ආයු
(රළු අකුරෙන් ලියූ පෙම්කවක්)
මෙවැන්නක් වියහැකිද? අනු පිළිවෙලට අනුව සියල්ල සිදුවිය යුතුද? සත්‍ය ලෝකයේ ප්‍රකට සිද්ධියක් කලාවේ සීමාමායිම් තුළට ගෙන එය මනුසත් බවේ අනන්ත අගාධයන් හා ඉනික්බිති ඉපදෙන නව ජීවිත රටාවකි. කැන්වසයක ඇඳි චිත්‍රයක්, සංගීත සංධ්වනියක්, ආඛ්‍යාන කාව්‍යයක් සිනමා කෘතියක් තුළ මැවීමට නිර්මාණකරුවන් සමත්වෙති.
ජීවිතය කඩා ඉහිරුණු තැනින් නව ජීවිතයක් ආරම්භ කිරීමට හැකියාව ලැබුනහොත් සම්ප්‍රදායන් හා පවත්නා සදාචාර සීමාමායිම් ඒ හේතුව නිසාම උල්ලංඝනය කිරීමට සිදුවිය හැකිය. ඒ උදාකරගන්නා නව ජීවිතයට අනුව නව ආචාර ධර්ම සැකසෙන්නේය. ඒ අවංක බව, සත්‍යය යන දේශ සීමා ඉක්මවූ පොදු ආචාර ධර්ම ජීවිත තුලට කැඳවා ගනිමිනි. සමාජ දේශපාලන වටපිටාව මිනිසා අගාධයට හෙලන්නේ නම් ඒ අගාධය තුළ ජීවිතය ගෙන යාමට අදාළ වනසේ කම් කටයුතු සිදුවේ.
රවි, නිශ්මි, සචින් හා අම්මා යන ප්‍රධාන භූමිකාවෝ කිසිවෙකු දැනුවත්ව වැරදි කරන්නෝ නොවෙති. සම්ප්‍රදාය කරපින්නා ගත් අම්මාට මේ දරුවන්ගේ අගාධ ලෝකයේ අක්මුල් වැටහෙන්නේ නැත. ඒවා නොදකින්නට ආගම හා සම්ප්‍රදායේ තිමිර පටලය විසින් ඇගේ දෙනෙත් වසා ඇත. තමාගේ ඉරණම බෝ ගසකට බාර දී ඒ තුළින් සහනය සොයන ඇය, නියෝජනය කරන්නේ ජීවිතයේ ඉදිරියට යන්නට නොහැකිව ඇහුරුණු අන්තයක :ෘැ්ා ැබා* සිරවූ අන්ධ වර්තමානයය. කඳු, සානු, අගනා පරිසර පද්ධති වනසමින් ඉදිවන සුඛෝපභෝගී විහාර හදන්නට අනුබල දෙන ‘පින’ යැයි සිතා පාපයේ ගැලෙන ඒකමානීය අදූරදර්ශී මහා පිරිසය.
අම්මා හැර අන් තිදෙනාම වර්තමානයේ තමා අභිමුවට පැමිණි අභියෝග හා පොරබදමින් ජීවිතය සොයති. කිසිවෙක් කිසිවෙකුට වරදක් නොකරති. එහෙත් සියල්ලෝම අවාසනාවේ ගිලේ.
සරල රැළි නගන මහමුහුද සැනසීමද බියද එක විට ගෙනඑයි. අනාගතය අත්හල විට ජීවත්වන ඉතිරි ටික දවසට තණ්හාවෙන් සරිකළ යුතු කිසිවක් නැත. පුංචි කඩදාසි බෝට්ටුවක ජීවිතය කොටුකර සැනසීම සොයා ගතහැකිය. ලේ බැම්මක් නැති දරුවෙකුට මවෙක් පියෙක් වියහැකිය. ධනය, බලය, සුරක්ෂිත බව විවාහය විසින් යෝජනා කරන ව්‍යාජ ප්‍රේමය වෙනුවට ‘මිනිසා’ යන අර්ථයෙන් මිනිසෙකුද ගැහැණියකද සොයාගත හැකිය.
ජීවිතයේ වටවන්දනාවට එළඹෙන නිශ්මි හා සචින් යන දෙදෙනාටම සැබෑවටම ජීවිතය හමුවන්නේ හෙටක් නැති ඒ ජීවිතය තුළය. එකෙකු කලින්ම මියයයි. ඒ, මියයන්නා පෙරමගට පිවිස තවත් ස්වල්ප කාලයක් ජීවත්වන්නියට ප්‍රේමයේ අනුවේදනීය බවින් නඩත්තු ගෙවයි. තව නොබෝ දිනකින් සචින් ගිය මාවතේම තමාටද යාමට සිදුවනු ඇති බවත් දන්නා ඇයට මරණයේ බිය නොදැණේ. ඒ ගමන සිය හදබසින් අලංකාරව ගීතවත් කරයි. රෝගය විසින් යෝජනා කරන මරණ දිනය ඇයට බොහෝ දුර එකක් බවත්, එයට වඩා කෙටි මරණ දිනයක් ඈ බලාපොරොත්තුවේ. ප්‍රේමයේ මහිමාව එයයි. ඒ සඳහා බලාපොරොත්තුවේ බෝට්ටුවට ඇය දැනටමත් ගොඩවී සිටී.
කිසිදු සාංකාවක් නොමැතිව අනාගතය ගැන බලාපොරොත්තු අතහරින ඔවුන් දෙදෙනා හැම පුංචි දෙයකින්ම සතුට එකතු කරන්නේ මහළු උපාසක උපාසිකාවන් මතු අත්බවට පින් රැස්කරන්නාක් මෙනි.
කැමරාව, පින්සලක්, පෑනක් බවට පත් කිරීමට අධ්‍යක්ෂවරයාද (චත්‍ර වීරමන්) කැමරා ශිල්පියාද (කාලිංග දේශප්‍රිය) සමත්ව සිටී. ආලෝකයේ හා අඳුරේ වර්ණ විභේදනය කරමින් සංතාපයද, උත්සවශ්‍රීයද මවයි. මෑතකාලීන සිනමා කෘතියක දක්නට නොතිබූ තරම් කෘතහස්ත කැමරාකරණයක් අපට ආයු තුළින් මුණගැසේ. චීන සරුංගල්, සංචාරක ව්‍යාපාරයේ නව ප්‍රමෝද ඉසව්, වෙරළ ව්‍යාපාරික නගරයක් බවට පත්වී, රටේ පාර්ලිමේන්තුවේ, මහජන රැස්වීම්වල හා සංඝ සමුළුවලද, නායක භික්ෂූන් හා බිෂොප්වරයා කියන මධ්‍යකාලීන සදාචාරය වෙනුවට මගනොහැරිය හැකි අන් යථාර්තයක විචිත්‍රත්වයද, ඛේදවාචකයද එකට මුණගස්වයි.
‘ආයු‘ අහම්බ දරුවාගේ නමයි. ඒ දරුවා හමුවීම හෝ කාගේ කවුද හෝ යන්න විමසීම පමණක් නොව ඈ ඇත්ත දරුවෙක්ද යන්න සොයා බැලීම පවා තේරුමක් නැති වැඩකි. ඒ දරුවා බිඳී ගිය ජීවිත වෙත අර්ථයක් ගෙන එන දිව්‍යමය උදානයයි. නිශ්මිගේ හා සචින්ගේ ජීවිත පත්ලේ සැඟවුණු දයා කරුණාවේ ප්‍රකාශනයයි.
ජීවිතයේ අරුත කුමක්ද? කෑමූගේ ඔයැ ීඑර්බටැර නවකතාවේ මර්සෝට් මෙන් සචින් ජීවිතයේ අරුත එතෙක් සම්ප්‍රදාය විසින් ගොඩනගා ඇති පරමාදර්ශයන්ගෙන් සොයා නොගනිමින් එදිනෙදා ජීවිතයේ සිදුවීම්වලින් ඉබේ වන්නට ඉඩහරී. සචින් නව පන්නයේ මර්සෝට් කෙනෙකි. ජීවිතය, මානව සබඳතා එන හැටියකට බාරගනී. දහහතර වැනි වියේදී වයස්ගත ගැහැණියක විසින් රාගයේ විත තියා ආශාවන් පුබුදුකරන ගැටවරයෙකුට, ඉන් ලබන උද්දාමයම ජීවිකාවද රසය සොයන මාර්ගයද කරගනී. මර්සෝට්ට මෙන්ම සචින්ටද තෘප්තිමත් ජීවිතයකට අනුපාන වශයෙන් තමන්ගේම වූ ආචාර ධාර්මික ලෝකයක් ඇත. එය සම්ප්‍රදායෙන් මෙහෙයවෙන නිශ්මිගේ අම්මාගේ ආචාරධාර්මික ලෝකයට වඩා ජීවිතයට සමීපය.
ආයු චිත්‍රපටය මා දෙවනවරට නැරඹුවේ මෙය ලියන දාට පෙරදිනයේය. පළමු නැරඹුම වනාන්තරයක ඩ්‍රෝන ඡායාරෑපයක් මෙනි. දෙවන වර නැරඹීම මට අනුව, ඒ වනාන්තරය තුළට පයින් ඇවිද යාමක් වැනිය.
ආයු නැරඹූ හා නරඹන බහුතරයකට බොහෝ විට ජීවිතයේ කිසිදාක ඒඩ්ස් නොවැළඳිය හැකිය. එහෙත් ඒ හැමදෙනාටම ජීවිත අබග්ග සිදුවීම වැළැක්විය නොහැක්කකි. එහෙයින් ‘ආයු’ යනු බරපතල ගනයේ අබග්ග සිදුවන හැමෝගේම කතාව වියහැකිය. අප ජීවිත වටා ඇති වටවළල්ල බිඳගෙන යාමට සිදුවන්නේ මේ නිසැක අබග්ග අහම්බයන් නිසාය.
මා මේ චිත්‍රපටය නරඹන අතර කාලයේ එරික් එලියප්පාරච්චිගේ ‘තිවංක කතාව’ නවකතාව කියවමින් සිටිමි. එහි කතානායකයා විලියම්ය. සම්ප්‍රදාය විසින් සකස්කොට නිමකරන ලද ‘සංස්කෘතික මිනිසා’ වෙනුවට තිවංක කතාව විසින් යෝජනා කරන විලියම් නම් ‘සංස්කෘතික මිනිසා’ සම්ප්‍රදාය විසින් නිමකරන ලද බොරුකාරයාට වඩා සත්‍ය මිනිසෙකි. විලියම් සත්‍යගරුකය. ඔහු උගතෙකු නොවූවත් උගත්කමේ හතරකොන මැනවින් හඳුනන, ඒ කෙරේ කිසියම් ගරුත්වයක් සහිත අයෙකි. අවට ලෝකයේ පැවතිය යුතු ශාස්ත්‍ර ඥානයේ ප්‍රවර්ධකයෙකි. ආශාවන් ප්‍රහීන නොකර ඒවා ඔහුටම අනන්‍ය සාධාරන මාර්ගවලින් ප්‍රීනනය කරගනී. ගණිකාවන්ට ලැබෙන බහු පිය දරුවන්ට කැමැත්තෙන් පියෙක් වෙති. සම්ප්‍රදායේ යහපත් අංග රැකගනිමින්ම ක්‍රමය වෙනස් විය යුතු බව විශ්වාස කරන්නෙකි. කොටින්ම හෙට ජීවිතය වෙනුවෙන් අද ජීවිතය බිල්ලට නොදෙන්නෙකි.
‘ආය’ුහි සචින්ද එසේය. සතුට හා ආදරය ලබාදුන් තැනට වනසතෙකු සේ ආදරය කරයි. ඒ රළු මානවයා තුලට පියමං කරන නිශ්මි විවාහයේ සීමා මායිම් මකා දමයි. ඒ තම සැමියා තමාට වංචා කළාය යන හේතුවෙනි.
චරිතයක්, අවස්ථාවක් නොමැතිව කටහඬක් පමණක් ඇසෙන්නට සලස්වා රවි විසින් .ෂඑි බැට්එසඩැ. කියන ඒ උද්දාමයම ප්‍රේක්ෂකයාට දැනෙන්නේ ආත්මාර්ථයෙන් ඔහු .ඡදිසඑසඩැ. බවකි. එය සිංහල සිනමා කෘතියක මා දුටු අපූරු භාවිතාවකි. ඒ බලගතු හා සරල අවස්ථාව සමාව දීම පිළිබඳ නිශ්මි තුළ තිබූ කුඩා විවරයද වසා දමයි.
අවංකත්වයේ භාෂාව අම්මා නිතර තෙපලන ධර්මානුකූල නිවුණු වචන නොවේ. තමා ඇඟෑළුම් පාන ගැහැණියට අවමන් කරන එකාට විරුද්ධව මාරාන්තිකව සටනට එළඹීම තුළින් අවංක බවේ භාෂාව අපට ඇසේ. ඒ ඇඟෑළුම් පාන ගැහැණිය බොරු පුරාජේරුවකින් නොසනසා හෙන ගහන ඇත්ත කියන සචින් ඇයව නොරවටයි. සැබෑ ලෝකයේ සදාචාරය විසින් පිළිකෙව් කරන සචින්ගේ නිරුවත් යථාව ඇස් පනාපිට දකිද්දී , ඊටත් වඩා දේවල් ඔහු ඇයට කියද්දී, ඇය ඔහු වෙතින් පලා නොයන්නේ ඇයි? සිය පෙම්බරාගේ මරණ මොහොත තෙක් ඇය රැඳී සිටින්නේ ඇයි? සත්‍ය කතාවක් ඇසුරෙන් මුල් කතාව නොවන චිත්‍රපටයක් තැනීම අපූරු වැඩකි. වසන්ත ඔබේසේකර කළේද එයයි. ඒත් මගේ අදහසට අනුව චත්‍ර වීරමන් වසන්තව මැනවින් සමතික්‍රමණය කර ඇත.
ආයු චිත්‍රපට අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිවර විසින් වසන්ත ඔබේසේකර සිනමා මාදිලිය සමතික්‍රමණය කරන්නේ ඒ මොහොතේ සමාජ වටපිටාවේ රිද්මයද සිය කෘතිය තුළින් විෂද කරමිනි.
“මේ ලෝකයේ තියෙන්නෙ අහම්බයන් කියලයි මං ඔයාගෙන් ඉගෙනගත්තෙ. ඒත් මේ ගිනිගහන වැල්ලඋඹ අපි දෙන්නා හම්බුනේ හේතුවකට කියලා මම දන්නවා.”
-නිශ්මිට, සචින් විසින් සිය මරණ හෝරාවේ ලියා ඇති අවසන් ලිපිය.
චන්ද්‍රරත්න බණ්ඩාර
















