අශන්ති ඒකනායක
( පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රිසි අංශයේ උපදේශිකා )
සිමෝන් ද බුවාගේ "බ්‍රිජට බාඩෝ හා ලොලිටා සින්ඩ්‍රෝමය" නම් කෘතිය සිහිපත් කරවනසුලු නමකින් යුතු, සාපේක්ෂව දිගු නිර්මාණ සතකින් සම්ප්‍රයුක්ත, චන්ද්‍රරතන බණ්ඩාරගේ නව්‍යතම කෙටිකතා එකතුව, අල්පයක් වන බලාපොරොත්තුවෙන් තුලනය කෙරෙන, ළඟ ළඟ එන විනාශයන් හා අහිමිවීම් පිළිබඳ දැනවුමක් දරන්නේය. සිමෝන් ද බුවාගේ ලේඛන කාර්යය , අනුප්‍රාණය උදෙසා පරමාදර්ශයක් යැයි ප්‍රංශයේ හා සැබැවින්ම බටහිර ලෝකයේ කාන්තාවන් විසින් සැලකුණ යුගයක, ඉහළින් ඇගයුණ ස්ත්‍රීත්වය හා ස්ත්‍රීත්වයේ සාරය පිළිබඳ රිදවනසුලු විවේචනයක් විය. ස්ත්‍රීවාදිනියක ලෙස, ද බුවා , සිය දැඩි විවේචනයේ තර්කය ගෙනෙන්නට නැබකෝව්ගේ ලොලිටා නවකතාව සූර ලෙස උපයෝගි කරගත්තාය. චන්ද්‍රරතනගේ කෘතියේ නාමය , එකී ප්‍රකට ස්ත්‍රීවාදී අතීත ක්‍රියාකාරකම සිහිගන්වනවා වුවද එය අහම්බයක් වනවා සේම , ඔහුගේ කතා එකතුව වියපත්වීම, තාරුණ්‍යය , මරණය, ලිංගිකත්වය , සමාජයීය ධර්මතා, යුද්ධයේ ආචාර ධර්මතා බඳු පුළුල් සංකල්ප, පංතිය හා ස්ත්‍රී පුරුෂ සමාජ ධර්මතා අනුව අදාළ වන සැටිත්, ජාතිකත්වය පිළිබඳ අපේ මතයන් පිටුපස ඇති කුරිරු සත්‍යයත් ආදිය ස්පර්ශ කරන්නේය. ඔහු සමඟ කෙරෙන සංවාදයේදි , කෘතිනාමය තෝරාගැනීමේ හේතුව හෙළි වන්නේය.
චන්ද්‍රරතන බණ්ඩාරගේ ආසන්නතම නවකතාව වූ "පියාසර සමය" නොබෝ දා 'ස්වර්ණ පුස්තක ' සම්මානයත්, රාජ්‍ය සාහිත්‍ය සම්මානයත් හිමි කරගත් අතර, විද්‍යෝදය හා ගොඩගේ යන සාහිත්‍ය සම්මාන උළෙලවලදී සම්මානයට නිර්දේශිත කෘති ලැයිස්තුවට ඇතුළත් විණි. ඔහු අද්විතීය හා නිපුණ ලේඛනබසකින් සන්නද්ධ සහ ආසන්න හා සමකාලීන තේමාවන් මත ලියන්නට උනන්දුවන ලේඛකයකු ලෙස පිළිගැනේ.
" සීලවතී සින්ඩ්‍රෝමය" මිනිස් අත්දැකීම්වල යම් වැදගත් අංශයන් ආශ්‍රය කරන, සිතුවිලි අවුළුවනසුලු කෙටිකතා හතක් දරන්නේය. රචකයා, මනුෂ්‍ය සබඳතාවල සංකීර්ණ හා සියුම් වෙනස්කම්, අප ඒවා හා ගනුදෙනු කරන අවසරැති, පිළිගැනෙන නෛතික හා සදාචාරාත්මක ව්‍යුහයන් මෙන්ම, පුද්ගල නිදහස හා සමාජ සම්මතයන් විකාරයන් බවට පෙරළන අයුරු විග්‍රහ කරයි. මෙහි ඇතැම් කතා ස්ත්‍රී පුරුෂභාවයේ දේශපාලනය, ලිංගික නිදහස හා ප්‍රකාශනය එල්ලේ කෙරෙන ගවේෂණය නිසා අපේක්ෂා දනවන අතර , තවත් ඒවා අහිමිවීම් පිළිබඳව හිස් හැඟුම හා බලාපොරොත්තු රහිතබවේ දුක්මුසු හැඟුම ගෙනෙමින් , සාධාරණය හා යුක්තිය ලෙස අප පිළිගන්නා සම්මතයන් තිත්ත ලෙස ප්‍රශ්න කිරීම හා ඒවාට අභියෝග එල්ල කිරීම සිදු කරයි.
යම් නිර්මාණ වියපත්වීම , තාරුණ්‍යය, මරණයට පත්වීම යන තේමාවන් සහ ස්ත්‍රී- පුරුෂ සබඳතාවලදී පැන නඟින ගොදුරුබවට පත්වීම් හා සංකීර්ණතාවන් ගවේෂණය කරයි. වෛද්‍යවේදය,ඖෂධවේදය යන ක්ෂේත්‍රවල දියුණුව සමඟ අපගේ ආයු අපේක්ෂා කාලය ඉහළ නැඟ ඇති නමුත්, වියපත්වීම නිසාම කයෙන් හා රූපයෙන් අවරට යන අයකුට ඉන් සපුරා වැළකිය හැකි සහනයක් නම් නැත්තේය. මේ ප්‍රස්තුතය යලි යලි තෝරාගැනෙන තේමාවක් සේ මෙම සංග්‍රහයේ එන අතර, පළමු නිර්මාණයේදී එය වඩාත් කැපී පෙනේ.
දෙවැනි කතාව ආදරයෙන් බැඳෙන යුවතියන් දෙදෙනෙකු මත පබැඳෙයි. ඔවුන් දෙදෙන වෙන් කරන්නට පුරුෂ මූලික බලවේග ඔස්සේ සමාජයෙන් බලපෑම් කෙරෙන අතර ආඛ්‍යානය තුළ එකරුණ සීරුවට ඉදිරිපත් කෙරේ. යුවතියන් දෙදෙන සිය බැඳීම අඛණ්ඩව ගෙන යනවාද, නැත්ද යන්න පැහැදිලි නොමැති ස්වභාවයකින් කතුවරයා කතාව හමාර කරන්නේය.
කෘතියට නමද දෙන තෙවැන්න ගෙන එන්නේ යෞවන ප්‍රේමයට පංතිය හා කුලය හරස්වන අයුරු පිළිබිඹු කරන කතාවකි. පෙම්වතිය සීලවතී, සිය ඉරණම පිළිබඳ පාලනයක් සාදාගනු වස්, සිය කන්‍යාභාවය සිඳින්නැයි පෙම්වතාට අයදින්නීය. මේ දඟකාරි ක්‍රියාව , පෙම්වතාට ඇති කැපවීම යම් පමණකට පෙන්වන්නට ළා බාල, වගකීම් රහිත දැරියක දැරූ නොවැදගත් වෑයමක් සේ පෙනුණද, එය ස්වකීය ලිංගික නිදහසේ පාලනය තමන්ම දරන තරුණියක පිළිබඳ ගැඹුරු ඇඟවීමක් දක්වයි. ලේඛකයාගේ බොහෝ නිර්මාණවල එන මන්දාරම්ගම, ඒ හැම විටම වාගේ මෙහිදීද නැවතත් ස්ථානයක් පිළිබඳ අතීතකාමී හැඟීම රැගෙන එයි. සිදුවීමට ආසන්න විනාශයන් පිළිබඳ එම ගමට අදාළව නිරතුරුව නැඟෙන හැඟීම්, මෙහි කථකයාගේ කියුබානු අත්දැකීම් හා සමපාත වෙයි.
සංග්‍රහයේ මීළඟ කතාව, යම් සමාජයීය වටිනාකමක් ලබන රූමත්බව හා පරිපූර්ණත්වයත්, සිය තරුණ වියේදී තාරකාවක ලෙස මෝහනීය සංකේතයක් වූ අයකුට , වියපත්වීම අවාසිදායක ලෙස බලපාන අයුරුත් සාකච්ඡා කරන්නකි. අයකු සතුව තිබූ වටිනාකමක් පැවතුණේ හුදෙක් කායික රූපශ්‍රීය මත වූ විට, එය අහිමිවීමේදී මිනිස් සබඳතා වෙනස් වන අයුර මෙහිදී අවධානයට ගැනේ. අවලස්සන හා රූමත්බව පිළිබඳ ශ්‍රී ලාංකේය මතවාදයන් වෙසෙසින්ම ස්ත්‍රීන්ට අදාළව නොසෙල්වෙන ස්වභාවයක් දරයි. කතාවේ එන ප්‍රධාන චරිතය හා පිරිමින් අතර සිදු වන සංසිද්ධි හා ගනුදෙනුවලදී , රූමත්බවේ භාණ්ඩමය හා සංකේතීය වටිනාකම යනු යමෙකු සිතන්නට ඉඩ ඇති දෙයකි.
"රාමායණය" නමින් එන කෙටිකතාව , පුරුෂයන්ගේ කායික පිරිහීම හා විවාහයේදී පක්ෂපාතිත්වය තේරුම්ගන්නා ආකාරය විමසා බලයි. ගැහැනියක පිරිමින් දෙදෙනෙකු අතර සිරවන්නේ- නිදසුන් ලෙස රාමා, සීතා, රාවණ සහ මනමේ කුමරු, කුමරිය , වැද්දා - කෙසේද යන්න කතාවෙන් අවධාරණය කෙරේ. කෙසේ වෙතත්, මෙය යම් පමණකට පුරුෂාධිපත්‍යය පිළිබඳ කතාවක් ලෙස සලකා, ප්‍රධාන චරිතයේ තත්ත්වය බොළඳ, අහිංසකකමක් සේ පෙනී යාම පිළිගත හැකිය. මේ බොළඳකම ඇත්තක් සේ හැඟෙන්නේ , සීමාන්තිකභාවයේ හැඟීම සහ සමරේ ප්‍රදර්ශනය කරන "පිළිගත නොහැකි" මෙන්ම "පුරුෂ නොවන" දුර්වලතාවය නිසාය.
"මකුළුදැල්" තේමා කරගනුයේ , වියපත් වෙමින් සිටින හෝ මැදිවියපත් හෝ යුවලක අතර පවතින විවාහක ප්‍රේමයේ , බැඳීමේ හා සබඳතා පිළිබඳ පිළිගත් ධර්මතාවල පැතිකඩයන්ය. සරල ජීවිතයක් ගෙවීමට උපකාරවන සන්නිවේදනය හා සමාජයීය යාන්ත්‍රණයන් යන සාධකවලට බාධා කරන තත්ත්වයන් හා අධිපතිවාදී මතවාද , ප්‍රවණතා මෙම නිර්මාණයෙන් ප්‍රශ්න කෙරේ. ආගම මැදිහත් වී යුවලක් අතර පැල්මක් ඇති කරන සැටි , ආඛ්‍යානය විටෙක ඉතා සියුම්වද, විටෙක එතරම් නොසියුම්වද විමසා බලයි. ශ්‍රී ලාංකේයයෝ , සෘජුව හෙළි නොකරද, අන් රටවල මිනිසුන් වයස්ගතවීම පහසුවෙන් දරාගන්නා අයුරු නිරීක්ෂණය කරති. එය මෙහි කථකයාගේ / ප්‍රධාන චරිතයේ සිතුවිලි අනුගමනය කිරීමකැයි කෙනෙකු හඟින්නට පිළිවන.
අවසන් කෙටිකතාව, ජාතියක් ලෙස මෑත අතීතයේ අප අත්දුටු, යුද්ධයේ එක් ගැඹුරු හා සංවේදී පැතිකඩක් සාකච්ඡා කරයි. මනුෂ්‍යත්වය පිළිබඳ ගැඹුරට මුල් ඇදුණු සාරධර්ම හා ශිෂ්ට සම්පන්න මිනිසුන් ලෙස ළමාභාවය සංජානනය කරන ආකාරයද , එම කරුණ යුද්ධයකදී නොමේරූ ජාතිකවාදය බඳු කුරිරු සංකල්ප හා ගැටෙන අයුරු පරීක්ෂාකර බලන්නට පාඨකයාට මෙහිලා බල කෙරේ.
සමස්තය සලකන කල, කතා සංග්‍රහය කදිම කියවීමක් සම්පාදනය කරන අතර, අප සමාජය සමඟ ගනුදෙනු කිරීමේදී මතු වන , අලුත් මෙන්ම පැහැදිලි පිළිතුරු නොමැති අතිශය සංකීර්ණතා පිළිබඳ විමර්ශනය කරන විට මඳ නැවතුමක්ද සදන්නේය. අසතුටුදායක අංශයන් පිළිබඳ කියැවෙන්නේ විධිමත් න්‍යායික පදනමකින් හෝ සාධක සහිතව නොවුණද, මෙය පලදායි, තෘප්තිමත් කියවීමක් පිරිනමන්නේය. මෙම සරණියේ ඇතැම් කෙටිකතා කියවීමේදී කෙනෙකුට, 2017දී ඉංග්‍රිසියට පරිවර්තනය කරනු ලැබ පළ කෙරුණු, හරුකි මුරකාමිගේ Men Without women සිහිපත් වනු ඇත. රසවත් කරුණක් වන්නේ, එම නමින්ම කෙටිකතා එකතුවක් අර්නස්ට් හෙමින්ග්වේ විසින්ද 1927දී පළ කරනු ලැබ තිබීමය.
පරිවර්තනය- දේ .වි .
ගාල්ලගේ

No comments:
Post a Comment