මීට දෙසිය වසකට පෙර නෙදර්ලන්තයට රැගෙන ගිය මහනුවර රාජධානි සමයට අයත් කෞතුක භාණ්ඩ 6 ක් යළි මව්බිමට ලබා ගැනීමට සංස්කෘතික ඇමතිවරයා කළ ඉල්ලීමක් සලකා බලා ඇති නෙදර්ලන්ත රජය ඒවා මෙරටට බාරදීමට එකඟ වී තිබෙනවා.
''Rijks කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කර තිබෙන රනින් නිම කරන ලද කොපුව සහිත කස්තානයක්, රිදියෙන් නිමකරන ලද කොපුව සහිත කස්තානයක්, රනින් නිමකළ පිහියක්, මහ තුවක්කු දෙකක් සහ ලෙව්කේ දිසාවේ හට අයත්ව තිබුණා යැයි සැලකෙන කාලතුවක්කුවක් යන කෞතුක භාණ්ඩ හය මහනුවර රාජධානී සමයට අයත් වූ ඒවා බව හෙළිදරව් වූ අතර වර්ෂ 1765 දී ලන්දේසීන් විසින් මහනුවර රජ මාලිගාව වටලන ලද අවස්ථාවේදී ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම (VOC) විසින් රැගෙන ගොස් ඇති බවද තහවුරු වී තිබේ.'' (ප්‍රවෘත්ති නිවේදනයකින් කළ උපුටා ගැනීමකි.)
උරුමයන් රැක බලා ගැනීම ස්ථාවර හා ඒවා පිළිබඳ සංවේදී රාජ්‍ය පාලනයකට පමණක් කළ හැකි දෙයකි. එහෙත් ඇත්තටම එම කාර්ය කරන්නට ලංකා රාජ්‍යය සමත්ද?
මීට වසර කිහිපයකට පෙර කෙෳතුකාගාරයේ තිබී දුටුගැමුණු යුගයට අයත් රන්කඩුවක් සොයා කළ 'කන්කොටා' නාටකය ඔබට මතකද? ඒ කාරණයම පදනම් කරගෙන කොළඹ විහාරස්ථානයක භික්ෂුන් වහන්සේලා දෙනමක් අපවත් කරන ලදී.
පෞරාණික බව කෙසේ වෙතත් රනින් නිමවීම යන කාරණය පමණක් එම අගනා උරුම භාණ්ඩවල ආරක්ෂාවට අපල ගෙන දෙන්නකි. ලංකාවේ අතිවිශාල පැරණි පන්සල් ප්‍රමාණයක පිළිම හා චෛත්‍යයයන් බිඳ දමා ඇත්තේ නිදන් සොයාය.
ලෝකයේ කෙෳතුකාගාර යනු පෞරාණික භාණ්ඩයන්ගේ ආරක්ෂාවට හොඳම තැන වුවත් එයද රාජ්‍ය චෞරත්වය ඉදිරියේ අසරණය.
වඩාත්ම හොඳම දේ නම් වසර දෙසියයක්ම ඉතා හොඳින් ඒවා නෙදර්ලන්ත කෞතුකාගාරවල ආරක්ෂා වූවා සේ තවදුරටත් එසේම තිබෙන්නට හැරීමය. අපගේ අනාගත පරම්පරාවටවත් හොඳ පාලන ක්‍රමයක් ලැබුනොත් ඒ ගැන සලකා බැලිය හැකි වේවි.
කොවිඩ් එන්නතෙනුත් ගසා කෑ රටක , ඇස් රෝගවලට ගෙනා බෙහෙතිනුත් ගසා කෑ රටක, ගසා කෑම නිසාම බංකොලොත් වූ රටක ඒ කළ කිසිවකුට අබමල් රේණුවක නීතිය ක්‍රියාත්මක නොවන රටක පුරාවස්තු ආරක්ෂා වේ යැයි සිතිය හැකිද? අනික තනි රත්තරනුත් වූ කළෙක?