Thursday, 28 July 2016
මතක කඳුළු
අම්මා අපව හැර ගොස් අදට අවුරුදු තිස් එකකි. අප වෙනුවෙන් දුක්වු ඇගේ මුහුණේ ඇඳුණු දුක්බර රේඛා දැනුදු මට මතකය. ඊටත් කලිං අපේ ජීවිතවලට අඩිතාලම සකසා දුන් අප්පච්චී ද අපව හැර ගියේය. ඒ ජූලි 22 දාකය. බොහෝ දරුවන්ට මෙන් මටද ලැබුණේ හොඳම මවිපිය දෙපලකි. ඒ දෙපලම මගේ ජීවිතයේ තීර්ව ජයග‍්‍රහණ හා බැරෑරුම් පසු බැසීම් දකින්නට ජීවත්ව සිටියේ නැත. කෙනෙකුට තවත් කෙනෙකු උදෙසා පින් පැවරිය නොහැකි බව දන්නා නමුත් මගේ දහඩිය මහන්සියෙන් තැනුණු මගේ ක්ෂුද්‍ර ගොවිපොලේ එළවළු අස්වැන්නෙන් හා මදි අඩුව කඩෙනුත් ගෙනැවිත් මා විසින්ම පිළියෙල කළ දානයක් භාවනානුයෝගීව වැඩ වසන බංග්ලාදේශ ජාතික භික්ෂුවකට අද දින පිළිගැන්වූයෙමි. මට ඉන් ලැබුණු ආත්මික සහනය අති විශාලය
පාර භෞතික කලාපයක පවත්නා එකිනෙක ආගම්වල හොඳ නරක විමසීමේ නරක පුරුද්ද මට නැත. උපන් විට ලැබුණු බුදු සමයට අනුගතව මා එහි අපමණ සහනශීලීත්වය භුක්ති විඳිමි. එහෙයින්ම මට දනක් දෙමින් මගේ දෙමව්පියන්ට කළගුණ සැලකුවායැයි සහන් සංවේගයක් (පහන් සංවේගයක් නොවේ.) ලැබීමි. මම මගේ අම්මාගේ මළගමදා ඇගේ සොහොනේ ඉදිකළ තොරණේ වෙස්සන්තර ජාතකයෙන් තෝරා ගත් කවක් මෙසේ ලියා තැබීමි
‘‘මහ මුහුදත් මදිය කියා රස කිරි දුන් අම්මා
සතර අපායේ නොවැටී නිවන් දකින් අම්මා’’
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment