Saturday, 18 January 2014

මහාචාර්ය ඒ.වී. සුරවීර- පි‍්‍රය මනාප බුද්ධි ජීවියෙක්


           ජීවිතයේ ප‍්‍රමුඛතම තෝරා ගැනීම සේ ලේඛන කලාව තෝරා ගත් අප දැන් පනස් වස් වියැති වැඩිහිටි මිනිසුන්ය. අපට පූර්ව වූ ලේඛන පරම්පරාවට අයත් වූ මහාචාර්ය ඒ.වී. සුරවීරයන් අසූ හතර අවුරුද්දක් ආයු වළඳා නොබෝදා දිවංගත විය. අපේ පරම්පරාවට වඩා ප‍්‍රඥා සම්පන්න පරම්පරාවක් එතුමන් නියෝජනය කළේය. භාෂාවන් පිළිබඳ ලද බහුශ‍්‍රැත බව. කලා න්‍යායයන් හා විශ්ව සාහිත්‍ය පිළිබඳ වූ පෘථුල දැනුම, පැරණි සාහිත්‍ය පිළිබඳ පෘථුල දැනුම සුරවීරයන් අයත් පරම්පරාව ආඪ්‍යත්වයට පත් කළේ ය. එපමණක් නොව ඔවුන් ඇසුරු කළ මිනිස් සමාජයද කිසියම් පරිපූර්ණත්වයක් හා අවංක භාවයක් තිබුණු ප‍්‍රඥා සම්පන්නයන් ගෙන් සමන්විත විය.
        එහෙත් එ් කිසිදු සම්පතක් නිරායාස ලෙස ලබා ගැනීමට අපේ පරම්පරාව අසමත් වූහ. අපේ පරම්පරාවෙන් බහුතරයක් පැරණි සාහිත්‍යය ප‍්‍රඥා උල්පතක් ලෙස දැකීමට අසමත් වූහ. සිංහල භාෂාවේ ගැඹුර හා එහි මූලාශ‍්‍රයන් නොදැනීම නිසා පැරණි සාහිත්‍ය වෙත වන මනරම් දොරටුව විවර කර ගැනීමට අපේ පරම්පරාව අසමත් වූහ. එහෙත් එ් යථාර්ථය පිළිගැනීමට අසමත් වූ අප පැරණි සාහිත්‍යයෙන් ඇති ඵලය කිමැයි පෙරළා අසයි. බටහිර භාෂා ශාස්ත‍්‍රයන් නිවැරදිව ප‍්‍රගුණ කළ සුරවීර පරම්පරාව විශ්ව සාහිත්‍ය තම ප‍්‍රඥා ප‍්‍රාසාදය තුළට ඇතුළු කර ගන්නේ එ් දැනුම ආශ‍්‍රයෙනි. ඇරිස්ටෝටල් කාව්‍ය ශාස්ත‍්‍රය වැන්නක් එ් දැනුමේ උත්තුංග ප‍්‍රථිපලයකි.
        මහාචාර්ය සුරවීයන් හැට වසරකට අධික සිය ලේඛක ජීවිතය තුළ කෙටිකතා, නවකතා, විචාර කෘති, ආදි සුවිශාල ප‍්‍රමාණයක් ග‍්‍රන්ථ සම්පාදනය කොට ඇත. එමෙන්ම වසර 50කට අධික වූ විශ්ව විද්‍යාල ගුරු ජීවිතය තුළ නිවරැුදිව සිය ශාස්ත‍්‍රය සිය සිසුනට දානය කළේය.  එ් ශාස්ත‍්‍රීය සම්ප‍්‍රදානයන් ගේ පරිමාව අද අපේ පරම්පරාවට හිතා ගන්නටවත් බැරි තරම්ය.
       මහාචාර්ය සුරවීර යනු විවිධාකාර නොමඟ යෑම්වලට ගොදුරු වූ සම්භාවනීය මිනිසෙකි. මගේ විශ්වාසයේ හැටියට ඔහු සාහිත්‍ය කලාවන් පිළිබඳ තමන්ගේ පෘථුල වූ දැනුම  සම්භාරය ජනතා ලේඛක පෙරමුණ නම් වූ කුරුබිලිය තුළට දමා ගැනීමට මිතුරන්ට ඉඩ දුන්නේය. එමගින්  ඔහුගේ සාහිත්‍ය දැනුමට වූ හානිය සුළු පටු නොවේ. දෙවැන්න ඔහුගේ අවසන් භාගයේ වූ දේශපාලන තෝරා ගැනීම්ය.
       කෙසේ වෙතත් සුරවීර වෘත්තාන්තය පූර්ණ ලෙස කියවීමට සමත් කිසිවෙකු වෙතොත් එමගින් දකින සුරවීර ප‍්‍රාඥයා ලාංකීය සමාජය බිහිකළ අති දැවැන්ත ශාස්ත‍්‍රවන්තයෙකි. ඔහුගේ නිර්මාණ ජීවිතය තුළ ගම් පිළිබඳ වන යථාර්ථ ප‍්‍රකාශනය ශී‍්‍ර ලාංකික නිර්මාණ ඉතිහාසය තුළ නොතකා හළ නොහැකිය.  එමෙන්ම එතුමන්ගේ බුද්ධිමය ශ‍්‍රමය හමුවන්නේ සිය ශාස්තී‍්‍රය කෘති තුළිනි. ඇතැම් කෘති ඔහුටම පමණක් ලිවිය හැකි අගනා පර්යේෂණ කෘතීන්ය.
         සුරවීරයන් යනු අපූරු මිත‍්‍රයෙකු වන වග මම අත්දැකීමෙන්ම දනිමි. ඔහුගේ යාව ජීව මිතුරන් වූ ගුණසේන විතාන, කේ. ජයතිලක, බොබී බොතේජු, හෙන්රි සමරනායක වැන්නන් සමග මහවැලි ජනපදවල පුස්තකාල ප‍්‍රවර්ධන වැඩසටහන් සඳහා දෙවතාවක්ම සහභාගි විය. ඒ ගමන් බිමන්වල සත්කාරකයා වූයේ එකළ මමද මහවැලියේ සේවකයකුව සිටි නිසාය. ශ්‍රේෂ්ඨ ප‍්‍රාඥයකු පමණක් නොව එකල සංස්කෘතික නියෝජ්‍ය ඇමතිවරයාද වූ සුරවීරයන් තුළ බලය නිසා වූ වෙස් පෙරළියක් අල්ප ලෙස හෝ මම නම් නොදුටුවෙමි. කුඩා මීවිතක් සමග පැරණි සාහිත්‍ය නූතන කලාවන් ගැන ශික්ෂිතව සංවාදයේ යෙදෙන අයුරු සංවාද කලාව ඉගෙන ගන්නට හා බලා සිටින්නට තරම් වටිනා දෙයකැයි මට සිතුනි.
        දේශපාලනඥයකු ලෙස ඔහුට ලැබුණේ බල කේන්ද්‍රයේ කැපී නොපෙනෙන තැනක් නිසා සිය දේශපාලන චර්යාවෙන් සිය උත්තුංග සාහිත්‍ය කලා ජීවිතය වැඩි කෙලසීමකට ලක් නොවිණි. එහෙයින්ම අප හැර ගොස් සිටින මේ ශාස්ත‍්‍රවන්තයා නැති අඩුව පිරවීමට සමතෙකු අප අතර නැති ශෝකය වඩාත් දැනේ.
                                                                                                         චන්ද්‍රරත්න බණ්ඩාර

No comments:

Post a Comment