Saturday 16 January 2016

නීල පට නිකායෙන් පසු...


         
මීට හැට වසරකට පමණ පෙර අපේ ගම් පළාත්වල නිරුවත හරි හැටි නොවැසූ තාපසයන් යයි කියා ගන්නා පිරිසක් කැලෑ රොදවල් ආශි‍්‍රතව ජීවත් වූ බව ළමා වියේ දී අපි අසා ඇත්තෙමු. ඔවුන් භාවනා කරමින් සිටි බවත්, ගව මුත‍්‍ර පානය කළ බවත්, කියවේ. නිරුවතත්, ගව මූත‍්‍ර පානයත් නිසා ගම්මුන්ගේ සැලකිල්ලක් නොලද එකී පිරිස අපේ ගම්මානයන්ගෙන් පසුබැස අතුරුදන්ව ගියෝය. මේ පිරිස හඳුන්වා ඇත්තේ ‘නීල පට නිකාය’ නමිනි.
          මේ කථාව හා ඔවුන් පිළිබඳ වැඩි විස්තර මා අසා ඇත්තේ අප ළමා අවධියේ දී  අපේ නිවසට පැමිණ අපේ අම්මා සමග සතුටු සාමීචි කතා කරමින් සිටින ‘කොල්ලෙ අම්මා’ නම් මාතාවකගෙනි. එකළ අපේ අම්මාට වඩා දෙගුණයක් පමණ වයසැති ඈ අපට හිතාගන්නටවත් බැරි අතීතයක තොරතුරු රසකර කියන්නී ය. ‘කොල්ලෙ අම්මා’ අපේ ගමේ ඊනියා පහත් යයි සම්මත කුලයකට අයත් කාන්තාවකි. ‘එමෙන්ම ඈ සිය උඩුකය නොවැසූවාය. එසේ උඩු කය නොවැසූ කාන්තාවෝ දෙතුන් දෙනෙක්ම අපේ ගමේ වාසය කළා අපට තවමත් මතකය. ඔවුන් සියල්ලෝම පාහේ යට කී ඊනියා පහත් කුලයට අයත් ඇත්තියෝය. මේ ඇතිතියෝ සියල්ලම අසූව දශකය දෑසින් දකින්නට පෙර මිය පරලොව ගියෝය. අප විසින් ඔවුන් දැන හඳුනා ගන්නා විටත් මැහැලියන් වූ ඔවුන්ගේ උඩුකය නිරුවතේ එල්ලා වැටුණු ලොට තන ශෘංගාරකාරක නොවීය.
‘නීල පට කාරයන්ගේ’ පිරිමි නිරුවතත්, ‘කොල්ලෙ අම්මා’ වැනි උපාසිකාවන්ගේ ගෑනු නිරුවතත් දුටු අපේ වැඩිහිටියෝ ඒවා එතරම් ප‍්‍රශ්නයක් කර නොගනිමින් තමන් සතු චාරිත‍්‍ර වාරිත‍්‍ර රකිමින් දැහැමෙන් සෙමෙන් දිවි සැරිය ගෙවා දැමූහ.
         උඩුකය වැසීම එකළ ප‍්‍රභූ කාන්තාවන්ට පමණක් හිමි වරප‍්‍රසාදයක් විය. තමන්ගේ සිරුර පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය පමණක්  නොව එකළ පිරිමිනට පවා ‘බත් මුඛය පාදා ගැනීමටත්’ රජුගෙන් අවසරයක් ගත යුතුව තිබුණේය. ‘බත් මුඛය පාදා ගැනීම’ යනු රැුවුල කපා ගැනීම යි. රජු ද ඇතුලත්ව ප‍්‍රභූ පැලැන්තික පිරිමි  දිළිඳු ගැමි ගැහැණුන්ගේ, සස්වාමික, අස්වාමික, බවවත් නොසලකා තමන්ගේ කැමැත්තට අනුකූලව ඔවුන්ව පරිහරණය කළෝය. එය සමාජ සම්ප‍්‍රදායක් වීම නිසාදෝ ඒ ගොදුරු වන ගැහැණුන්ගෙන්වත්, ඒ ගැහැණුන්ගේ හිමිකාරිත්වය දැරූ පිරිමින්ගෙන්වත් එල්ල වූ සැලකිය යුතු විරෝධයන් ගැන ඉතිහාස පොත්වලවත්, ජනකතා සාහිත්‍යයේවත් දක්නට නැත.
        ගැහැණුන්ගේ බලවත් ශෘංගාරකාරක අංගය ඔවුන්ගේ පයෝධර සහිත උඩුකයයි. තොටගමුවේ රාහුල වැනි යතිවරයන් පවා ‘රණ තිසරු’ ‘හංස ධේනු‘ ආදී විශේෂණ පද යොදා වර්ණනා කළේ මේ උඩුකයේ දර්ශනයයි. මදක් විමර්ශණශීලීව ගැඹුරට සිතා බලන විට ගැහැණුන්ට උඩුකය වැසීමට තැනූ ඉතිහාසගත තහංචිය වනාහි සිංහල සමාජයේ ප‍්‍රභූ පිරිමින්ට අනුව සිදුවූවක් බව සිතා ගැනීම අපහසු නොවේ.
මහනුවර රජකළ දෙවන රාජසිංහ රජතුමා වෙස් වළාගෙන රට තුළ නිතර නිතර සංචාරයේ යෙදුණු නිර්භීත පුරුෂයෙකු යයි ඉතිහාසයේත්, ජනකතා සාහිත්‍යයේත් සඳහන් වේ. ඔහු පාලකයෙකු ලෙස තමන් පාලනය කරන රට පිළිබඳ යථාරූපී වටහා ගැනීමක් සඳහා ඒ ගමන් බිමන් උපයෝගී කර ගත්තා සේම, සස්වාමික හෝ අස්වාමික හෝ රූමත් ළඳුන් තම අන්තඃපුරයට එකතු කර ගැනීමටත් ඒ සංචාරයන්ම ඔහු විසින් යොදා ගත්තේය. මේ පිළිබඳ අපූරු විස්තරයක් ඞී.පි. වික‍්‍රමසිංහ මහතා පළ කළ ‘මග දිගට ජනකතා’ කෘතියේ දක්වා ඇත.
        සෙනරත් රජතුමා සිංහල රාජාවලියේ මහනුවර රාජධානිය කරගත් දෙවන රජතුමාය. ඊට පෙර රජකම් කළ 1 වන විමලධර්ම සූරිය රජතුමා සෙනරත් රජුගේ වැඩිමහල් සොහොයුරාය. ඔහු රජකම් කළේ කි‍්‍ර.ව. 1604 -1635 අතර තිස් අවුරුද්ද තුළය. සෙනරත් රජතුමා රජවීමට ප‍්‍රථම මහණදම් පිරූ පැවිද්දෙකු ද විය. පසුව විමලධර්මසූරිය රජුගේ අභාවයත් සමග ඇති වූ රාජ්‍යත්වය පිළිබඳ අර්බුද සමනය කිරීම සඳහා සිවුරු හැර පැමිණ රජකමට පත් වූ බව කියැවේ. ඔහු රාජ්‍යත්වය තහවුරු කර ගැනීම සඳහා විමලධර්ම සූරිය රජුගේ අභාවයෙන් වැන්දඹුවක වූ කුසුමාසන දේවී නොහොත් දෝන කතිරිනා බිසව විවාහ කර ගත්තා පමණක් නොව, ඇගේ කලින් විවාහයේ දියණිය ද අඹුකමට පාවා ගත්තේය. මේ සියොළඟ කිලිපොලා යන කි‍්‍රයාව පිළිබඳ කතාන්තරය නාට්‍යාකාරව කේ.බි. හේරත් ශූරීන් නිෂ්පාදනය කළ ‘දෝන කතිරිනා’ නාට්‍යයේ මනාව දැක්වේ.
           අපේ රටේ මාතෘත්වයට යම් අගයක් තිබුණා වුවත් ස්ති‍්‍රත්වය පිළිබඳව තිබුණේ ශිෂ්ට සමාජයකට නොවටිනා තරම් අඩු අගයකි. ස්ති‍්‍ර උඩුකය නොවැසුණේ ස්ත‍්‍රීන් ගේ උවමනාවට නොව පිරිමි ප‍්‍රභූන්ගේ අභිප‍්‍රායට අනුකූලවය.
             තම සිරුරේ හිමිකම තමන් වෙත ලබා ගැනීම, අපරදිග ලෝකයේ සිදුවූ දේශපාලන අරගලයේම කොටසක් විය. සැබවින්ම ඒ අරගලය ඈඳී තිබුණේ ලිබරල් නිදහස අරබයා වූ  අරගලය සමගය.
යටත් විජිතකරණයත්  සමග මුහුදු බඩ තීරුවේ විසූ ගැහැණුන්ට එක්තරා ආකාරයක විමුක්තියක්, යටත් විජිතකරණයට ලක් නොවූ ප‍්‍රදේශවල ස්ති‍්‍රන්ට සාපේක්ෂව ලැබුණි. උඩරට හෝ සබරගමු ස්ති‍්‍රයට පෙරාතුව මුහුදුබඩ වාසී ස්ති‍්‍රයට උඩුකය ආවරණය සඳහා අවස්ථාව  ලැබුණි.
          විවිධ වෛවාහික සම්මතයන් තිබුණත්, ස්ති‍්‍රයගේ අයිතීන් යම් තරමකට හෝ රැුකෙන විවාහ නීතියක් ලංකාවට ගෙනාවේ ඉංගී‍්‍රසීන් විසිනි. එතෙක් දේපල පිට යෑම  වළක්වා ගැනීමට එක ස්ති‍්‍රයක සහෝදරයන් කිහිප දෙනෙකුට ආවාහ කර දෙන  අමානුෂික සිරිතක් එක්දහස් නවසිය විසි තිස් ගණන් දක්වාම උඩරට පළාත්වල පැවතිණි. මෙය හැඳින්වුනේ එක ගෙයි කෑම නමිනි. ස්ති‍්‍රයකගේ පේ‍්‍රමාන්විත සිතුම් පැතුම් තුට්ටුවකට නොසැලකූ හා ආදරයේ චිරාගත සිද්ධාන්තයන් මායිම් නොකළ ඒ අතීතය ශ්‍රේෂ්ට වන්නේ කෙසේදැයි මට නම් ප‍්‍රශ්නයකි.
          ශ්‍රේෂ්ඨත්වය මනින්නේ කලා ශිල්ප ඇතුලූ අනෙකුත් ජයග‍්‍රහණයන් ඇසුරෙන් නම් සැබැවින්ම හඳුනාගත හැකි ශ්‍රේෂ්ටත්වයක් අපට තිබේ. විශේෂයෙන් අප සතු සිංහල භාෂාවේ ඇති පරිපූර්ණත්වය, වාපි ඉංජිනේරු ශිල්පය, චිත‍්‍ර කලාව, ගොඩනැගිලි තාක්ෂණය, පමණක් නොව පිරිවෙන් අධ්‍යාපනය ආදිය ඒ උරුමයේ කොටස්ය. එහෙත් ඒ සියල්ල අතරේ මිනිසා, විශේෂයෙන් ස්ති‍්‍රය පිරිහෙලා තිබුණු අශිෂ්ට තැන විසින්  ඒ ශ්‍රේෂ්ටත්වය කෙලසා දමයි.
           යටත් විජිතකරණය හරහා පැමිණි, බටහිර පුනරුදයේ ආශ්වාදය නොවන්නට තවමත් රජුගේ සිට ගම්පතියා දක්වා වූ ප‍්‍රභූන්ට බිලිවන්නා වූ ගැහැණුන්, ගැහැනු ළමුන්, උඩුකය නොවැසූ ස්ති‍්‍ර පුරුෂයන් අපට දැක බලා ගත හැකිව තිබිණ. ඒ තත්වයන්ගේ ගොදුරු බවට පත් ගැහැණුන් හා මිනිසුන්ගේ සෝක සංතාපයන් අපට මුණ ගැසෙනු ඇත. එවන් කාළකණ්ණි ශ්‍රේෂ්ටත්වයක් රටකට කුමකට ද?
           උඩුකය වැසීමේ වරම යටත් විජිතකරණය ඔස්සේ අප වෙත ලැබුණත්, හැට්ටයට ඇතුලෙන් අඳින, ‘එන්රිකේ ඉග්ලිසියස්’ ගායකයාට ගලවා විසිකරන ලද්දා වූ වර්ගයේ බ්‍රෙසියරයේ ඉතිහාසය අවුරුදු තිස් පහකට හතළිහකට වඩා නැත. ඊට පෙර නාගරික ප‍්‍රභූ කාන්තාවන් කෙසේ වෙතත්, ගැමි කාන්තාවන් හැට්ටය පමණක් ඇඳි අතර ඇතමුන් තනිපාට රෙද්දකින් අතින් මසා ගත් බ්‍රෙසියර් ඇන්දේ ගමනක් බිමනක් යන විටය. එකළ සමාජයේ ඒ පෙනුමක් නැති කපු රෙද්දෙන් මැසූ බ්‍රෙසියර්, රෙදි වැලේ වනා ඇති විට හොරකම් කරන්නට සැදී පැහැදුනු උන්මත්තක පිරිමි ද ගම් ගොඩැලිවලවත් ‘සමනල සංද්වනිය’ චිත‍්‍රපටයේ මෙන් නගරයේවත් සිටියේ නැත.
         වර්තමානයේ ලෝකය පුරා හමන නිදහස් රැුල්ලට අනුකූලව, ස්වකීය පුද්ගල නිදහස, පවත්නා දේශපාලන අරගලයේම කොටසක් වෙමින් පවතී. අද ලෝකයේ එන්න එන්නම අනාගමික සෙනග වැඩිවෙමින් පවතී.  එහෙයින් වර්තමාන ආත්මික ජීවිතය අර්ථයෙන් පුරවාලීමට මිනිසුන් උත්සුක වෙයි. ඒ අර්ථයට ස්ති‍්‍රන්ට හා පුරුෂයන්ට ස්වකීය ජීවිතය හා සිරුර පිළිබඳ පුද්ගලිකව තීන්දු ගැනීමේ අයිතිය ද ඇතුළත් ය. ඒ අයිතිය භුක්ති විඳීමට අවශ්‍ය  නෛතික ආරක්ෂාව ලබා දීම පාලකයාගේ වගකීමක් බවට පත් වන්නේ නිතැතිනි.
        මේ අයාලේ ගිය සටහන් රාශිය සමාප්ත කිරීමේ අරමුණින් මේ ශ්‍රේෂ්ට සංස්කෘතිය රජයන රටේ, මීට වසර තිස් පහකට පමණ පෙර, රත්නපුර දිස්ති‍්‍රක්කයේ ගම්බද පළාතක පැවැත්වූ සංගීත සංදර්ශනයකින් පසුව, පසුදින උදෑසන දැකිය හැකි යථාරූපී දර්ශනයක් ප‍්‍රවීණ ලේඛක මහින්ද ප‍්‍රසාද් මස්ඉඹුල ගේ නවතම නවකතාව වූ ‘මාණික්කාවත’ කෘතියෙන් උපුටා  දක්වමි.
      ‘හතරවටින් එළිය වැටී තිබේ. සංදර්ශනය නිමා වී ඇත. පිට්ටනියේ තැන් තැන්වල හිස් කජු ගොටු, කඩදාසි, සිලි කවර පිරී ඇත. බීමත් පුද්ගලයෙක් නින්දෙන් අවදි වී වැනි වැනී පිට්ටනිය හරහා ගමන් ගනී. යාබද ගස් යට කාන්තා යට ඇඳුම් ය.’
(‘මාණක්කාවත’ පිටුව 162 - සන්ථව ප‍්‍රකාශකයෝ.)
 

4 comments:

  1. Kantha nidahasa sthapitha wannata, batahira abhashaya menma Bauddha sankruthiye ena kanthaawan ha Maathruthwaye agaya kirima ha paagaa nodemiimada balapaannata ethei mata sithe.

    ReplyDelete
  2. Very interesting article.....mind goes back to my childhood too....every word of your article is true.

    ReplyDelete