Tuesday, 14 June 2016

නැති නාස්ති වූ සමාජයක බෞද්ධ භික්ෂුව





         එක්දහස් නවසිය හැත්තෑවේ බලයට පත් වූ සමගි පෙරමුණේ ආණ්ඩුවේ මැද භාගයේ සිට ලංකාවේ දේශපාලනයේ සිදුවන දෑ වටහා ගැනීමට දැන් මැදි වියේ සිටින අපට හැකියාව ලැබුණි. ඊට පෙර අතීතයේ සිදුවූ සිදුවීම් දැන ගැනීමට පොත පත හා වැඩිහිටියන් ඇසුර නිසාත් අපට පුළුවන්කම ලැබිණි. මේ සමස්ථ ඉතිහාසය පුරාම සිදුවූ දේවල් සලකා බලන විට අද ලංකාව මේ තත්ත්වයෙන් වත් තිබෙන්නට බලපෑ කාරණා කිහිපයක් ඇත. 1931 ඩොනමෝර් ප‍්‍රතිසංස්කරණ යටතේ ලැබුණු සර්වජන ඡුන්ද බලය, 1945 දී සම්මත කරගත් නිදහස් අධ්‍යාපන පනත, ඉන් ප‍්‍රධාන යයි මම සිතමි.
          සර්වජන ඡුන්ද බලය හරහා කවර තරාතිරමේ ශී‍්‍ර ලාංකිකයෙකුට වුවද ලංකාවේ පාලන රටාවට මැදිහත්වීමේ හැකියාවක් ලැබිණි. නිදහසින් පසුව විවිධ වකවානුවල බලයට පත්වූ බොහෝ පාලකයෝ මේ නිදහස් මැතිවරණ ක‍්‍රමය විකෘති කර ඇතත් එහි මූලික හරය නැසීමට ඔවුනට තවමත් නොහැකි වී ඇත. ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වට පිටාව ස්වාධීන අධිකරණ ක‍්‍රමයකට මඟ පෑදු අතර නිදහස් මතධාරී සමාජයක් බිහිවීමටද එම තත්වය බලපෑවේය. බලාගෙන වැඩ කරන්නට බි‍්‍රතාන්‍ය පන්නයේ සම්ප‍්‍රදායක් ලැබිණි. ජපානය, චීනය, රුසියාව වැනි රටවල් හැරුණු කොට බි‍්‍රතාන්‍ය සම්ප‍්‍රදාය ලෝක ව්‍යාප්ත දේශපාලන සමාජ ආර්ථික කි‍්‍රයාවලියට අවශ්‍ය තමන්ගේ ක‍්‍රමයක් ඇති කර ගැනීමට මූල බීජය සැපයීය .
          1948 බලය ලබා ගත් ස්වදේශීය පාලකයෝ බොහෝ දුරට උත්සාහ කළේ තමන්ගේ යටත් විජිත ස්වාමිවරුන්ගේ ක‍්‍රමය විජිතවාදීන්ගේ සතුටට හේතුවන පරිදි ඉදිරියට ගෙන යාමටය. එහෙත් එකී පැරණි  ක‍්‍රමය තුළ තිබුණු කාලයාගේ ඇවෑමෙන් පරිනාමයට භාජනය විය යුතු අංග එසේම තබා ගැනීමටත් භාෂාව සංස්කෘතිය හා සමාජ ක‍්‍රමය හමුවේ සුද්දන් ලෙස පෙනී සිටීමටත් නිදහසේ පළමු පාලකයනට අවශ්‍ය විය. එසේ නැතිව ලබා දුන් නිදහසේ අවස්ථාව පාවිච්චි කරමින් බි‍්‍රතාන්‍ය සම්ප‍්‍රදායේ යහපත් අංග තවත් ශක්තිමත් කරමින් හා දේශීය සාර අංග මනාව මිශු කරමින් ශී‍්‍ර ලාංකික ජාතියක් නිර්මාණය කිරීමටත් ඒ මගින් ශී‍්‍ර ලාංකික සියල්ලෝම පොදු සංවර්ධනයේ කොටස් කාරයන් කිරීමටවත් ඔවුන් උත්සාහ නොකළේය.
මේ අත්‍යාවශ්‍ය විපරිනාමය නොවූ නිසාම දුෂ්ටත්වයට හා අසහනයට පත් වූවෝ වනාහි බෞද්ධ භික්ෂූන්, ආයුර්වේද වෛද්‍යවරුන් ආදී ග‍්‍රාමීය ප‍්‍රභූ පැලැන්තියට අයත් කණ්ඩායම්ය. එවකට වාමාංශික නායකයන් හැරුණු කොට අන් කාටත් වඩා බි‍්‍රතාන්‍ය සම්ප‍්‍රදායේ ද ලෝකය ගමන් කරන දිශානතියේද ස්වරූපය දැන සිටි බණ්ඩාරනායක හොඳ ලිබරල්වාදියෙකු විය. එවකට දක්ෂිණාංශික කඳවුරේ සිටි සැබෑ දැනුමැත්තාද ඔහු විය. ඞී.ඇස්, ඔලිවර් ගුණතිලක ආදින්ගේ කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක් ලෙස දේශපාලනයටද, පාලන හැකියාවටද ආගන්තුකයෙකු වූ ඩඞ්ලි සේනානායක වෙනුවට බණ්ඩාරනායක, ඞී.ඇස් ගේ අනුප‍්‍රාප්තිකයා වූවා නම් ලංකාවේ අනාගතය සම්පූර්ණයෙන්ම වෙනස් අතකට ගමන්කොට රට මෙතරම් ඛේදවාචකයකට ඇද නොවැටෙන්නට ඉඩ තිබුණි.
        ඞී.ඇස්්ගේ  හා ඔහුගේ සමීපතමයන්ගේ අනුකාරක බවත් රටේ බහුතරයක් වූ ග‍්‍රාමීය සමාජය  බලාපොරොත්තු  වන්නා  සමාජ දේශපාලන රටාවත් බණ්ඩාරනායකගේ තීක්ෂණ ඥානයට වැටහුණි. ඔහු සඟුන් වෙදුන් ආදින්ගේ හෘද සාක්ෂිය , ප‍්‍රාර්ථනාවන් හා දුර දිග නොසිතන බවද මැනවින් වටහා ගත්තේය. ‘රට’ වෙනුවට ‘බලය’ පිළිබඳ ඔහුට තිබුණු ආසාව විසින් තම හෘද සාක්ෂියේ දේශපාලනයෙන් බණ්ඩාරනායකව ඈත් කර තබන ලදී.
          බණ්ඩාරනායක විසින් භික්ෂුව ආගමික සංස්ථාවෙන් එළියට කැඳවාගෙන විත් ඔවුනට දේශපාලනයේ තැනක් ලබා දෙන ලදී. සැබැවින්ම එදා ද අතළොස්සක් භික්ෂූන් හැර බහුතරයකට දේශපාලනය හා සමාජ ජීවිතය ගැන පුළුල් දැක්මක් තිබුණේ නැත. එය  ඕනෑම රටක පූජක පක්ෂයට ඇති නොහැකියාවකි. මක් නිසාද යත් සිවුරක්ද, බුදුන් වහන්සේගේ ඉගැන්වීම්ද සහිතව යම් ආකාරයකට තාපස වෘතයකට එළැඹිය යුතු භික්ෂුව, ලෞකික , තමන්ට සිය අත ඇති පඨිතයන් :එැංඑ* තුළින් නොදැකිය හැකි ලෝකයක් වෙනුවෙන් පෙනී සිටීමට සිදුවීම තුළ භික්ෂුව හැසිරෙන්නේ සියල්ල විකෘති කරමිනි. බණ්ඩාරනායකගේ හෘද සාක්ෂි විරෝධී දේශපාලනයේ අනුගාමිකයන් වන මෙම භික්ෂුන්ගේ ප‍්‍රධාන මූලාචාරීන් වන්නේ අනගාරික ධර්මපාල තුමාය. ඔහුද මේ රටේ අනෙකුත් ජාතින්ට පමණක් නොව සිංහල ජනවර්ගයේ බෞද්ධ නොවන ජනතාවගේද පැවැත්ම නොඉවසූ කෙනෙකි.
      සිංහල හැරුණු විට උගත් භික්ෂූන් බහුතරය පවා දැන සිටියේ පාළි හා සංස්කෘත යන ආගමික දිවි පෙවතකට අවශ්‍ය පෙරදිග භාෂා පමණි. එහෙත් ලෝකය, ලෝකයේ දේශපාලන හා සමාජ කි‍්‍රයාවලිය, මැනවින් තේරුම් ගැනීමට අවශ්‍ය නූතන භාෂා පිළිබඳව දැනුම ඔවුන් සතු නොවීය. නූතන භාෂා දැනුමක් තිබූ උඩ කැන්දවල සරණංකර, හපුගොඩ සිද්ධත්ත , කොටගම වාචිස්සර වැනි භික්ෂූන් අතළොස්සක් පොදු භික්ෂු සංඝයාට වඩා මැදහත් සිතින් රටත් ලෝකයත් දෙස බැලූහ.
      අධ්‍යාපනයේ කඩා වැටීම හරහා දේශීය අධ්‍යාපනයේ පැරණි භික්ෂු පරම්පරාවට තිබූ දැනුම පවා ගැඹුරින් නොලැබුණු හෙයින් එකී ඥාන මාර්ගයද මෙකී භික්ෂූන්ට වැසී ගියේය. අවසානයේ නාමධාරී උගතුන් රැුසක් මිස දැනුම හා බුද්ධිය සහිත ප‍්‍රාඥයන් ශී‍්‍ර ලාංකීය භික්ෂු සාසනයට අහිමි විය.
    බණ්ඩාරනායක බලය උදෙසා විවෘත කළ මාවතේ කෙලවරකට පැමිණ සිටින බෞද්ධ භික්ෂුව අද දවසේ මානව දයාවේ හා සංහිඳියාවේ මූල ධර්ම සිය සිවුරේ බලය යොදා පාගා දමන්නට තැත් කරති. ඒවා පාගා දමන්නට බලය හිමිකරුවන්ට බලකරති. සිවුර, ලෝගුව, පූන නූල මේ ආදි දෑ ආධ්‍යාත්මික, ලෝකෝත්තර හා පාර භෞතික එතෙරවීමක මෙලොව සංකේත වෙති. මෙකී සිවුර දණ්ඩනයේ හිංසනයේ හා අධිපති බවේද සංකේතයක් වීම ඒ දහම අයත් ශ්‍රේෂ්ඨයන්ට කරන බලවත් අගෞරවයකි.
      ගහකින් අත්තක් කැඞීමත් අකැප භික්ෂුව, හිංසනයෙන් තවත් ජාතියක් මර්දනය කිරීමට බලකරති. ගිහියෙකු රැුකීමට සඟ බලකා හැදීමට තර්ජනය කරති. ගැටුම වෙනුවට සංහිඳියාව යෝජනා කළ බුදුන් වහන්සේ  තරම් තවත්  ශාස්තෘවරයෙක් ගැන මා දන්නේ නැත .
      තපස් වී වෘතයක් උදෙසා කැපවුණු, ආමිසයට වඩා පිළිවෙත් උසස් කොට සලකන ථෙරවාද බෞද්ධ භික්ෂුවක් එකී සාසනික සීමා මායිම් උල්ලංඝනය කරන්නේ නම් ඔහු චරිතයක් වශයෙන්ම ගොහොදු වන්නේය. ගිහි ජීවිතයේ ඇති ශෘංගාරත්මය මිහිරියාව අත හැරීමේ ශෝකය ඔහු දවා තවා ලන්නේය. ඇඩි‍්‍රනාලිත් වැනි ආවේග බහුල කරන එන්සයිම වැඩියෙන් රුධිර ධාරාවට එකතු වී ඒ නාමික භික්ෂු ශරීරය අවුලට පත් කරන්නේ ය. බණ්ඩාරනායකගේ බල තණ්හාව හරහා විවෘත වූ මාවතේ කෙළවරකට පැමිණි බෞද්ධ භික්ෂුව නටන අභාවික නාඩගමේ හැඩරුව තීරණය කරන්නේ යට කී දෑය.
චන්ද්‍රරත්න බණ්ඩාර

1 comment:

  1. හොඳ පදනමක් මත පිහිටා ලියන ලද ලිපියක් ලෙස, අගය කරනවා. 50 දශකයේ උපන් මා, දකින තවත් දෙයක් තිබෙනවා. ඒ කාලයේ බෞද්ධ භික්ෂුව, මෙතරම් හෑල්ලු වුණේ නැහැ. බණ්ඩාරනායක ඝාතන සිද්ධියෙන් පසු වුවද, වැදුණු මඩ පහරවල්, ඉතා කෙටි කලකින් අවසන් වුණා. එයට ප්‍රබල සාධකයක් වුණේ, දේශලනයෙන් තොර, මධ්‍යස්ථ මතධාරී, ධර්මධර, විනයධර, යතිවරයාණන් වහන්සේලා සෑහෙන ගණනක්, එකල සමාජයේ වැඩවිසීම සහ උන්වහන්සේලාගේ ධර්මානුශාසනා, සමාජයේ බෞද්ධ නොවන කොටස් පවා පිළිගැනීමයි.

    නවීන විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය, ප්‍රාමාණික වශයෙන් ප්‍රසාරණය වීම සහ, එතුළින් භික්ෂූන් වහන්සේලා උවමනාවට වඩා පුම්බා උලුප්පා දැක්වීම තුළ, අගතිගාමී වූ බුද්ධ පුත්‍රයන් අතලොස්සක්, දේශපාලනයෙන් ජීවත්වීම නමැති, වෛතුල්‍ය වාදය කරපින්නා ගැනීම නිසා, අද අපි දකින විකාර රූපී බව ඇතිව තිබෙනවා.

    ReplyDelete