Thursday, 5 September 2019

කාලයේ කඩ ඉමක් පසු කරමි.

අඳුර විනිවිදිමින්
කණමැදිරි එළියෙන් පවා
මංහසර පාදා ගනිමින්
මේ දුර පැමිණියෙමි.
වසන්තය අග්ගිස්සේ
එයට ගොඩ වැදුනෙමි.
පසුව එහි තොරතුරු
සිසිරයට පැවසීමි.
සදාතනිකව ආදරය කරන්නෝද
සදාතනිකව වෛර කරන්නෝද
හමුවීමි.
රතුවන් පැහැබර අහස
තැඹිලි පැහැ ගැන්වෙන හැටි දිටිමි.
සුබ ප්‍රාර්ථනා සහිත මිනිසුන් වෙත ඇදී ගියෙමි.
කෝකිලයෝ තරමක් පමාවී
මට පමණක් ගැයූ ගී ලියාගෙන සිටිමි.
රෑ තුන්යමේ සොඳුරු අඳුරට
වශීවී සිටි විටෙක
හිරු බුබුල ගෙනවිත් සමහරු
රාත්‍රිය එළිය කොටආපසු ගියේ
ඒ හිලව්වට දහවලද අඳුරු කරමිනි.
බකමූණෝ නොහඳුනන වෙනසින් බියපත්ව
වෙන වෙන ස්වරවලින් 'හ්ම්' 'හ්ම්' ගෑය.
දහවල් ගයන කුරුල්ලෝ
අහම්බෙන් පැමිණි රාත්‍රියේ
අසීරුවෙන් වුව මිහිරි ගී ගැයුවේ
මා වෙනුවෙනැයි පසු කලෙක මට කීහ.
ඇලඩින් පැමිණ පුදුම පහනත් රැගෙන
තෑග්ගක් දෙන්නට සිතා
එතෙක් සිතූ සිතූ සම්පත් දුන් ඒ පහන
ඉලූ කල කළු ගලෙහි
නැත වැඩියේ ඉටු යකා.
ඇලඩින් කෝපයෙන් පසෙක දැමූ ඒ පහන
මගේ ගෙයි දොරකඩය තවමත්.
රතු පලස මත නැගී පියැඹූ අපට
අහස් ගව්ව මුණ ගැසිනි.
පතීද එතන සිටියේය.
ඒ රතු පලස මතදීම
කාලෝ ද මුණ ගැසුණි.
එවැනි හොඳ මිනිසුන් බොහොමයක්
ඒ පලස මත මුණ ගැසුණි.
කාලෝ යන්න ගියේය.
පතී ඊටත් පෙර යන්න ගියේය.
පියසීලි...සුචරිත ඊටත් පෙරම
තව තවත් අය රැසකි යන්න නියමිත.
ගෙවී ගිය අතීතය
රත්තරං වගේ බර තමා
ඒ බර උපයා දුන්
ආදරණීය මිනිසුනි
හිස නමමි අද
මේ ජීවිත කඩ ඉමේ දී
-චන්ද්‍රරත්න බණ්ඩාර

No comments:

Post a Comment