චන්ද්රරත්න බණ්ඩාරගේ අලුත්ම නවකතාවේ නාමය වන ‘පියාසර සමය’ ගැන ඉතාම සරලව අර්ථ ගන්වන්නේ නම් ‘පියාසැරීමේ කාලය’ (නැතහොත් පලායාමේ කාලය ලෙස වුවද ) ගතහැකිය. එය තමන් විඳි අත්දැකීම් ආඛ්යානය සමඟ සම්බන්ධ කරන්නට පාඨකයාට අවකාශයක් පිරිනමන, සිතුවිලි අවුළුවනසුලූ, නවකතාවකි. එයට පදනම් වන්නේ, ශ‍්‍රී ලාංකිකයින් ලෙස අප සජීවීව අත්විඳි, ඉතා නුදුරු අතීතයේ සමාජ දේශපාලන යථාර්ථයන්ය. රචකයාගේ පූර්ව කෘතිය වූ ‘පේ‍්‍රමානිශංස’ අදාළ වසරේදී, හොඳම නවකතාව උදෙසා ‘ස්වර්ණ පුස්තක’ සම්මානය, විද්යෝදය සාහිත්ය සම්මානය හා ගොඩගේ සම්මානය දිනාගති. පසුගිය සැප්තැම්බරයේදී (2024) එළි දුටු ‘පියාසර සමය’ ‘පේ‍්‍රමානිශංස’ සමඟ තේමා සාම්යයක් දරන අතර ශ‍්‍රී ලංකාවේ මෑත කාලීන සිදුවීම් ඇසුරු කරගනිමින් ප‍්‍රබන්ධ කෙරී ඇත. කෙසේ වුව, වැදගත් කරුණ වන්නේ විප‍්‍රවාසීන්ගේ සාහිත්‍ය නිර්මාණ ශානරයට එය එක්කරන දායකත්වයයි.
ප‍්‍රබන්ධකරුවා ප‍්‍රධාන චරිත දෙකක් නිර්මාණය කරමින්, එම චරිත ඔස්සේ ජීවිතයේ යම් යම් ඉසව් පිළිබඳ අවලෝකනයක් ගෙන එයි.
චමත් යනු ‘අරගලය’ තුළ සක‍්‍රිය වීම හේතුවෙන් රටින් පලා යන්නට සිදුවීම මත, සරණාගතයෙකු ලෙස කැනඩාවට ඇතුළු වූ තරුණ උපාධිධරයෙකි. ඕනෑම මොහොතක සිදුවිය හැකිව තිබූ අත්අඩංගුවට ගැනීමෙන් ගැලවීමට, රටින් පිටවීමට ඔහුට බල කෙරුණු බව කතාවෙන් කියවේ. ඔහු අසීරුවෙන් මුදල් සොයා ගන්නේ තම මවගේ ගැඹුරු ඇල්මකට ලක්ව තිබුණු පාරම්පරික ඉඩමක් උගසට තැබීමෙනි. මිලංකා, සිය විවාහය නිසා මෙන්ම, ශ‍්‍රී ලාංකේය දේශපාලනයේ බලපෑම් සහගත තැනැත්තියක වූ සිය මව නිසා නිල දේශපාලන බැඳීම් සහිත වූවද, නිදහස් මතධාරී විශ්වවිද්යාල ආචාර්යවරියකි. සිය සැමියා වන පුෂ්පේ දූෂිත දේශපාලනඥයෙකුව සිටියදී හදිසියේ පැන නඟින දේශපාලන උද්ගතයන් හේතුවෙන් මිලංකාද ශ‍්‍රී ලංකාවෙන් පිටවන්නීය. පිටුවහල් ජීවිතයේ තත්ත්වයන් මෙන්ම, කෙනෙකු විප‍්‍රවාසී ජනකණ්ඩායමක (ඩයසපෝරාවක) කොටස්කරුවෙකු වන අයුරුද, මෙම චරිත දෙකේ අත්දැකීම් තුළින් නවකතාව කියාපායි. තවද විප‍්‍රවාසී සාහිත්‍යයට පොදු ‘අවශෝෂණය වීම’ නැතහොත් ‘සමානත්වයට පත්වීම’ බඳු තේමාවක්ද නවකතාවෙන් විදාරණය කෙරෙන්නේ , එම චරිත නව ජීවිතවලට හුරුපුරුදු වන ආකාරයන් විමසමිනි.
මිලංකා හා චමත් එන්නේ වෙනස් සමාජ පරිසර දෙකකින් වන අතර, කතුවරයා ඔවුන් තුළින් ශ‍්‍රී ලංකාවේ සමාජ දේශපාලනික සංදර්භයේ යම් අංශයන් ගවේෂණය කරයි. කෘතියේ ආඛ්යානය සාවධාන ස්වභාවයේ පවතිමින් චරිත ගැඹුරක් සහිතව ගොඩනැගෙන අතර කතුවරයා ඔවුන් ජීවිතයට ගෙන එන්නේ සියුම් තතු ඔස්සේ ඔවුන්ව යථාරූපී වීමට ඉඩහරිමිනි.
චමත් ලාබාල වියේදීම, වෘත්තීය සමිති ක‍්‍රියාකාරිකයෙකු වූ සිය පියාගෙන් ලද ආභාසය ඇත්තෙකි. එනිසා ඔහු ශිෂ්ය ව්යාපාරවල නියැලූණා සේම ‘අරගලයේද’ ප‍්‍රධාන චරිතයක් නිරූපණය කරයි. අත්අඩංගුවට පත් වුණු හා හිරිහැරයට ලක්වුණු, චමත් බඳු, ක‍්‍රියාකාරිකයන් ගැන කතාවේ විස්තර කෙරේ. ශ‍්‍රී ලංකාවේ ඉතිහාසයේ මෙම සමය පිළිබඳ පසුබිම් කතාවක් ප‍්‍රබන්ධයෙන් කියැවෙන අතර, ලෙහෙසියෙන් නිරීක්ෂණය නොවන නිශ්චිත මූලයන් අනාවරණය කරන්නට ප‍්‍රයත්න දැරේ.
මිලංකා තම පියා කවුදැයි නොදන්නා දැරියක වූ අතර, තම මව වූ ලැටීෂියා විජේවික‍්‍රම පමණක් දැන සිටි ඇය, යම් පමණකට රැකවරණය හා වරප‍්‍රසාද සහිත ජීවිතයක් ලබා සිට ඇත. ආරම්භයේදී ඇය කවුරුත් දන්නා, කාගේත් ආදරය දිනූ, විශ්වවිද්යාල විද්වතියකි. මිලංකාගේ චරිතය ප‍්‍රවේශමෙන් ගොඩනැංවෙන අතර චන්ද්රරත්න බණ්ඩාර, ඔහුගේ පෙර නවකතාවේ දී පාඨකයින්ට හමු වූ රූපයේ, බුද්ධියේ හා ශක්තියේ සුසංයෝගයක් වූ ස්ත‍්‍රී පරමාදර්ශය මෙහිදී ද නිර්මාණය කරයි. මිලංකා, සිය පුද්ගලිකත්වය හා තමන්ට පිළිගත නොහැකි දෙයට විරුද්ධවීමට තිබූ හැකියාවක් මත, පුෂ්පේට තද බල ප‍්‍රතිවිරෝධයක් දක්වයි. සැබැවින්ම ඇයගේ අසම්මත ගුණය, පාඨකයාට නවකතාව අවබෝධ කරගැනීමට බලපාන රූපකයක් බවට පත්වෙයි. කෙසේ වෙතත් ඇය උපරිම ලෙසම ප‍්‍රතිපත්ති මතම පදනම්වන්නියකි.
විජේවික‍්‍රම මහත්මිය ගුප්ත චරිතයකි. ඇගේ චරිතය හැඩගැසී තිබුණේ ‘හෙටේරා’ (්Hetaera) මාදිලියටය. හෙටේරා යනු පුරාණ ග‍්‍රීසියේ පෙරික්ලීස් :ඡුැරසජකැි* නම් රාජ්ය නායකයාට කාමාස්වාදය හා සතුට, සහනය සැපයූ ඉහළ පංතියේ පේ‍්‍රමනීය විලාසිනියක ආකාරයටය. ඇස්පේසියා (්Pericles) පෙරික්ලීස්ගේ ප‍්‍රියතම සහයිකාව වූ බවත් ඇය පුරාණ ඇතැන්සයේ රන් යුගයේ ඉහළින්ම බලපෑම් සහගතව සිටි බවත් කියැවේ. විජේවික‍්‍රම මහත්මියද විස්තර කෙරෙන්නේ, දේශපාලන භූමියේ මෙහෙයවීම්, වෙනස් කිරීම් කළ විශ්වාසවන්ත, බලගතු ගැහැනියක ලෙසිනි. එහෙයින් ඇයද පැරණි ග‍්‍රීක හෙටේරාවන් සේම. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ගමනට අදාළව වැදගත් භූමිකාවක් පණගන්වන්නීය.
පුෂ්පේ මෑතකාලීන දේශපාලනඥයාගේ සංකේතයයි. බැබළුමක් නොමැති සාමාන්ය පුද්ගලයෙකුගේ තත්ත්වයේ සිට අපේක්ෂා සහගතව ගොඩනැගුණු හෙතෙම අප දන්නා අශෝභන, දූෂිත, ප‍්‍රතිපත්ති විරහිත, සාමාන්ය දේශපාලනඥයාගේ මාදිලියට රූපාන්තරණය වන්නේ වේගයෙනි. අහිංසක ඇරඹුමක් සහිත වූ ඔහු හැඩ වැඩ ගන්වා, කල එළි බස්වන්නේ දේශපාලන රණබිමේ බලවන්තියක වූ විජේවික‍්‍රම මහත්මියයි. අරමුණු සහගතව හා සැලකිල්ලෙන් යුතුව චරිත හඳුන්වාදීම හැරුණු විට, චන්ද්රරත්න බණ්ඩාරගේ ලේඛනයේ සිත්ගන්නාසුලූ ලකුණක් නම් සත්ය චරිත හා සිද්ධි ප‍්‍රබන්ධයට සංයෝජනය කිරීමයි. වත්මන් පරපුර විසින් අමතක කරන ලද බ්රෙස්ගර්ඩල් (Bracegirdle) හා බාබරා සන්සෝනි (Babara Sansoni) ඇතුළු බොහෝ පුද්ගලයින් ගැන සඳහන් වන අතර, කලාකරුවන්ට දිරිය හා උපකාරය සැලසූ අයෙකු ලෙස ඔවුන’තර ප‍්‍රකට, සමාජයේ ආදරයට බෙහෙවින් පාත‍්‍ර වූ හැරල්ඞ් පීරිස් වැනි අයෙකුට ප‍්‍රබන්ධය තුළට එන්නට ඉඩහසර සැලසෙනුයේ නවකතාව පාඨකයාට සැබෑ හා සජීවී අත්දැකීමක් කරවමිනි. එයට අමතරව කතාකරුවා ආගමික, සාහිත්යයික, ඓතිහාසික, කලාත්මක හා සංස්කෘතික තේමාවන්, පාඨයන් කෘතියට මුසු කරන්නේ, පාඨකයින්ට ඒවා නිරායාසව විඳින්නට අවකාශ සලසමිනි.
කියුබා සංචාරය ආරම්භය දක්වා මෙන්ම එම සංචාර කාලය විස්තර කෙරෙන අවස්ථාවලදී පාඨකයා, කතාව හා බැඳී සිටින්නට පෙලඹෙන්නේ, යුතු හෙයින්ම එහි ලා සඳහන් කෙරෙන කලා හා සාහිත්යයික කාරණා නිසාවෙනි. ජෝසේ මාටි හා ඔහු නමින් ඉදිකෙරුණු ස්මාරකය, එහි පසුබිම් කතාව ආදිය මෙතනට එන්නේ කතාවේ ආකෘතිය තුළ වැදගත්කමක් අත්කරගන්නා සේ ස්ථානගත වෙමිනි. ෆී‍්‍රඩා කාලෝ, ට්රොට්ස්කි මෙන්ම දියාගෝ රිවෙයිරා ද සඳහන් වන්නේය. පාඨකයාට කියුබාව හා අපේ මව්රට අතර සමාන්තරයන් මඟ හැර යා නොහැක්කේ දෙරටම බලගතු රටවල කිවිසුමකින් පවා පීඩා විඳින හෙයිනි.
සමස්තයක් ලෙස නවකතාව විෂයයකට අදාළ කලාත්මක අවශ්යතාවක් සපුරමින් තෘප්තිකර කියවීමක් පිරිනමන අතර උපදේශාත්මක අරමුණක් ඉටුකරගන්නා බවද පෙනේ. මැතිවරණයක් හෙට අනිද්දා පැවැත්වෙන* අතර සාමාන්ය මිනිසාගේ දේශපාලන සාක්ෂරතාව ඌන යැයි කියැවෙනු ඇසේ. එහෙත්, එසේ නම් කාලීන දේශපාලනඥයාගේ තත්ත්වය කෙසේදැයි යමෙකු අසන්නට ඉඩ තිබේ. නාමයෝජනා ලැබීමටවත් ඔවුනට උපකාර වන යමක් වෙත්ද? ජාල සමරේ යනුවෙන් හඳුන්වනු ලැබූ අයෙකුගෙන්, මගේ ඡුන්දය පිළිබඳ ඉල්ලීමක් කරමින් මටද කෙටි පණිවිඩයක් ලැබිණි. නවකතාව මඟින් නිරුවත් කෙරෙන ශ‍්‍රී ලාංකීය දේශපාලනයේ එක් පැත්තක් එසේය. එසේ හෙයින් අපට කළ හැක්කේ, පාඨකයාගේ ඇස් ඇරවීමේ යුතුකම ඉටුකරන කෘතිය නිසි වේලාවට එළිදැක්වීම පිළිබඳ ලේඛකයාට සුබ පැතීම පමණකි.
* මෙම ලිපිය මැතිවරණයට පෙර ලියැවුණකි.
අශන්ති ඒකනායක
ඉංග‍්‍රීසි උපදේශක
පේරාදෙණිය විශ්වවිද්යාලය
(අශාන්ති ඉංග‍්‍රීසි බසින් ලියා Colombo telegraph හි පළවූ ලිපිය සිංහලට පරිවර්තනය කළේ දේ.වි.ගාල්ලගේ)
Wednesday, 18 December 2024
පියාසර සමය- ඉතිහාසය අමතක නොවණු පිණිස
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment