Monday, 14 April 2014

සාපරාධී යුද සංග‍්‍රාම : නිර්ව්‍යාජ කලාකරුවෙකුගේ අවිඥානක මැදිහත්වීම

සාපරාධී යුද සංග‍්‍රාම :
නිර්ව්‍යාජ කලාකරුවෙකුගේ අවිඥානක මැදිහත්වීම
         යුද සංග‍්‍රාම නම්වූ මාතෘකාවට ‘සාපරාධී’ නැමති විශේෂණය එක් කිරීම මගින් කතුවරයාගේ යුද්ධය පිළිබඳ ඇති නොකමැත්ත දෘෂ්‍යමාන වේ. ගුණසිරි බණ්ඩා වීරසූරිය සිය දශක දෙක තුනක් ඈතට දිවයන සිය ලේඛක ජීවිතයේ අප‍්‍රතිහත ධෛර්යයේ මහඟු ඵල ‘සාපරාධී යුද සංග‍්‍රාමය’ නමැති කෘතියෙන් නෙලාගෙන ඇත.
          ඔහුගේ මෙම දැවැන්ත කෘතිය ගැන කතා කිරීමට පෙරාතුව කොළඹ කේන්ද්‍රීය සාහිත්‍ය සමාජයේ ඇස නොගැසෙන එහෙත් සාහිත්‍යයේ විශේෂිත සානරයක් තෝරාගෙන එහි පූර්ණ කාලීනව නියැළී සිටින ගුණසිරි ගැන කතා කිරීමට මිඩංගු කළ යුතුමය. ගුණසිරි ජීවත්වන්නේ මහනුවරින් එපිට ප‍්‍රත්‍යන්ත පෙදෙසකය. එමෙන්ම  කොළඹ නාගරික සංවාදයේ දුරස්ත සහභාගිකයෙකුවත් නොවෙමින් මහනුවර ආශි‍්‍රතව වන ප‍්‍රාදේශීය සංවාද සමාජයක කොටස් කරුවෙකුව සිටී. මහනුවර සවිඥානක සමාජයට, තම බුද්ධි ජීවින්ගේ යහපත සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලය හා සම්බන්ධ වෙමින් තම බුද්ධිමය ජීවිතයේ පෝෂණය සඳහා බාහිරව සිට යොදා ගත හැකි බව මට හැ`ගී ගියේ මේ ගුණසිරි නිසාය. එහෙත් ඇත්ත කාරණය නම් බාහිර සමාජය තබා  පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පිටවුවෝ පවා තමාගේ අඛණ්ඩ දැනුම පෝෂණයේ කොටස්කරුවකු ලෙස පේරාදෙනිය තබා ගැනීමක් නැත. එහෙත් ගුණසිරිගේ කතාව ඊට හාත්පසින්ම වෙනස්ය. ඔහු නුපුහුණු ගුරුවරයෙකි. ඔහු විශ්වවිද්‍යාල උපාධියක් ලැබූවෙකුද නොවේ. එහෙත් ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලය , එහි වැදගත් ගුරු භවතුන්, එහි අගනා පුස්තකාලය, තම දැනුම වර්ධනයේ කෝෂ්ටාගාරය කර ගත්තේය. ගුණසිරි ඊට අමතරව මහනුවර මහජන පුස්තකාලය, බි‍්‍රතාන්‍ය කවුන්සිලය එකී කාර්යයේම සහායකයන් කර ගත්තේය. උත්සාහයෙන් දෙවෙනි භාෂාව උගත් ගුණසිරි එකී භාෂා දැනුමේ උසස්ම අදියරට පත්වීමට ඔහුට හැකි විය. ඉතා ප‍්‍රතිභාපූර්ණ පෞරුෂයෙන් යුත් විශේෂ හඬකට හිමිකම් කියන ගුණසිරි තමන්ගේ පද රචනා සහිත ගීත ගණනාවක හිමිකරුවා වී සංයුක්ත තැටියක්ද නිෂ්පාදනය කළේය. වැඩි දුරක් නොගියත් ව්‍යුත්පත්තිය සහිත චිත‍්‍ර ශිල්පියෙකු ලෙස හැත්තෑව දශකයේ අගභාගයේ තමාගේම චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් ද පැවැත්වීය. ඔහුගේ අතීතය හඳුනාගන්නා අපට පැහැදිලි වන්නේ ඔහුගේ සංගීත හා චිත‍්‍ර ශිල්පි ජීවිතය ඉදිරියට නොගියේ කොළඹ කේන්ද්‍රයට ඇතුළත් නොවී එවැනි අපූරු හැකියාවන් ප‍්‍රත්‍යන්ත ප‍්‍රදේශවල සිට යථාර්තයක් කර ගත නොහැකි නිසා බවය.
             ගුණසිරි ලේඛකයෙකු ලෙස ස්පර්ෂ කරන්නේ සමාජයීය විෂයන්ගේ අමුතු කලාපයකි. ‘සාපරාධී යුද සංග‍්‍රාම’ පවා ගිනිය හැක්කේ එකී කලාපයටය. ‘විශ්ව මනස හා දේවත්වය’ , ‘යුද්ධය’ , ‘හෙළ සභ්‍යත්වය’, ‘නිර්මාණ වාදය හා ජීවයේ සම්භවය’, ‘මිනිසා දෙවියා හා මනස’, ‘සිංහල සමාජය හා සංස්කෘතිය’, ‘බුදු සමය එළි කරන මනෝ විද්‍යාත්මක ලකුණ’ ඔහුට අයත් සාහිත්‍ය කලාපයේ නිෂ්පාදනයෝය.
ගුණසිරි ගේ ‘සාපරාධී යුද සංග‍්‍රාම’ කෘතිය ශිෂ්ටාචාර ගමනේ යුද්ධයේ කතාන්තරය පිළිබඳ පාර්ශ්වික අර්ථ ගැන්වීමකි. ‘පාර්ශ්වික’ යන විශේෂණය මා යොදන්නේ යුද්ධයේ ගර්හිත බව හා එය මානව ඛේදවාචකයක් බව විශ්වාස කරමින් එකී කෘතිය රචනා කර ඇති නිසාය. යුද්ධය වීරත්වයට සමගාමීව යෙදීමේ වරද ලංකාවේ ජාතිකවාදීන් අතින් පමණක් සිදු වූවක් නොවේ. ලෝක ආගමික උරුමය පිළිබඳ අවිවේචනාත්මකව ඇලී ගැලෙන උදවියද යුද්ධය වීරත්වයට නගයි. ගී‍්‍රක - රෝම යුගය ගැන කියන්නෝ පවා එකල්හි සිදුවූ යුද්ධ විසින් මානවීයත්වය කෙලසීමකට ලක් කළ බව නොකියති. එ් ආකාරයෙන් ඔජ ගැන්වුණු යුද්ධය පිළිබඳ මානසිකත්වය සියවස් ගණනක් ඇවෑමෙන් මානව සිතීම් පද්ධතියට ඇතුළත් වූවා විය හැකිය.
කුරුස යුද්ධ මාලාවටත් පෙර සිට දෙවන ලෝක යුද්ධය දක්වා වන ශිෂ්ටාචාරයේ බොහෝ ඈත සිට ඇරඹුන යුද්ධ කි‍්‍රයාවලිය එයට අදාළ පූර්ණ තොරතුරුද සමග ‘සාපරාධී’ යුද සංග‍්‍රාම කෘතියෙන් හෙළිදරව් කර ඇත. එකී යුද්ධයන්ට පෙළඹුම් සාධක හෙළිදරව් කරමින්ම එ්වා මානව ඛේදවාචකයක් වූ ආකාරය ගුණසිරි හෙළිදරව් කරන්නේ තමන්ගේ ආස්ථානයට අදාළව  සත්‍ය තොරතුරුද ගෙන හැර දක්වමිනි.
සාපරාධී යුද සංග‍්‍රාම, ඈත අතීතයේ කුරුස යුද්ධවල සිට දෙවන ලෝක යුද්ධය දක්වා වූ විශේෂිත යුද්ධයන්හි උපක‍්‍රමික කි‍්‍රයාවලිීන්, නායකත්වය දුන් පුද්ගලයන්ගේ ස්වකීය පෞරුෂයන් මැනවින් වටහා ගත හැකි ලෙස ගුණසිරි සිය කෘතියේ විස්තර කරයි. ගුණසිරි යුද්ධය ගැන මෙසේ ලියයි.
‘හේතු කුමක් වුවද මිනිස් වර්ගයා තමාගේ කාලයෙන් බොහෝ කොටසක් වැය කළේ යුද්ධය සඳහාම යයි නොකියා බැරිය. ඔවුන්ගේ දහඩිය මහන්සියෙන් හම්බ කළ ධන සම්භාරයෙන් වස්තු සම්භාරයෙන් වැඩි කොටසක් මිනිස් වර්ගයා වැය කළේද යුද්ධය සඳහාම බව පෙනී යයි. මිහිමත මෙතෙක් කළ යුද්ධ සඳහා වැය කළ ධන සම්භාරය සලකා බැලූව හොත් වෙනත් නව ග‍්‍රහලෝකයක් ශිෂ්ටාචාරවත්වයට පත් කිරීමට තරම් සෑහේ යයි සිතමු.’
           යුද්ධය, ශිෂ්ටාචාරයට නව පාඩම් කියා දුන් බව සැබෑවකි. මොංගෝලියන්වරු උත්තරභාරතය ආක‍්‍රමණය කිරීම මහා භාරත කතාවට නිමිති වීය. ගී‍්‍රකවරුන් ට්‍රෝයි පුරය ආක‍්‍රමණය කිරීම ‘ඉලියඞ්’ මහා කවට පාදක විය. ගී‍්‍රක නාට්‍යකරුවන් වන ඊස්කිලස්, සොපොක්ලීස්, යුරිපීඩිස් වැනි කලාකරුවෝ යුද පුවත්ම සිය නිර්මාණ සඳහා යොදාගෙන ඇත.
           ගුණසිරි මේ තතු උදාහරණ සහිතව ක‍්‍රමිකව විස්තර කරයි. යුද්ධයේ පාඩම් ශිෂ්ටාචාරයක් ගොඩනැංවීමට උපස්තම්භක විය හැකි මුත් එය කෙතරම් එදිනෙදා මානව ජීවිතයට හතුරුවීද යන්නද පෙන්නුම් කෙරේ.
‘කුරුස යුද්ධ මාලාව’, ‘ජෙන්ගිස්ඛාන්ගේ යුද්ධ’, ‘ටීමුර් නැමති ආක‍්‍රමණිකයා’ ‘නැපෝලියන්’ ’පළමු ලෝක යුද්ධය’ ‘බිස්මාක් ගොනුකළ උරුමය’ ‘දෙවන ලෝක යුද්ධය හා හිට්ලර්’ ආදී වශයෙන් මාතෘකා දහයක් ඔස්සේ ඔහුගේ නිබන්ධනය ලියා ඇත්තේ එ් සඳහා වූ තමන්ගේ වෙහෙස මහන්සියද සනාථ වන පරිද්දෙනි.
ගුණසිරි සිය කෘතිය සමාප්තියේ ඔයැ ඍැඩදකඑ සබ එයැ ඔැපචකැ කෘතියෙන් උපුටා ගෙන මෙසේ කියයි. ‘යුද්ධය හා දිග් විජය ශිෂ්ටාචාරයේ පරම හතුරන් වන්නේය. කෑදරකමේ හා කලහකාරිත්වයේ මාරක ප‍්‍රථිපලයන්ගෙන් ගැලවීමක් නැත.
     
         සාපරාධී යුද සංග‍්‍රාම යුද්ධ ඉතිහාසය පිළිබඳ ඉහළ ගනයේ තොරතුරු එකතුවකි. එ් බව සනාථ කෙරෙන පාදක කෘතිවල ලැයිස්තුව පිරික්සීමෙන්ද අපට ඒ බව වටහා ගත හැකිය. කලාකරුවකු ලෙස කතුවරයාට හිමි ලතෙත් බව නිසාදෝ එ් තොරතුරු සියල්ල යුද්ධයේ ඔජ වඩන ප‍්‍රපංචයන් ලෙස නොව මානව ඛේදවාචකයක්ය, යන අදහස ජනිත වන සේ ගුණසිරි සිය කෘතිය තුළ සංග‍්‍රහ කර ඇත. එහෙත් ගුණසිරිගේ අදේශපාලනික බව මෙම කෘතිය පරිසමාප්තියකට  රැුගෙන නොයයි. ලෝක ඉතිහාසයේ තීරණාත්මක යුද්ධ අරබයා ඔහු පෙනී සිිටින්නේ එ්වා එසේ නොවූවා නම් හොඳයයි සිතන මානව හිතවාදී දෘෂ්ටියක පමණක් පිහිටාය. එහෙත් ලංකා ඉතිහාසයේ මෑතකදී අවසන් වුණු එල්ටීටීඊයට එරෙහි  යුද්ධයේදී ඔහු එක එල්ලේ ජයග‍්‍රාහකයන්ගේ හා එහි න්‍යායික පඬිවරුන්ගේ පැත්ත ගනී.
සාමය පිළිබඳ ගුණසිරිට ඇති අවිඥානක හැඟීම් විසින් මෙම කෘතිය සාපරාධී යුද්ධ හෙළා දැකීමේ දෘෂ්ටිවාදී මාවතක ගමන් කරවයි. එහෙයින්ම මෙම කෘතිය අනගි නිෂ්පාදනයක් බවට පත්වේ. එහෙත් සවිඥානක ගුණසිරි මෙම මානවවාදී කෘතිය වත්මන් යුදවාදීන්ගේ කීර්ති කදම්බයන් හා යා කරන්නට උත්සාහ කරයි. එ් මෙසේය. පොත පිළිගන්වා ඇත්තේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාටය. එසේ පිළිගන්වමින් ගුණසිරි මෙසේ කියයි. ‘ප‍්‍රභාකරන්ට විනාෂය ගෙනදුන් දේශපේ‍්‍රමී යුද්ධයේ ප‍්‍රධාන නියමුවා වූ ගරු ආරක්ෂක ලේකම්තුමාට සහ රට වෙනුවෙන් දිවි දුන් ආදරණීය රණවිරුවන් ඇතුළු සියලූම රණවිරුවන්ට’ යුද්ධයට කැපී පෙනෙන පක්ෂපාතිත්වයක් දැක්වූ චින්තකයෙකු වූ මහාචාර්ය නලින් ද සිල්වාගේ උපුටනයක්ද මේ කෘතියේ යම් කරුණක් සනාථ කිරීමට බහා ඇත.
    කෙසේ වෙතත් එකී කරුණු වනාහි කෘතියේ සාරවත් බව නොකෙලසූ අමතර එල්ලූ නොගැලපෙන දේවල් ලෙස ගතමනාය.
         භයංකර ජනඝාතන යුද්ධයක් කෙළවර නව සිතුම් පැතුම් සමුදායක් එ් ඔස්සේ ගොඩ නැගෙමින් ලාංකීය ශිෂ්ටාචාරයේ නව වෙනස්කම් වෙමින් පවතින මෙවැනි අවධියක ”සාපරාධී යුද සංග‍්‍රාම” කෘතිය වනාහී නොසලකා හැරිය නොහැකි , යුදවාදීන්ට මෙන්ම සාමවාදීන්ටද වැදගත් කෘතියකි.
                 චන්ද්‍රරත්න බණ්ඩාර


1 comment: