Friday, 21 November 2014

අපේ හාමුදුරුවන්ගේ සිවුරෙ තුත්තිරි




           මුර දේවතවා යනු සිකුරිටි ගාඞ් කෙනෙකුද නොවේ. මුර බල්ලා යන්නද ඒ වචනයට කොහෙත්ම ගැළපෙන්නේ නැත. බුදු සමයේ කිසිදු බණ දහම් පොතක මුර දේවතා යන වචනයක් ද දක්නට නැත.
එහෙත් ලංකාවේ ඇතැම් හාමුදුරුවරු තමන් හඳුන්වා ගන්නේ මුර දේවතා නමිනි. නම් ඉදිරියට විවිධාකාර නම් ‘අභිධාන’ තබා ගැනීමේ විශේෂ කැමැත්තක් හාමුදුරුවන්ට තිබේ. ‘විචිත‍්‍ර භාණක’ ‘ති‍්‍රපිටක වාගිශ්වරාචාර්ය’ ‘ධර්ම කවීශ්වර’ ආදි තමන්ම නිපදවා ගත් වචන මේවා අතර දක්නට තිබේ. මේවායින් සෑහීමකට පත් නොවූ හාමුදුරුවරු දේශපාලකයන් තමන්ගේ බත් බැලයන් පිනවීමට දෙන සාම විනිසුරු (මුලූ දිවයිනටම* ආදී බලූ නොවටිනා අභිදාන භික්ෂුනාම ඉදිරියේ සටහන් කර තබයි. තමන්ම දී තමන්ම පළඳවා ගන්නා මේ අභිදාන ගැන සෑහීමකට පත්නොවී තෝරාගත් ඇතැම් ගිහියන්ටද ඒවා පිරිනමයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ‘රෝහණ ජනරංජන’ ලැබෙන්නේද , සංස්කෘතික ඇමති ටී.බී.ඒකනායකට ‘කීර්ති ශී‍්‍ර ජනරංජන’ ලැබෙන්නේද එයාකාරයටය.
          සියල්ල අතහැර දමා පිණ්ඩපාතිකව වෙසෙන්නැයි බුදුන් වහන්සේ අනුදැන වදාළ භික්ෂූන්ගේ නාම තණ්හාව මෙසේ නම් අනෙක්වා ගැන කියනුම කවරේද?
          අද දවසේ ධර්ම ග‍්‍රන්ථවල කැටිවුණු බුදු දහමේ කිසිදු අර්බුදයක් නැත. එ්වා යාවත්කාලීන නොකොටම අනාගතය සඳහා ගෙන යා හැකි මා හැඟි ධර්ම දේපලය.  අද නැත්තේ ගිහි බෞද්ධයෙකුට බැතිබර හදින් පසඟ පිහිටුවා වැඳ නමස්කාර කළ හැකි භික්ෂූන්ය. විදග්ධ බෞද්ධයාට මෙන් නොව අහිංසක බෞද්ධයාට එවැනි භික්ෂූන් අවශ්‍යය. යට කී මා හැඟි ධර්ම ග‍්‍රන්ථවල ඇති ධර්මය සිවුර දරාගත් භික්ෂුවක වටාපතට මුවා වී කියන විට අහිංසක බෞද්ධයාට පහන් සංවේගය උපදී.
         අද රටේ කැපී පෙනෙන හාමුදුරුවරු බොහොමයක් කියන්නේ බණ නොවේ රටේ නැති කුණු හරුපය. වර්තමානයේ ඒ සඳහා හොඳම උදාහරණය ගලබොඩඅත්තේ ඥානසාර නම්වූ භික්ෂුවය.
කැළණියේ විහාරාධිපතිව වැඩ විසූ බණ්ඩාරනායක ඝාතක බුද්ධරක්ඛිතගෙන් පසුව බිහි වූ කැපී පෙනෙන ව්‍යාපාරිකයා කිරම විමලජෝති හාමුදුරුවන්ය. බුද්ධ රක්ඛිත හාමුදුරුවෝ විමලා විජේවර්ධන මහත්මිය ප‍්‍රසිද්ධියේ අඹුකමට තබා ගත්තේය. එමෙන්ම නාවික ක්ෂේත‍්‍රයේ ව්‍යාපාරද කළේ ප‍්‍රසිද්ධියේය. එහෙත් කිරම විමලජෝති හාමුදුරුවෝ බුද්ධරක්ඛිත හාමුදුරුවෝ මෙන් හත් පළේ ගාගෙන බිස්නස් නොකරයි. උන් වහන්සේ විකුණන්නේ නැව් බඩු නොව තෙවළා වදාළ පිරිසිදු සද්ධර්මයය. ඒ අතින් බුද්ධරක්ඛිතට වඩා කිරම විමලජෝති හාමුදුරුවෝ දහස් වතාවක් උපක‍්‍රමශීලීය. හැබැයි දෙදෙනාම ආදායම් ලැබුවේ ලබන්නේ ව්‍යවහාරික මුදල් වලිනි.
          සිවුරු දරාගත් පමණින් භික්ෂූන් වෙනවා නම් සනත් ගුණතිලකද, ඩබ්. ජයසිරිද, ජී.ආර්. පෙරේරා ද භික්ෂුහුය. මක්නිසාද යත් ඔවුන්ද  වරින් වර භික්ෂු චරිත රඟපෑමට සිවුරු දරාගත් හෙයිනි. අනෙක් දෙදෙනා කෙසේ වෙතත් ඩබ්. ජයසිරි නම් අද පවත්නා සමාජ ව්‍යසනය ගැන කම්පාවෙන බව මම පෞද්ගලිකව දනිමි. එහෙත් සැබෑවට සිවුර දරාගත් විමලජෝති, ගලබොඩ අත්තේ ඥානසාර බෙංගමුවේ නාලක ආදි භික්ෂූහු රට පත්වී ඇති මේ ව්‍යසනය ගැන ජයසිරි තරම්වත් කම්පා නොවෙති. එසේ කම්පාවක් ඇත්නම් ඉතිහාසයේ කවර කලකවත් ¥ෂණයට භීෂණයට පාර කැපූ මිනිසුන් මරා දැමූ, ජාතිය මංමුලා කරවූ රට විදේශ රටකට උකස් කළ මේ පාලකයන් ආරක්ෂා කරන්නේ නැත.
      ඔය කොයි භික්ෂුවත් සිවුර දරා ගන්නේ ජාතියේ සිකුරිටි ගාඞ් වැඬේ කිරීමට නොවේ. හතර කේන්දරය පාළු නිසා ගිහිගෙයට වඩා ් වටනේ චීවරයටයයි කේන්දරයෙන් කියන නිසා ඔවුන් සිවුරු දරා ගන්නා පළමු කාරණයයි. දෙවනුව සාසනයට දරුවකු දන්දී හතර වරිගයම නිවන් දැක්කවීමේ දෙමාපියන්ගේ ප‍්‍රාර්ථනාව කෙනෙකු මහණවීම තවත් කාරණයකි. ඒ සඳහා දරුවෝ බොහෝ ඇති පවුල් උනන්දු වෙති. පන්සල් සතු දේපළ පිට යනවාට අකමැති විහාරාධිපතිවරු තම ලේ නෑයන් මහණ කිරීමටද උනන්දු වෙති. (සියම් නිකායික භික්ෂූන්ගේ තත්ත්වය බොහෝ විට මෙයාකාරය.* තුන් වැන්නේ සසර දුක පිළිබඳ ඇති සැබෑ වැටහීම මහණවීමට හේතුවකි. බලංගොඩ ආනන්ද මෛති‍්‍රය මාහිමි ආදි පැවිදි උතුමෝ මහන වූයේ උන් වහන්සේලාට ගිහිකලම ඇතිවූ සසර දුක පිළිබඳ අවබෝධයෙනි
       එ් කවර කාරණයට මහණ දිවියට ඇතුළත් වුණත් ලෝක සාසන සිද්ධියටත්, එහිම විනාශයටත් පාර කැපූ භික්ෂුහු එදත් සිටියහ. අදත් සිටිති. යක්කඩුවේ ප‍්‍රඥාරාම, කිරිවත්තුඩුවේ ප‍්‍රඥාසාර, කොටගම වාචිස්සර, වල්පොල රාහුල, කොටහේනේ පඤ්ඤා කිත්ති, බලන්ගොඩ ආනන්ද මෛති‍්‍රය, රේරුකාණේ චන්දවිමල, කිරිඇල්ලේ ඥානවිමල, ආදි භික්ෂුහු ශාසනයටත් ශී‍්‍ර ලංකාවටත් මහත් වූ සේවාවක් කළ යතිවර පරපුරක කිහිප දෙනෙකි.
      එවන් උතුමන් ගනයට ගත නොහැකි ශාසන විලෝපකයෝ කැලණියේ බුද්ධරක්ඛිතට පෙරත් සිටියහ. පසුවත් සිටියහ. අදත් සිටිති. සඟ සසුනේ දේවදත්ත නිකාය ලෙස ඔවුන් හැඳින්වීම උචිතය. දැවමොට්ටාවේ අමරවංශ, මීටියාගොඩ ගුණරත්න සිට සුළු ජාතිකයන්ගේ ලේ ඉල්ලා කෑ ගසන වත්මන් භික්ෂූහු සියල්ල එ් නිකායේ උදවියහ.
     සිවුර දරා ගත් පමණින් භික්ෂුවක් වන්නේ නැත. බුදුන් වහන්සේ විසින් සිවුර දරාගත්තවුන් කරන නොපනත් කම් හෙලා දුටු හා දඬුවම් කළ අයුරු ති‍්‍රපිටකයේ පාරාජිකා පාළිය කියවීමෙන් වටහා ගත හැකිය. මත්පැන් බී වාහන එළවා දඩ කන, නීතිය  ඉෂ්ට කරන නිලධාරීන්ට කුණුහරුපෙන් බැන වදින, දර්ගා නගරය වැනි තැන්වල මිනීමරන්නට අනුබල දෙන භික්ෂූන් වැනි දණ්ඩකයෝ පාරාජිකා පාලියේදීවත් අපට හමුවන්නේ නැත.

2 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete