වගාඩම්බර, පුහු මානය, තමාම උත්කර්ෂයට නංවාගැනීම ආදි භයංකර ක්ලේෂයන් නොමැති, මා දකින ප්‍රමුඛම සාහිත්‍යවේදියා එතුමාය. අප වැනි පුහු දුන් උදවියට ඒ මුනිවර හැසිරීමට අලගු තැබීමටවත් නොහැකි බව පැවසීම මේ මොහොතේ එතුමන්ට කෙරෙන පුංචි පූජෝපාහාරයක්ම වේවා. ආත්මගත කිසියම් ගැඹුරු වේදිතයන් සාහිත්‍යයෙන් මිස අන් අයුරකින් ප්‍රකාශ කිරීමට නොහැකි බව ඔහුට අවබෝධ වූවා විය හැකිය. එසේ නිකුත්කොට ලබන ප්‍රමෝදය ඔහුගේ නිර්මාණ අරමුණ වියහැකිය. සැබෑ සාහිත්‍යකරුවාට ඒ ලබන ප්‍රමෝදය සම්මාන ඇගයීම් ආදියට දෙවෙනි නොවේ.
එක්දහස් නවසිය අසූගණන්වල මුල්භාගයේ ඔහුගේ දේශනයක පිටපතක් (විනෝදයයි වින්දනයයි?) කියවීමෙන් පසු ඔහුගේ සාහිත්‍යය හා සාහිත්‍ය දර්ශනය දශක හතරක් පමණ තිස්සේ ලැදිව හදාරමි. නිර්මාණකරණයේදී අපගේ නිර්මාණ උල්පත් සිඳී යන විට එය නැවත උපදවා ගැනීමට තිලකසේනයන්ගේ කෙටිකතාවක් ,කවියක් කියවීම සෑහේ. ඒ තරම්ම ඒවා බලපෑම් සහගත නිර්මාණයන්ය.
ඔහු තම නිර්මාණ සඳහා ඇගයීම් සම්මාන ආදිය ප්‍රතික්ෂේප කරන්නේ කිසිවකට විරෝධය පෑමට නොවේ. සම්මාන ආදිය ගැන එතුමා අවමන් කළ බවක්ද මා අසා නැත.
රුහුණු විශ්වවිද්‍යාලයෙන් අජිත් තිලකසේනයන්ට සම්මාන ආචාර්ය උපාධියක් පිරිනැමීමට තීරණය කිරීම අගය කළ යුතු දෙයක් බව අපගේ හැඟීමයි. සාමාන්‍යයෙන් මා දන්නා තරමින් විශ්වවිද්‍යාලයකින් යම් ඇගයීමක් කිරීමට තීරණය කරන්නේ අදාළ තැනැත්තාගේ සේවාවේ තරම සළකා පළමුව ඔහුගේ කැමැත්ත අකමැත්ත විමසා නොවේ. පුද්ගලයාගේ කැමැත්ත ඊට අදාළ නොවේ. ඉනික්බිති කැමති නම් එය පිළිගැනීම හෝ නොපිළිගැනීම ඔහුට අයත් කාර්යයකි.
ඇමරිකාවේ හිටපු ජනාධිපති බරක් ඔබාමා මහතා පළමුවරට තේරී පත්වී මසක් ඇතුළත නොබෙල් සාම ත්‍යාගය ඔහුට පිරිනැමුණි. එය පිළිගනිමින් ඔහු පැවසුවේ 'තමා තවමත් ලෝක සාමය වෙනුවෙන් කළේ කුමක්දැයි නෙදෙන්නා බවය. එම සම්මානයට තමා සුදුස්සෙකු වූයේ කෙසේදැයි නොදන්නා බවය." ඉන් ඇඟවෙන්නේ ඔබාමාගෙන් විමසීමක් නොකරම සම්මානයට නිර්දේශ කළ බව නොවේද?
තිලකසේන මහතා ඔහුට ලැබුණු සම්මාන ආචාර්ය උපාධිය පිළිගත්තත් නොගත්තත් එවැන්නක් පිරිනැමීමට තීරණය කිරීමෙන් එකී විශ්වවිද්‍යාලය ගෞරවයට පත්වන්නේය. ඒ විශ්වවිද්‍යාලයත් ලංකාවේ සෙසු විශ්වවිද්‍යාලත් පසුතැවිය යුත්තේ තිලකසේන මහතාට සම්මාන ආචාර්ය උපාධියක් පිරිනැමීමට මීට පෙර ඉදිරිපත් නොවීම ගැනය.
No comments:
Post a Comment