ශිෂ්ට බව නොහඳුනන ම්ලේච්ඡයන් රැසකගේ සාමූහික කෲරත්වය විසින් ඒ අහිංසක සතුට විනාශ කර දමා ඇත. අප කිතුනුවන් නොවුනත්, බෞද්ධයන් වුණත්, නිරාගමිකයන් වුණත් ඔවුන් විඳිය යුතුව තිබු සතුට වෙනුවෙනුත්, ඒ සතුට විඳීමේ අයිතිය අහිමි කිරීමෙන් ලද වේදනාව වෙනුවෙනුත් පෙනී සිටිය යුතුය.
පල්ලියේ දෙවියන් සිටියා ද නැද්ද යන්න මේ මොහොතේ ප්‍රශ්න කිරීමම අමූලික අශීලාචාර විමසීමකි. භක්තිය හා ශ්‍රද්ධාව ආගමිකයන්ගේ ජීවන කලාපයට අයත් සාපේක්ෂ තේරුම් ගැනීමකි. නිරාගමික බව ද සර්වතෝභද්‍ර බවක ප්‍රතිඵලයක් නොවේ. එය ද සාපේක්ෂ වටහා ගැනීමකි.
ආගමික බවට ද නිරාගමික බවටද බලපාන සමාජ ආර්ථික හේතු තිබේ. බටහිර දී නම් නිරාගමික බව හුදු අවබෝධයකට වඩා ජීවත් වෙන පරිසරය විසින්ම ලැබෙන නිරායාස දෙයකි. දියුණු ධනේශ්වර රටවල නම් නිරාගමික බව ලැබෙන්නේ ආර්ථික හා සමාජ සුරක්ෂිතභාවයේ ප්‍රතිඵලයක් ලෙසිනි.
නෙස්ට්‍රඩෑම් පල්ලිය ගිනි ගැනීමත් ,ලංකාවේ කොච්චිකඩේ පල්ලියේ මහා මනුෂ්‍ය ඝාතනයත් වෙනුවෙන් මා වැළපෙන්නේ ඒ ඛේදවාචකයන් නිසා වඩාත් වැලපෙන කිතුනුවාගේ වේදනාව මවිසින් ද අත්පත් කරගනිමිනි. බාමියන් බුදු පිළිම තලේබාන් ත්‍රස්තවාදීන් විසින් විනාශ කළ විට බෞද්ධයකු වූ මගේ හදවත වැළපුණේ යම්සේද ඊට සමානවම මෙකී විපත් අරභයාත් වැලපෙමි.
නෙස්ට්‍රඩෑම් පල්ලියේ සහශ්‍රී ලංකාවේ විනාශයෙන් පසු මා දුටු අශීලාචාරම හැසිරිම තිබුණේ නිරාගමිකයන්ටය. ඒ මේ ඛේදවාචක සිදුවෙද්දී දෙවියන් සිටියේ කොහේද යන්න විමසීමයි. ඔවුන් කළේ හඬන හදවත්වලට උල් පිහි වලින් ඇනීමකි.
ඔබේ නිරාගමික බව ඔබේ වටිනාකම් පද්ධතිය තුළ සුරැකේවා .
අනෙකාගේ ආගමික බව ඔවුන්ගේ ලෝකයට ආලෝකයක් වේවා.