මට මෙම සටහන ලියන්න හිතුනේ අද උදේ ලේඛක මංජුල සේනාරත්න ලියූ සටහනක් දැකීම නිසාය. ඔහු ලියා තිබුණේ ඔහුගේ පියා වූ මර්වින් (Marvin) සේනාරත්නයන් ගැනය. සේනාරත්නයන් ගැන ඇතැම් කාරණා මා පළමුවරට දැනගත්තේ මංජුල ලියූ එම සටහනෙනි. සේනාරත්නයන් බෞද්ධ සාහිත්‍යයේ පොදු ජනයාට විෂය වූ පුළුල් කලාපයක් තෝරාගෙන එහි ප්‍රවර්ධනය සඳහා දක්වා ඇති වෙහෙස මහන්සිය සුළුපටු නැතැයි මට සිතේ.
අවම වශයෙන් පසුගිය සියවසේ මැද භාගයේ සිටවත් වෙසක් තොරණ යනු සිංහල බුද්ධාගමේ අනන්‍යතා ලකුණකි. එය නාගරික පොදු ජනයා සිය සාමූහික ආගමික ජීවිතය ඇතුළත් තමන්ගේ සංස්කෘතිය විදහා දක්වන ක්‍රියාකාරකමකි. සමාජය එන්න එන්නම පිරිහෙන විට තොරණ පිටුපස ඇති යථාර්තයද මුදලාලිකරණය හෝ පාදඩකරණය වුවත් එදා අද වෙනසක් නැතිව තොරණ සාමාන්‍ය බෞද්ධයාගේ ආගමික ජීවිතය පිනවයි. සේනාරත්න මහතා දායක වී ඇත්තේ වසරකට වරක් එළඹෙන මෙම උතුම් පිංකමටය. තොරණක් බැලීමෙන් එය වින්දනය කිරීමෙන් සාමාන්‍ය මිනිසා (බොහෝ විට නගරාශ්‍රිත) ලබන වින්දනය සිය සතුටු කලාපයේ සටහන් කරගනී. මාක්ස් කීවා සේ හදවතක් නැති ලෝකයේ ආගම හදවතක් වෙන්නේ මෙන්න මේ තුටු පහටු වීමද හේතු කොට ගෙනය.
සේනාරත්නයන් තොරණ දහසකට වඩා කතා සම්පාදනය කර ඇති බව කියවේ. බෞද්ධ ගීත තුන්දහසකට වඩා ලියා ඇතැයි කියවේ. සමහර විට වෙසක්පත් සඳහාද ඔහු කවි ලියන්නට ඇත. සමහර විට අපගේම අතීතයේ මහා ආශක්තයක් වූ අප සතු කරගන්නට වෑයම් කළ වෙසක්පත්හි පවා සේනාරත්නයන්ගේ කවි තිබෙන්නට ඇත. මේ සියල්ලෙන්ම කියවෙන්නේ නොදැනුවත්වම ඔහු අපේ සංස්කෘතික ජීවිතයට කෙතරම් බලපා ඇතිද යන්නයි.
පොදු ජනයා පිනවන කලාවට සම්මාන විෂයෙහි තැනක් නැත. එහෙයින්ම විදග්ධයන්ගේ ඇස නොගැසෙන්නකි. එහෙත් අප නොදැනුවත්වම අප බහුතරයකගේ සංස්කෘතික ජීවිතය සේනාරත්න මහතා වැනි සුධීන් විසින් පුරවා ඇති බව කිව යුතුය.
මර්වින් (Marvin).සේනාරත්නයන්වත් ඔහුගේ පුතු මංජුලවත් සුදුද කලුද කියාවත් නොදන්නා මා මෙය ලිව්වේම සේනාරත්ත මහතා වැන්නන් නියෝජනය කළ කලාව අගය කළ යුතුයයි ඇතිවූ සිතුවිල්ලක් නිසාය.
No comments:
Post a Comment