Saturday, 18 January 2014

මහාචාර්ය සුරවීරයන් පිළිබඳ සොඳුරු මතකයක්...


               එ් 1998 කාලයයි. මහාචාර්ය සුරවීරයන්ගේ එකළ සන්ධාන රජයේ සංස්කෘතික නියෝජ්‍ය ඇමතිවරයා විය. සිය විද්වත් හා කලාකරුකමට උඩින් තම දේශපාලන වහන්තරාවක් සහිතව පෙනී සිටීමට ඔහු අකමැති වී යයි මම සිතමි. 1956 ආණ්ඩුවෙන් සංස්කෘතික අමාත්‍යාංශයක් පිහිට වූ දා සිට අද දක්වාම වැඩියෙන්ම ශාස්ත‍්‍රඥයන් එකී අමාත්‍යාංශ පරිශ‍්‍රයේ ගැවසුනේ සුරවීරයන් සංස්කෘතික නියෝජ්‍ය ඇමතිකම දැරූ අවධියේ විය යුතු යයි හඟිමි.
         මා එකළ මහවැලි අධිකාරියේ සැලකිය යුතු තනතුරක් දැරූවෙකු වීමි. මා සමග වර්තමාන ටෙලි නාට්‍ය හා සිනමා  අධ්‍යක්ෂවරයකු වන අනුර ජයසේකර ද එකල මහවැලියේ මා සමග එකට සේවය කළේය. මේ කතාවට ඔහුද සම්බන්ධය.
               පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩලයේ සහාය ඇතිව මහවැලි සී කලාපයේ පාසල්වල පුස්තකාල පිහිටුවීම හා පුස්තකාල නගා සිටුවීමේ වැඩ පිළිවෙලක් එකළ අපි සංවිධානය කළෙමු. පුස්තකාල පරිහරණය හා පුස්තකාල පවත්වා ගැනීම පිළිබඳ කලාපයේ ගුරුවරුනට අප සේවාස්ථ වැඩ මුළු සමග අවශ්‍ය උපකරණ ලබා දුනිමු. මේ සමස්ත වැඩ පිළිවෙලේ ප‍්‍රධාන ආරාධිතයා වූයේ මහාචාර්ය එ් වී සුරවීරයන්ය. එවකට පුස්තකාල සේවා මණ්ඩලයේ සභාපති වූ හෙන්රි සමරනායක, ප‍්‍රවීණ ලේඛක කේ. ජයතිලක එවක ග‍්‍රන්ථ සංවර්ධන මණ්ඩලයේ සභාපති වූ ගුණසේන විතාන මේ ගමනට සහභාගි වූයේ රාජකාරියකට මෙන්ම මිතුරු සවාරියකටද එක් වෙමිනි.
              පෙරදා සැන්දෑවේ සියල්ලගේ නවාතැන වූ දෙහිඅත්තකණ්ඩියේ මහවැලි සංචාරක නිවාසය වෙත ජීප් රථයකින් හෙන්රි සමරනායක, කේ. ජයතිලක, ගුණසේන විතාන පැමිණි අතර ආරක්ෂක නිල රථ දෙකක් පෙරටුකොට මහාචාර්ය සුරවීර පැමිණියේය. එදා හැන්දෑවේ සියල්ලෝම දඹානට ගියේ එකල ජීවතුන් අතර සිටි තිසා හාමි බැහැදැකීමටය. තිසාහාමි බැහැ දැකීමෙන් අනතුරුව ආපසු ගමන යාමේ දී ඒ දුර සිය මිතුරන් සමග ජීප් රථයෙන් යාමට සුරවීරයන්ට  ඕනෑ කළේය. එහෙයින් මමත් අනුරත් කළු කණ්නාඩි සහිත සුඛෝපභෝගි නිල රථයට ගියෙමු. මේ හුවමාරුව නොදත් ගිරාඳුරු කෝට්ටේ ප‍්‍රභූ පොලිස් ආරක්ෂක සේවාව ඉදිරියෙන් හා පසු පසින් අපට රැුකවල් සැපයූවා පමණක් නොව සුරවීර මහතා පැමිණි රථයට අපගේ කාරයට ළඟා වීමටවත් ඉඩ නුදුන්නේය. ඉනික්බිති දෙහි අත්තකණ්ඩිය පොලිස් සීමාවේදී ගිරාඳුරු කෝට්ටේ පොලිස් ආරක්ෂක සේවාවේ නිලධාරින් සිය සේවා හමාර වී අපට සැලියුට් ගැසුවේය. දෙහිඅත්තකණ්ඩිය පොලිස් නිලධාරීන් අපට සැලියුට් ගසා ඔවුන්ගේ සේවාව ආරම්භ කළේය. ප‍්‍රභූ රථයේ වූ අප පොලිස් රැුකවරණ මැද්දේ දෙහිඅත්ත කණ්ඩිය සංචාරක නිවාසය තෙක් පැමිණියෙමු.  ගමන අවසානයේ අප ඇමති නිලරථයෙන් බසිද්දී තමන් රැුකවරණය දුන්නේ මුංටදැයි යන හැඟීමෙන් පොලිස් නිලධාරින්ගේ ලජ්ජාවෙන් බර වූ මුහුණු මට දැනුදු මතකය.

              රාතී‍්‍ර දෙකක් සුරවීරයෝ සිය මිතුරු සගයන් හා අප සමග විහිළු තහළු හා ශාස්තී‍්‍රය කථා බහකින් යුතුව කල් ගත කෙළේය. ඒවා කෙතරම් ලස්සණ, සුමධුර හා ශිෂ්ටාචාරවත් සාකච්ඡුා හා සන්ධ්‍යාවන්දැයි මට සිතේ.

මහාචාර්ය ඒ.වී. සුරවීර- පි‍්‍රය මනාප බුද්ධි ජීවියෙක්


           ජීවිතයේ ප‍්‍රමුඛතම තෝරා ගැනීම සේ ලේඛන කලාව තෝරා ගත් අප දැන් පනස් වස් වියැති වැඩිහිටි මිනිසුන්ය. අපට පූර්ව වූ ලේඛන පරම්පරාවට අයත් වූ මහාචාර්ය ඒ.වී. සුරවීරයන් අසූ හතර අවුරුද්දක් ආයු වළඳා නොබෝදා දිවංගත විය. අපේ පරම්පරාවට වඩා ප‍්‍රඥා සම්පන්න පරම්පරාවක් එතුමන් නියෝජනය කළේය. භාෂාවන් පිළිබඳ ලද බහුශ‍්‍රැත බව. කලා න්‍යායයන් හා විශ්ව සාහිත්‍ය පිළිබඳ වූ පෘථුල දැනුම, පැරණි සාහිත්‍ය පිළිබඳ පෘථුල දැනුම සුරවීරයන් අයත් පරම්පරාව ආඪ්‍යත්වයට පත් කළේ ය. එපමණක් නොව ඔවුන් ඇසුරු කළ මිනිස් සමාජයද කිසියම් පරිපූර්ණත්වයක් හා අවංක භාවයක් තිබුණු ප‍්‍රඥා සම්පන්නයන් ගෙන් සමන්විත විය.
        එහෙත් එ් කිසිදු සම්පතක් නිරායාස ලෙස ලබා ගැනීමට අපේ පරම්පරාව අසමත් වූහ. අපේ පරම්පරාවෙන් බහුතරයක් පැරණි සාහිත්‍යය ප‍්‍රඥා උල්පතක් ලෙස දැකීමට අසමත් වූහ. සිංහල භාෂාවේ ගැඹුර හා එහි මූලාශ‍්‍රයන් නොදැනීම නිසා පැරණි සාහිත්‍ය වෙත වන මනරම් දොරටුව විවර කර ගැනීමට අපේ පරම්පරාව අසමත් වූහ. එහෙත් එ් යථාර්ථය පිළිගැනීමට අසමත් වූ අප පැරණි සාහිත්‍යයෙන් ඇති ඵලය කිමැයි පෙරළා අසයි. බටහිර භාෂා ශාස්ත‍්‍රයන් නිවැරදිව ප‍්‍රගුණ කළ සුරවීර පරම්පරාව විශ්ව සාහිත්‍ය තම ප‍්‍රඥා ප‍්‍රාසාදය තුළට ඇතුළු කර ගන්නේ එ් දැනුම ආශ‍්‍රයෙනි. ඇරිස්ටෝටල් කාව්‍ය ශාස්ත‍්‍රය වැන්නක් එ් දැනුමේ උත්තුංග ප‍්‍රථිපලයකි.
        මහාචාර්ය සුරවීයන් හැට වසරකට අධික සිය ලේඛක ජීවිතය තුළ කෙටිකතා, නවකතා, විචාර කෘති, ආදි සුවිශාල ප‍්‍රමාණයක් ග‍්‍රන්ථ සම්පාදනය කොට ඇත. එමෙන්ම වසර 50කට අධික වූ විශ්ව විද්‍යාල ගුරු ජීවිතය තුළ නිවරැුදිව සිය ශාස්ත‍්‍රය සිය සිසුනට දානය කළේය.  එ් ශාස්ත‍්‍රීය සම්ප‍්‍රදානයන් ගේ පරිමාව අද අපේ පරම්පරාවට හිතා ගන්නටවත් බැරි තරම්ය.
       මහාචාර්ය සුරවීර යනු විවිධාකාර නොමඟ යෑම්වලට ගොදුරු වූ සම්භාවනීය මිනිසෙකි. මගේ විශ්වාසයේ හැටියට ඔහු සාහිත්‍ය කලාවන් පිළිබඳ තමන්ගේ පෘථුල වූ දැනුම  සම්භාරය ජනතා ලේඛක පෙරමුණ නම් වූ කුරුබිලිය තුළට දමා ගැනීමට මිතුරන්ට ඉඩ දුන්නේය. එමගින්  ඔහුගේ සාහිත්‍ය දැනුමට වූ හානිය සුළු පටු නොවේ. දෙවැන්න ඔහුගේ අවසන් භාගයේ වූ දේශපාලන තෝරා ගැනීම්ය.
       කෙසේ වෙතත් සුරවීර වෘත්තාන්තය පූර්ණ ලෙස කියවීමට සමත් කිසිවෙකු වෙතොත් එමගින් දකින සුරවීර ප‍්‍රාඥයා ලාංකීය සමාජය බිහිකළ අති දැවැන්ත ශාස්ත‍්‍රවන්තයෙකි. ඔහුගේ නිර්මාණ ජීවිතය තුළ ගම් පිළිබඳ වන යථාර්ථ ප‍්‍රකාශනය ශී‍්‍ර ලාංකික නිර්මාණ ඉතිහාසය තුළ නොතකා හළ නොහැකිය.  එමෙන්ම එතුමන්ගේ බුද්ධිමය ශ‍්‍රමය හමුවන්නේ සිය ශාස්තී‍්‍රය කෘති තුළිනි. ඇතැම් කෘති ඔහුටම පමණක් ලිවිය හැකි අගනා පර්යේෂණ කෘතීන්ය.
         සුරවීරයන් යනු අපූරු මිත‍්‍රයෙකු වන වග මම අත්දැකීමෙන්ම දනිමි. ඔහුගේ යාව ජීව මිතුරන් වූ ගුණසේන විතාන, කේ. ජයතිලක, බොබී බොතේජු, හෙන්රි සමරනායක වැන්නන් සමග මහවැලි ජනපදවල පුස්තකාල ප‍්‍රවර්ධන වැඩසටහන් සඳහා දෙවතාවක්ම සහභාගි විය. ඒ ගමන් බිමන්වල සත්කාරකයා වූයේ එකළ මමද මහවැලියේ සේවකයකුව සිටි නිසාය. ශ්‍රේෂ්ඨ ප‍්‍රාඥයකු පමණක් නොව එකල සංස්කෘතික නියෝජ්‍ය ඇමතිවරයාද වූ සුරවීරයන් තුළ බලය නිසා වූ වෙස් පෙරළියක් අල්ප ලෙස හෝ මම නම් නොදුටුවෙමි. කුඩා මීවිතක් සමග පැරණි සාහිත්‍ය නූතන කලාවන් ගැන ශික්ෂිතව සංවාදයේ යෙදෙන අයුරු සංවාද කලාව ඉගෙන ගන්නට හා බලා සිටින්නට තරම් වටිනා දෙයකැයි මට සිතුනි.
        දේශපාලනඥයකු ලෙස ඔහුට ලැබුණේ බල කේන්ද්‍රයේ කැපී නොපෙනෙන තැනක් නිසා සිය දේශපාලන චර්යාවෙන් සිය උත්තුංග සාහිත්‍ය කලා ජීවිතය වැඩි කෙලසීමකට ලක් නොවිණි. එහෙයින්ම අප හැර ගොස් සිටින මේ ශාස්ත‍්‍රවන්තයා නැති අඩුව පිරවීමට සමතෙකු අප අතර නැති ශෝකය වඩාත් දැනේ.
                                                                                                         චන්ද්‍රරත්න බණ්ඩාර

Tuesday, 7 January 2014

ප‍්‍රබුද්ධ චින්තනය අහිමිවීම


අද්‍යතන සිංහල සාහිත්‍ය පිළිබඳ රටින් එපිට වාසය කරන අයෙකු ලෙස ඔබ කොහොමද දකින්නේ?
ඔය හුඟක් උදවිය කියන විදිහට සිංහල සාහිත්‍ය ගැන අසුබවාදී කල්පනාවක් මට නැහැ. අද නවකතාව ගත්තොත් එය සාහිත්‍ය ඉතිහාසයේ  උසස් අදියරක් සටහන් කරන බවයි මගේ හැඟීම. මෙවර ස්වර්ණ පුස්තක සම්මාන සඳහා තෝරා ගත් ග‍්‍රන්ථ බොහොමයක් මම කියෙව්වා. අවසාන වටයට තේරුණු සුමිත‍්‍රා රාහුබද්දගේ ‘අත අත නෑර’  හැරුණු කොට අනෙක් සියල්ලම මම කියෙව්වා.  එම වටයට තේරුණු එක පොතක් හරුණු කොට  අනෙක් කෘති සියල්ලම පාහේ උසස් නිර්මාණ තාක්ෂණයක් හා ඉහළ දර්ශනයක් ගැබ්ව තිබුණා. එ් පහට නොතේරුණු ‘වාලූකා’ හා ‘මාගම් සෝලියත්’ ප‍්‍රශස්ත මට්ටමක තිබුණ නවකතා. මීට පෙර වසරවල එම උත්සවය මගින් සම්මාන ලබාදුන් ‘පොදු පුරුෂයා’ හා ‘කන්දක් සේමා’ මා දකින්නේ ලංකාවේ නවකතා ඉතිහාසයට ලැබුණු අගනා දායාද ලෙසයි. තව මෙවැනි නවකතා බොහොමයක් ඇති. එ්ත් මං මේ කියන්නේ මා කියවූ නවකතා ගැන විතරයි. මීට ඉහත වසරක ජයතිලක කම්මැලවීර ලියූ ‘පුරා හඳ’ නවකතාව ගනිමු. එය නව ආඛ්‍යාන විලාසයක් මගින් වඩාත් ගැඹුරු නිර්මාණ පථයක් තෝරාගෙන තිබුණා. සුනේත‍්‍රාගේ කවි කඳුරත් එහෙමයි. සිංහල කවියට, කෙටි කතාවට මගේ සුභවාදී දැක්ම පොදුයි. මං මෙහෙම උදාහරණයක් කියන්නම්. උසස් පෙළ සිංහල විෂයයට අදාළව උගන්වන නව කවිසරණිය ගන්න. එය එකළ උසස් කවීන්ගේ උසස් කවිවල එකතුවක්. එ් කවි එදා කවියේ නියෝජනය ලෙස සැලකිය හැකියි. ඊට වඩා නිර්මාණාත්මක කවි කෙතරම් නම් අද නව කවීන් අතින් බිහිවෙනවාද?  පියල් කාරියවසම්, එරික් ඉලය්ප ආරච්චි, කපිල කුමාර කාලිංග වැනි කෙටිකතා කරුවන් ස්වකීයව තනාගෙන ඇති නිර්මාණ තාක්ෂණය හා නිර්මාණ ගැඹුර මීට වඩා ගැඹුරින් අගය කළ යුත්තක්. ඔවුන් සිය දැවැන්ත නිර්මාණ අත්දැකීම් සමූහය සාහිත්‍ය විෂයයේ යොදවමින් තියෙනවා. එය සතුටට කරුණක්.
පශ්චාත් යුද කාලීන සමාජ යථාර්ථයක් වර්තමාන සිංහල සාහිත්‍ය මගින් ප‍්‍රමාණාත්මකව නිරූපණය වන බවක් ඔබ කල්පනා කරනවාද? නොඑසේ නම්  එ් සඳහා ප‍්‍රමාණාත්මක කාලයක් සාහිත්‍යයට ලැබී නොමැති බවද ඔබගේ අදහස
මෙන්න මෙම කාරණයේදී සාහිත්‍යකරුවාගේ නිර්මාණශීලිත්වයට සමාන්තරව නිර්භය බව අවශ්‍ය කෙරෙනවා. එමෙන්ම හොඳ දේශපාලනික අවබෝධයකුත් අවශ්‍ය වෙනවා. යුද්ධය යනු සංවේදී මිනිසා සසල කරන සිද්ධිදාමයක්. එහෙත් එ් සසලවීම සමාජයක් වශයෙන්වත්, කලාකරුවන් වශයෙන්වත් අපේ රටේදී ප‍්‍රමාණාත්මකව ඇති වුණාද කියන ගැටලූව මතු වෙනවා. අද පවත්නා මුස්ලිම් ජනයාට ඔවුන්ගේ සංස්කෘතික ජීවිතයට එරෙහිව සිංහල අන්තවාදය විසින් කෙරෙන බලපෑම ගන්න. එය යුද්ධයේ ආයුධ නිහඬ වුවත් යුද වියරුවේ තවමත් සමාජය ගැලී සිටින බවට සාධකයක්. අන්තවාදයට රත් කර ගත් ලේ සඳහා අලූත් සතුරකු හෝ අවශ්‍යයි. ලංකාවේ අසහාය ගායකයෙක් ජනගහණය වැඩි කර ගන්නට කාමරංගා කන්න යයි පසුගාමි ගෝත‍්‍රික යෝජනා කරනවා. යුද්ධයේ මානව ඛේදවාචකය කලින්ම තේරුම්ගත් ජයතිලක බණ්ඩාර වැන්නෙක් සීමිත හොඳ මිනිසුන් පිරිසක් සමග තවම සාධුජනරාව පවත්වනවා. ලංකාව ජාත්‍යන්තරකරණය කළ කාරණා දෙකක් තියෙනවා. එකක් යුද්ධය. දෙක කි‍්‍රකට්. කි‍්‍රකට්වලට හැමෝම සංවේදියි. එහෙත් යුද්ධයට එසේ නෑ. මහජනයා සංවේදී නොවීම පැත්තකින් තියමු. කලාකරුවන් සංවේදීද? ලංකාවේ චිත‍්‍ර කලාවේ නම් එවැනි සංවේදීකමක් දක්නට තියෙනවා. විශේෂයෙන් තේනුවර හා ජගත් වීරසිංහගේත්, ඔවුන් දෙපල වටා ගොනුව සිටින තරුණ චිත‍්‍ර ශිල්පීන්ගේත්. ඔවුන් සාර්ථකව යුද්ධයට මුහුණ දුන් උතුරේ චිත‍්‍ර ශිල්පීන් හා නිර්මාණ අත්දැකීම් බෙදාගන්නා බවක් පෙනෙනවා. ඉන්දියාව හා පාකිස්ථානය දෙකඩ වීමේදීත් ඉන්පසු ඇති වූ යුද්ධවලදීත් තිබුණු මානව ඛේදවාචකය කෙතරම් අපූරුවට ඉන්දීය සාහිත්‍යකරුවා ග‍්‍රහණය කර ගත්තාද? දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපීය සාහිත්‍ය වෙනස්ම මුහුණුවරක් ගත්තේ එ් ඛේදවාචකයට සංවේදී නිසයි. එ්ත් තිස් අවුරුද්දක් වැනි විශාල කාලයක් යුද්ධයකට වැය කළ රටක එය නිර්මාණ විෂයක් බවට පත් නොකරගන්නේ, අචේතනිකව සාහිත්‍ය කරුවනුත් එහි දායකයන් නිසාද? නැත්නම් ඇති බිය නිසාද? මට නම් හිතෙන්නෙ තිස් අවුරුද්දක් යුද්ධයක කොටස් කාරයන් වුණු අපට එ් කාලය හොඳටම ඇති නිර්මාණ සඳහා.
පශ්චාත් යුද කාලීන සමාජ යථාර්ථයන් නිරූපණයේදී දේශීය ලේඛකයන්ට වඩා රටින් පිට වාසය කරන ලේඛකයන් (විශේෂයෙන් මංජුල වෙඩි වර්ධන වැනි* වැඩිමනත් සංවේදී වන බව පෙනෙනවා. ඒකට හේතුව කුමක්ද?
මංජුල වෙඩිවර්ධන වැනි ලේඛකයන්ට රටින් පිටුවහල් වන්න සිදු වූයේ අද ලියන දේ එදා ලියන්නට උත්සාහ කළ නිසයි. රෝහිත භාෂණ තව කෙනෙක්. සුනන්ද, දෙමළ කවියකු වන චේරන් තව කෙනෙක්. අද රටින් පිට සිටින නිසා තමන්ගේ ලිවීම උදෙසා දඬුවමක් නොවිඳින බව ඔවුන් දන්නවා. ඒ නිසා හිතට එකඟව ලිවිය හැකියි. සෑම කළුවළාවකම රිදී රේඛාවක් ඇතය යන කියමන සනාථ කරමින් නිදහසේ ලියන ලේඛකයන්ට අන්තර් ජාල අවකාෂය විවර වුණා. එය කලාව නව අදියරකටත් ගෙන ගියා පමණක් නොව කලාව ප‍්‍රජාතන්ත‍්‍රියකරණයකටත් ලක් වුණා. රටින් පිට වාසය කිරීම නිසා ස්වයං සිද්ධව ඇතිවන නිදහස් අවකාශයත්, සීමා වාරණ නැති අන්තර්ජාල අවකාශය සන්නිවේදන පියස්සක් ලෙස හමුවීමත් ලාංකීය සාහිත්‍ය කලාවන්ගේ ප‍්‍රබල විප්ලවීය අදියරක්. එය මැනවින් ප‍්‍රයෝජන ගැනීමට රටින් පිටත ජීවත්වන සාහිත්‍යකරුවන්ට හැකියාව ලැබුණා. එ්ත් ලිවීම කරන කොට ගෙන රටින් පිටමංව බොහෝ දෙනෙක්  සිටියත් මංජුල හෝ රෝහිත හෝ සුනන්ද වගේ පශ්චාත් යුද කාලීන සමාජය විවරණය කරන්නේ   කීයෙන් කී දෙනාද?
රටින් පිට සිංහල සාහිත්‍ය සහ සයිබර් කවිය පිළිබඳ ඔබේ තක්සේරුව කුමක්ද?
මං දැනට අවුරුදු දහයකට කිට්ටු කාලයක් කැනඩාවේ ජීවත් වෙනවා. ඒ දහයෙන් එන අපේ‍්‍රල් වලට අවුරුදු හතක් පිරෙන සිංහල පත්තරයක් කරගෙන යනවා. නම යාත‍්‍රා. පිටු 100යි. සාමාන්‍යයෙන් අවමය පිටපත් 7000ක් හා උපරිමය පිටපත් 10,000ක් මුද්‍රණය කරනවා. මුළු කැනඩාව පුරාමත්, ඇමරිකාවේ ප‍්‍රාන්ත කිහිපයකටත් පත්තරය බෙදනවා. කොටින්ම ඇස්කිමෝවරු සිටින නොනවුන් පළාතටත් පත්තර හතරක් යනවා තැපැල් මගින්. එහි ජීවත්වන සිංහලයන්ට. මං මගේ පාඨකයන් හා විවිධ සමීක්ෂණ කරනවා පත්තරය මාර්ගයෙන්. මගේ වැටහීම අනුව නම් සාහිත්‍ය හා සයිබර් කවිය හෝ සයිබර් සාහිත්‍ය ගැන උනන්දුව ඉහළයි.  මගේ වැටහීම නම් සබියර් කවිය සිංහල මුද්‍රිත කවිය අතික‍්‍රමණය කර ඇති බවයි. ඇතැම් විට සිංහල කවියේ අනාගත ප‍්‍රවාහකය සයිබර් අවකාශය විය හැකියි. පවතින ක‍්‍රමය, අධිපති ප‍්‍රකාශන මාධ්‍ය හා ආර්ථික බාධා සංස්කෘති මැඩලීම් මධ්‍යයේ වැඩුණු සිංහල සාහිත්‍ය හා කවියට එ් බාධා නැති මාධ්‍යයක් විවරව තිබෙනවා. සයිබර් අවකාශය වනාහි ලේඛන කලාව ප‍්‍රජාතන්ති‍්‍රය විප්ලවයකට බඳුන් කර තිබෙනවා. එකළ ප‍්‍රමුඛ පෙළේ කාව්‍යයක්කාරයන් ලෙස සමාජය දැන හඳුනාගන්නේ කී දෙනාද? ඒත් සයිබර් අවකාශය ඔස්සේ  කවියන් බොහෝ ගණනක් සමාජ ගතවී තිබෙනවා. වත්මන් ධනේශ්වර එනමුත් සමාජ ප‍්‍රජාතන්ති‍්‍රක ලෝකයේ මිනිස් නිදහසට, සීමා මායිම් නැති සිතුම් පැතුම්වලට ලබා දී ඇති ලොකුම අවස්ථාව ලැබෙන්නේ සයිබර්  අවකාශය හරහායි.
ලෝක සාහිත්‍ය කලාවන් හා සසඳා බැලීමේදී වර්තමාන සිංහල සාහිත්‍ය හා අනෙකුත් කලාවන් පිළිබඳ ඔබට මොනවද හිතෙන්නෙ
ඇත්තටම එහෙම සැසඳීමක් මම කරන්නේ නෑ. මම රටින් පිටවුණාට පස්සේ අපේ සිතුම් පැතුම් වපසරිය, ලෝකය දකින විදිහේ පුලූල්වීමක් සහ ඇතැම්විට වෙනස්වීමක් සිදුවුණා. සමහර රසවිඳීම් සංස්කෘතික බැඳියාවන් හා සම්බන්ධයිනේ. සද්ධර්මාලංකාරය හෝ කව්සිළුමිණ  කියවද්දී ඒ සඳහා සමාන කෘතීන් ලෝක සාහිත්‍යයෙන් හොයා ගන්න බෑ. මේවා කියවීම හා ඉන් ලබන ආශ්වාදය මගේ සිංහලකම මගේ බෞද්ධකම සමගත් සම්බන්ධයිනේ. අපි හිතමුකෝ මේ පැරණි සාහිත්‍ය කෘති නිවැරදිව ඉංගී‍්‍රසි භාෂාවට පරිවර්තනය වුණා කියලා. බටහිර ජනයා මේ කෘති මගේ ගැම්මෙන්ම රස විඳියිද? එහෙම වෙන්න නෑනෙ. ගයිගර් පඬිතුමා වැනි අය සමහර පැරණි ග‍්‍රන්ථ සිංහලයට පරිවර්තනය කළානේ. ඒත් ඒවා එහෙම ලෝක සමාජයට ඇතුළු වුණේ නෑනේ. මගේ සිංහල බසින් කියවීම යනු මගේ ීවිතයේ පදාසයක් අතපත ගෑමක්. එයින් ලැබෙන ආශ්වාදය සංස්කෘතික ජීවියකුට අමතක කරන්න බෑ. සමහරු කියනවනේ මාර්ටින් වික‍්‍රමසිංහ ගම්පෙරළියට චෙකොෆ්ගේ චෙරිවත්තෙන් ආභාෂය ලැබුවා කියලා. එ්ත් ගම්පෙරළිය තුළින් චෙරිවත්තේ ක‍්‍රම විකාශයක් සොයා ගන්න පුළුවන් වුණත් ගම්පෙරළිය කියන්නේ චෙරිවත්ත නෙවෙයිනෙ. ගම්පෙරළියේ සිංහලයෙකුට වෙනම සංස්කෘතික කියවීමකුත් තියෙනවනේ. එය නූතන ලේඛකයන්ගේ කෘතිවලටත් අදාළයි. දැන් දැන් නූතන ලේඛක ලේඛිකාවෝ වැඩි වැඩියෙන් ලෝක සාහිත්‍ය ඇසුරු කරනවානෙ.  ඔවුන් ඒවායේ දියුණු සාහිත්‍ය තාක්ෂණය තම කෘති සඳහා යොදා ගන්නවා. බටහිර ලේඛකයන්ගේ සාහිත්‍ය කෘති ලෝක ව්‍යාප්ත වෙන්න කාරණා ගණනාවක් තියෙනවා. එකක් එ්වා ලියවෙන්නෙ විශ්ව භාෂාවකින්. අනෙක බටහිර ලේඛකයාට තම වස්තු විෂයට අයත් භූගෝලීය වපසරිය මුළු ලෝකයමයි. ඒත් අපට අපේ ¥පත විතරයි. ඒත් අපේ නිර්මාණ සැලකිය යුතු ප‍්‍රමාණයක් ¥පත් මායිම් ඉක්මවා ගිය තත්ත්වයක් තියෙනවානෙ.  මෙවැනි ලක්ෂණ ගණනාවක් නිසා සාහිත්‍යයයන් අතර සංසන්දනයක් කළ නොහැකියි. අනෙක් අතට නූතන සිංහල සිනමාව ගන්න. ඇතැම් ජාතිකවාදීන් කියන විදිහට ප‍්‍රසන්නලා, අශෝක හඳගමලා, විමුක්තිලා සම්මාන ගන්නෙ එන්ජී ඕ ව්‍යාපෘති හින්දා නෙවෙයිනෙ. සැබැවින්ම ලෝක සිනමාවේ කලාත්මක ප‍්‍රකාශනයන් ලෙස එ්වා ඉදිරියට ඇවිත් තියෙන නිසානෙ. චිත‍්‍ර ශිල්පයත් එහෙමනේ. ඔවුන් ලෝක චිත‍්‍රකලාවේ වර්ධනයන් මැනවින් හදාරමින් දේශීය පසුබිම තම ප‍්‍රකාශන සඳහා යොදාගෙන තිබෙනවා. චිත‍්‍රය පසුබිමේ ඇති චිත‍්‍රකලා ශාස්ති‍්‍රය සංවාදයත් අපේ චිත‍්‍ර ශිල්පීන් අරගෙන යනවානේ. මේ නිසා ලාංකීය චිත‍්‍ර කලාව ආසියාවේ ඉහළ චිත‍්‍ර කලාවක්  බවට පත්වෙලත් තියෙනවනෙ.
සාහිත්‍යකරුවකුට අමතරව දේශපාලන විචාරකයෙකු ලෙසද ඔබ සකි‍්‍රය දායකත්වයක් දක්වනවා. මේ මොහොතේ රටේ දේශපාලනය ගැන ඔබේ කල්පනාව මොකක්ද?
යුද ජයග‍්‍රහණයෙන් ජනයා ලද ප‍්‍රමෝදය  වර්තමාන ආණ්ඩුව නඩත්තු වෙනවා. යුද්ධය හෝ සාමය පිළිබඳ නිවැරදි තක්සේරුවක් හෝ තමන්ගේ ආස්ථානයක් නොතිබූ නිසා විපක්ෂය අද මේ නන්නත්තාර තැනට වැටී තිබෙනවා. ආණ්ඩුව හා ගනුදෙනු කළ හැකි ප‍්‍රබල විපක්ෂයක් නැතිකම ලංකාවේ  අද පවත්නා භයානක දේශපාලන තත්ත්වයට ප‍්‍රධාන හේතුවක්. වමේ ප‍්‍රධාන දේශපාලන පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ තවමත් ඉන්නේ මීට දශක තුනකට පෙර යුගයේ. මං හිතනවා මේ සමාජ පරිහානියට මේවාට අමතරව ප‍්‍රබුද්ධ වාමාංශික චින්තනයක් හා ප‍්‍රබුද්ධ දක්ෂිණාංශික චින්තනයක් නැතිකමත් බලපා තිබෙනවා. 1977ට පෙර යුගයේ මේ චින්තනයන් දෙකම දේශපාලනය ශිෂ්ටාචාරවත් කළා. වාමාංශික චින්තනය සමාජයේ එළි පහළියට පැමිණ  එ් වැඬේ කළත් දක්ෂිණාංශික චින්තනය එළි පහළියට නොපැමිණ එ් කටයුත්ත කළා. මේ චින්තන දෙකම සමාජයට පාරක් පෙන්නුවා. එදා භික්ෂුව දේශීය දැනුම සම්ප‍්‍රදායේ පෙර ගමන්කරුවා වුණා. අද භික්ෂුව යුද්ධය අවසන් වූ පශ්චාත් යුද සමයේ තවත් යුද්ධයක් ඉල්ලා සිටින ඝාතක සංස්කෘතියක් ඉල්ලා සිටින බලවේගයක් වෙලා. ශාස්ති‍්‍රය සමාජයේ බිඳ වැටීමක් වේ නම් එයට භික්ෂු සංස්ථාවේ බිඳවැටීමක් බලපානවා. අද දේශපාලනයේ ඇති රකුසු ස්වභාවය නැති කරන්න නම් නිද්‍රාශීලීව සිටින බුද්ධිමතුන්ගේ නිර්භීත මැදිහත්වීමක් අවශ්‍යයි. එසේ නොවනතාක් කල් ලංකාව ශිෂ්ටාචාරයේ වල පල්ලටම යන ගමන නොනවත්වා යාවි.
ඔබේ වර්තමාන සාහිත්‍ය කටයුතු මොනවාද? (නව නිර්මාණ යළි මුද්‍රණ ආදිය)
මගේ නිර්මාණකරණයේ ලේඛකයෙකුට නොතිබිය යුතු තරම් වූ දීර්ඝ විරාම කාලයක් තිබුණා. එ්ත් දැන් එ් විරාම කාලය අවසන් වෙලා. හැබැයි  එ් විරාම කාලය අතරතුරත් කෘතීන් දෙකක් නිකුත් කළා. ‘ලෙන්දොර පිපුණු පේ‍්‍රමය’ (2007) දී හා එහි ඉංගී‍්‍රසි පරිවර්තනය Undercurrant නමින්. 2010 දී කැට කිරිල්ලී නමින් කවි පොතකුත් නිකුත් කළා. දැනට මම කෘතීන් දෙකක වැඩ අවසන් කරමින් සිටිනවා. එකක් නවකතාවක්. එහි නම ‘උස් බිමක් සොයා’. දෙවැන්න දේශපාලන විචාර කෘතියක්. හැබැයි මම නොකඩවාවම වගේ පුවත්පත්වලට හා මගේ පුවත්පතටත් ලියනවා. මා පවත්වාගෙන යන Iranamvila බ්ලොග් අඩවියටත් නිතර ලියනවා.
ප‍්‍රසාද් නිරෝෂ බණ්ඩාර