Monday, 10 November 2014

සූරිය කුසුම : සූරිය කුසුමේ සචිත‍්‍රා මාලින්ද සමග චූලාභය


 
 

                       පියදාස සිරිසේනයන්ගේ ‘ජයතිස්ස හා රොසලින්’ නවකතාවේ පිටපත් 25,000ක් 1906 දී අලෙවි වූ බවත් එම අලෙවි සංඛ්‍යාව අභිභවනය කිරීම අදටත් අපහසු වී ඇති බවත් ප‍්‍රකට කරුණකි. පියදාස සිරිසේනගේ ජීවිතයත්, ජයතිස්ස හා රොසලින් නවකතාවේ මෙහෙවරත් කැපවූයේ එකළ නැඟී ආ ජාතික ව්‍යාපාරයේ අභිවෘද්ධිය උදෙසාය. කොටින්ම පූර්ව නිදහස් යුගයේ සිංහල ජනතාවගේ ‘විමුක්ති අවකාශය’ විසින් කෙරෙන ඉල්ලීම්වලට දෙන ප‍්‍රතිපාදනයක් ලෙස එම නවකතාව හැඳින්විය හැකිය. එය ඉනික්බිති යුගයේ බිහිවූ මාර්ටින් වික‍්‍රමසිංහගේ නවකතා ධාරාවටත් ඊට පෙරාතුව බිහිවූ සයිමන් ද සිල්වාගේ ‘මීනා’ නවකතාවේ උසස් ආඛ්‍යානමය රටාවටවත් අයත් නොවුණකි.
                  මේ ගොඩ නැගුණු අදහස් මාලාවට ඍජු සබඳතාවක් නැතත් චූලාභය ශාන්ත කුමාර හේරත්ගේ ‘සූරිය කුසුම’ නවකථාව ද එවැනි විමුක්ති අවකාශයක පිපෙන එක්තරා පුෂ්පයක් ලෙස හැඳින් විය හැකි ය. ඒ විමුක්ති අවකාෂය වන්නේ ජාතිකත්වය නොව ¥ෂණය හා භීෂණමය වටපිටාවකින් මිදීමේ පොදු මහජන ප‍්‍රාර්ථනයයි.
                කැනඩාව වැනි බටහිර ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල සන්නිවේදන තාක්ෂණය ඉතා ඉහළ මට්ටමක තිබුණත්, නවකථාවට ඇති ස්ථානයේ තහවුරු වීමක් මිස අවම වීමක් තවමත් දක්නට නොලැබේ. ඇතැම් විට කඩදාසියේ මුද්‍රිත නවකථාව වෙනුවට අයි පෑඞ් වැනි මෙවලම් තුළට බහා නවකථා කියවීමක් දැකිය හැකි ය. කියවන්නේ කුමක්ද යන්නට වඩා, මේ කියවීමේ යෙදීම නම්වූ උතුම් කාර්යය, එකී සමාජයන්හි තහවුරුව පවතින, අනෙකාගේ පුද්ගලික භාවයට ගරු කිරීම, නිකරුනේ කාලය නාස්ති කිරීමෙන් වැලකී සිටීම, නිරන්තර දැනුම උත්පාදන මාර්ගයකට සිය ආත්මය විවෘත කොට තැබීම,  වැනි උසස් ගුණාංග තවදුරටත් තහවුරු කිරීමට හේතු වී ඇත. බස් රථයේ හෝ උමං දුම්රියේ ගමනක් යන විට විවිධ හැසිරීම් සහිත විවිධ ජාතිකයෝ මුණ ගැසෙති. නිකරුණේ සිටින මිනිස් සිත ඒවා දෙසට ඇදී යාම ස්වාභාවිකය. එසේ ගොස් අනෙකාගේ පෞද්ගලිකත්වයට බලපෑමක් නොවීම සඳහා ද මේ පොත් කියවීම වැදගත්ය.
                  බස් රථයේ දුම්රියේ කියවෙන මේ පොත් උසස් සම්භාවනීය පොත් නොවිය හැකිය. එමෙන්ම අවර ගණයේ ලිංගික පොත් ද නොවේ. මක් නිසාද යත් එවැනි පත පොත ප‍්‍රසිද්ධියේ නොකියවීමේ ස්වයං විනයක් එකී පාඨකයන්  විසින් ප‍්‍රගුණ කර ඇති හෙයිනි. බොහෝ විට ඒවා මධ්‍යම ගණයේ නවකථා ලෙස වැදගත් පොත පතය. ඒවා එදිනෙදා කාර්යබහුල ජීවිතයේ හිස් තැන් පුරවා නිස්කලංක  ආශ්වාදයක් ලබාදීමට සමත් කෘතීන්ය. සැබැවින්ම මේ රටවල අලෙවි වාර්තා තබන්නේ මේ මධ්‍යම ගනයේ නවකතාය.
                   ශී‍්‍ර ලංකාවේ මෙවැනි මධ්‍යම ගනයේ නවකතා බිහිවීමක් දක්නට නැති තරම්ය. ස්වර්ණ පුස්තක සම්මාන උළෙලට  අදාළව එකී මූලික කියවීම සඳහා පොත් එකසිය ගණනක් යොදාගත් බව එහි සංවිධායකයන් පවසා තිබුණි. එහෙත් දෙවන වටය සඳහා තෝරා ගත්තේ ඉන් පොත් දොළහකි. ඉතිරි සියයක් පමණ වන නවකතා අතර මධ්‍යම ගණයේ ‘මල්පොත්’ ගණයට නොවැටෙන පොත් කිහිපයක්වත් තිබුණා විය හැකිය. එහෙත් එ්වා ජනතාවට හඳුන්වාදීමේ සන්නිවේදන කාර්යයක් නොමැති හෙයින් එ්වා පාඨක අවධානයෙන් මැකී යා හැකිය. අනෙක් කරුණ වන්නේ මේ බොහොමයක් නවකථාවල ආඛ්‍යාන විලාසයේ ඇති දුර්වලකම්ය.
               මම චූලාභයගේ ‘සූරිය කුසුම’ ඇතුළත් කරන්නේ ධනාත්මක ලක්ෂණ බහුල මධ්‍යම ගණයේ නවකතා ගනයටය. පළපුරුදු සන්නිවේදකයකු හා සාහිත්‍ය කලාවේ අවශේෂ ක්ෂේත‍්‍රයක් වන කවිය, කෙටිකතාව, ගීත රචනය ආදියේ කලක් තිස්සේ නියැලෙමින් භාෂාව හා සාහිත්‍ය රීතීන් මැනවින් හඳුනන ලේඛකයෙකු ගේ සිය අත්දැකීම් කෙළවරකදී බිහිවූ නවකථාවකි ‘සූරිය කුසුම’. එය අර මා මුලින් සඳහන් කළ බටහිර ශික්ෂිත පාඨක බහුතරයකගේ සිත් දිනාගත් ආරේ නවකතාවකි.
               බාලිකා අනාථ නිවාසයකින් පැන යන සියලූ මානව සුදුසුකම්වලින් සමන්විත තරුණියක්  නිරුපද්‍රිතව සිය ගමනාන්තය කරා යන්නීය. සියලූම මානව ගුණ දහම්, වෘත්තීය සාරධර්මවලින් හා අනූන පෞරුෂයකින් පිරුණු ජනමාධ්‍යවේදියකුගේ නිරන්තර රැුකවරණය ඇයට හිමිවේ. මොවුන් මුහුණ දෙන ගැටලූවලදී පමණක්වත්, ඉතාම සාධාරණව හා ඉතාම නිර්භීතව හැසිරෙන පොලීසියේ ප‍්‍රධානියෙක් සිටී. සෙනෙහස හා කරුණාව පෙරදැරිකරගත් අවදානම නොතකා අනෙකාට පිහිටවන වැඩිමහල් සොහොයුරියක් වැනි මිතුරියකගේ රැුකවරණයද ලැබේ.  සිය තරුණ රූමත් සේවිකාව වෙත වරදකාරී ඉ`ගියක්වත් නොපාන නීතිඥයකු සිටී.  ඇයටම උදව් පදව් කරන ගුණ දහමින් සපිරි නීතිඥ ලිපිකරුවෙකි.  දීර්ඝ කාලීනව සිය උන්නතිකාමී ජීවිතයේදී කළ මිනීමැරුමක් අරබයා සැලූම් වෙව්ලූම් කන නගරාධිපතිවරයෙක් (දේශපාලකයෙක්) සිටී.
            මේ රසවත් කථාව ගොඩ නැංවීම උදෙසා අද ලංකාව (හාර ලක්ෂය මංකොල්ලය සිදුවූ අවධියේ ලංකාව නොව) මේ ආකාරයට ෆැන්ටසිකරණය කෙරේ. එහෙත් එ් ෆැන්ටසිකරණය ඔස්සේ  මවන චරිත හරහා අද ලංකාවේ අගතියට වැටී ඇති පරිසරය පිළිබඳව අවබෝධයක් ලබා දීමට කතුවරයා සාර්ථකත්වය දිසාවට ගමන් කරන උත්සාහයක යෙදේ. යටකී ලෙස මධ්‍යම ගණයේ පොත්වලින් පෝෂණය කළ හැකි ජනයා එවැනි වීරයෝ, සත්ගුණවත් මිනිස්සු ලබන ජයග‍්‍රහණ බලාපොරොත්තු වෙති. එසේ නැත්නම් ඔවුන් පොත් කියවන්නේ නැත.
         එමෙන්ම සිංහල නවකතාකරුවා මේ වන විට, ඉතා හොඳින් අත්පත් කර ගෙන ඇති අවස්ථා විවරණය චූලාභය විසින්ද කෘතියට උචිත ලෙස මැනවින් සාක්ෂාත් කරගෙන ඇත. ආතතීන්, හැඟීම්, පරිසරය, මානව සබඳතා වර්ණයේදී ඔහු සතු කාව්‍යාත්මක භාෂාව අපූරු හැඩරුවක් සූරිය කුසුමට එකතු කොට තිබේ.
උසස් නවකථාවක තිබිය යුතු යථාර්ථ නිරූපණය පිළිබඳ ගැටලූ ඇතත්, නවකතාවේ පාත‍්‍ර වර්ගයා කතුවරයාගේ මෙහෙයවීම් වුවත්, ඔවුන්  උපයෝගී කරගෙන අද පවත්නා සමාජ වටාපිටාවේ  භයංකාර චිත‍්‍රය ලිහිල් ලෙස හෝ මතුකර ගැනීමට චූලාභය සමත්ව තිබේ. එම සමත්කම විශේෂිතව ගත යුත්තේ සරල ලෙස එ්වා විඳින අනුගාමි පාඨකයකු බිහි කිරීමට සමත්වීම නිසාය. එමගින් මෙම සමාජයේ භයංකාරත්වය පිළිබඳ වැටහීමක් පාඨකයාට ලැබෙන නිසාය.
       හැටේ දශකයේදී කරුණාසේන ජයලත් වැනි ලේඛකයෝ එදා සමාජයට ගැළපෙන ලෙස, මධ්‍යම ගණයේ නවකතාව ඔස්සේ සාහිත්‍යයත්, මානව ජිවිතයත් පෝෂණය කළෝ්ය. ඉනික්බිති එවැනි බරපතල සමාජ මැදිහත්වීමක් කිරීමට සමත් මධ්‍යම ගණයේ සාහිත්‍ය කලාවකට කිසිවකුගේ  අනුග‍්‍රහය නොලැබුණි. චූලාභයගේ නවකථාව  බිහිවන්නේ එ් යුගයට දශක තුන හතරකට පසුවය. උසස් නවකථාව පිළිබඳව නවතම සාහිත්‍ය හා සමාජ කතිකාවක් ගොඩ නැගෙමින්  පවතින අවධියකය. රාජ්‍ය ව්‍යාපෘතීන් පසාරු කරගෙන ගොස් පෞද්ගලික ව්‍යවසායකයන් නිර්මාණශීලීව ගොඩ නැඟූ පරිසරයකය. පොත් ප‍්‍රකාශනයත්, පොත් ලිවීමත් ආශ්වාදජනක කටයුත්තක්ව ඇති අවධියකය. එ් ඔස්සේ ඇතිවූ තරඟකාරිත්වය හමුවේ  ඕනෑම ලේඛකයෙකු වෙනුවට, කි‍්‍රයාශීලී හා ගවේෂණශීලී නව වස්තු විෂයයන් සීරුවට සොයා යන ලේඛකයකු බිහිවීමේ පරිසරයකය.
         සූරිය කුසුම සූක්ෂම විචාරයකට හසු කළහොත් එහිදී හඳුනාගත හැකි දුර්වලතා තිබේ. එමෙන්ම සම්භාව්‍ය නවකතාව විසින් වැඩි වර්ධනය කළ අංගෝපාංග පොදු පාඨකයාට උචිත වන ආකාරයට හැඩ ගසාගත් ප‍්‍රශංසනීය උත්සාහයක් ද තිබේ. සූරිය කුසුම එක්තරා ආකාරයකට  ඩබ්ලිව් එ් සිල්වා විසින් වර්ධනය කිරීමට උත්සාහ දැරූ එහෙත් නොහැකිවූ පොදු ජනයා ආකර්ෂණයට ලක්වූ කථා රටාවේත් ,මෑත කාලීන සම්භාව්‍ය ගනයේ ලේඛකයන්ගේ කථා රටාවෙහි ඇතැම් ලක්ෂණයන්ගේත්, කරුණාසේන ජයලත් විසින් ප‍්‍රවර්ධනය කළ චමත්කාරය හා සාරධර්මික මානව සබඳතා සහිත නවකතාවන්හිත්  මිශ‍්‍රණයක් දැකිය හැකිය.
චූලාභය සූරිය කුසුමේ අපූරුවට ගොඩනංවන කථාන්තරය පාඨකයා විඳින බව එහි අලෙවි වාර්තා සටහන් කරයි. එහෙත් වෙනම පරිච්ෙඡ්දයක් ලෙස ගොනු කොට ඇති සන්ෆලවර් ගැන මට  ඇත්තේ දෙගිඩියාවකි. එය නිර්මාණාත්මක බවක් ප‍්‍රකට කරන්නේද? එසේ නැතිනම් අපූරුවට ගොඩ නගාගෙන පැමිණි වියමන බිඳ දමන්නේද?
චන්ද්‍රරත්න බණ්ඩාර.

No comments:

Post a Comment