමු වේනම් එමගින් ඇතිවන පුනරුදය හරහා බොහෝ යහපත් වෙනස්කම් රට තුල ඇතිවනු නොඅනුමානය. පළමුවෙන්ම උන්වහන්සේලා තමන්ගේ සීමා මායිම් මනාව ලකුණු කර ගත යුතුය. දේශපාලන හැත්ත වරිගයට ආරාම දොරටු වැසිය යුතුය. අවවාද අනුශාසනා ගැනීමට කියා පැමිණියාට ඔවුන් ගන්නා අවවාදයක් අනුශාසනා නොමැති බවත්  ලබා දෙන අනුශාසනා වෙතොත් ඒවා පන්සල් මායිම ඇතලේම බිම දමා යන බවත් තේරුම් ගත යුතුය. අනෙක් අතට රට කරවන අයුරු කියා දීමට තමන්වහන්සේලාටද ප‍්‍රමාණවත් දැනුමක් නොමැති බවද තේරුම් ගත යුතුය. ඒ විෂයේදී බුදුන් වහන්සේ පවා සීමාව ඉක්මවා නොගිය බව තේරුම් ගත යුතුය.
        
           එක අතකින් බලන විට මල්වත්ත හා අස්ගිරිය ලංකාවේ පවතින වැඩවසම්ම ආයතන දෙක ලෙස හැඳින්වීමේ වරදක් නැත. එංගලන්තයේ රජ පවුල එරට පවතින වැඩවසම්ම ආයතනය බවට සැකයක් තිබිය නොහැකිය. එහෙත්  එරට නවීකෘත සමාජය ඉදිවීමේදී රජ පවුල කිසිදු බාධාවක් වී නැත. රජ පවුල නැති එංගලන්තය කෙතරම් සංස්කෘතික වශයෙන් දුප්පත් වනු ඇද්දැයි ඔබ සිතන්නේද? එයාකාරයටම බොහෝ නවීකෘත රටවල වැඩවසම් ආයතන (ආගමික හෝ දේශපාලන වශයෙන්) පවත්වාගෙන යනු ලබයි. එය එසේ වන්නේ කාරණා දෙකකටය. එකක් සංස්කෘතික වැදගත්කමක් ඇති නිසාය. දෙවැන්න සංස්කෘතික හුයක් හරහා ජාතීන් එක්ව තබා ගැනීමට හැකි නිසාය.
    
        මල්වත්ත හා අස්ගිරිය දෙස බැලිය යුත්තේත් එයාකාරයටය. රටේ අවාසනාවට මේ ආයතන දෙක දේශපාලන කි‍්‍රයාකාරිත්වය ආගමික කි‍්‍රයාකාරිත්වයට වඩා ඉහළින් ගැනීම නිසා මහා විකෘතියක් ඇතිවිය. ඒ විකෘතියෙන් බේරා ඒ නිකාය වැදගත් මාවතකට ගැනීමේ හැකියාවක් ඇත්තේ ඒ බව තේරුම් ගන්නා භික්ෂුන් අතමය.

4 comments:

  1. මේ ලිපිය පිළිබද ලිවිය යුතු දේ බොහෝය. නමුත් සංක්ෂිප්තයෙන් කියුවොත් මෙය සමබර ලිපියක් නොවේ. බණ්ඩාරගේ පරිනත භාවය අභාවයට ගිය, සියුම් ද්වේෂයකින් යුතුව, සංග රාජ හිමියෙකුගේ භූමිකාව සාමාන්‍ය මනුස්සයෙකුගේ යුතුකම/වගකීමටත් වඩා සීමා කල යුතු යැයි බලහත්කාරකමක් කිරීමට උත්සහ කර තිබේ. මේ ලිපිය වැකියෙන් වැකිය විවේචනය කල හැකි තරමට දුර්වලය.

    ReplyDelete
  2. I do agree with this Article, These two institutions could not stop street racing even.

    ReplyDelete
  3. මහානායක හාමුදුවරුන්ගෙන් ඉටුවියයුතු කාර්යභාරය සහ එය හරියාකාරව ඉටුනොවීමට හේතුකාරණා පිළිබඳව ඔබ දක්වන අදහස් හා එකඟයි. පොදුවේ ගත්තම සමස්ත සංඝ ප්‍රජාවම කෙරෙහි දැඩි අප්‍රසාදයක් මගෙ හිතේ තිබෙන්නෙ.

    ReplyDelete