බෙවිස් මනතුංග අපට මුල්වරට හමුවන්නේ සෝවියට් දේශය බිඳ වැටීමට පෙර එහෙයින්ම ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයටත් සරු කාලයකය. ඇත්ත පත්තරය දිනපතා ප්‍රකාශයට පත්කළ කාලයේය. එදවස මහා බලගතු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තැන් තැන් වලින් රිදෙන්න කොනිත්තූ පත්තරයකි ඇත්ත. එදා ඇත්ත වැසී යාම යනු ලංකාවේ ජනමාධ්‍යයේ එක්තරා යුගයක අවසානයකි. මෙ කියන කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාධරයෙකු වූ බෙවිස් පළමුවරට වික්ටර් හාරා ගේ ගී ප්‍රසංගයක් පැවැත්වූයේ ඒ කාලයේය.
ඉනික්බිති එළඹි යුගය අපේ ප්‍රාර්ථනා බොඳ කරමින් රාජ්‍ය මර්ධනයටත් ජාතිවාදයටත් එකසේ රඟන්නට ඉඩ ලැබුණු යුගයකි. ඒ දීර්ඝ අමානුෂික යුගය තුළත් පාරේ සිට වුවද බෙවිස් ජාතිවාදයටත් මර්ධනයටත් එරෙහි විය.
2009 යුද ජයග්‍රහණය නිසා යළි වටයකින් නැග ආ ජාතිවාදයට එරෙහි වූයේ කොන්දේසි විරහිතවය.
බෙවිස්ගේ සමීපතමයෙකුගේ (මවගේ ?) මළගමට පැමිණි අතුරලියේ රතන හිමිට මළ ගෙදරදීම ඔහුගේ ජාතිවාදී වැඩපිළිවෙලට එරෙහිව කතාකොට දොස් කී බව මට කීවේ රතන හිමි සමග වැඩි තවත් හිමි නමකි.
බෙවිස් අවංකව හා නිර්භීතව අරගලයේ කොටස්කාරයෙකු විය. ඔහු කොතරම් අනුරාගයකින් යුක්තව අරගලය සමග සිටගත්තේද යන්න අපි දනිමු. ඔහුගේ මළගම ලොකු හිස්තැනක් තැනූ බව අපට දැනෙන්නේ ඔහු අරගලයට, විශේෂයෙන් නුවර අරගල භූමියට ඔහුගේ බලවත් මැදිහත් වීම හේතුවෙනි.
බෙවිස්ගේ හැටි එහෙමය.
ඔහු සිය ආබාධිත බව ගැටළුවක් කොට නොගෙන අප දන්නා දා සිට යුක්තිය හා සාධාරණය පැත්තේ හිටගත්තේය. ඔහුගේ එදිනෙදා ජීවිතයට සහාය වූ අත්වාරු දෙක සිය සිරුර දෙපැත්තේ තනි රකිනු දුටු විට මේ ලියූ දෙයට වඩා බොහෝ දේ ලියන්නට මසිත හැඟීම් තෙරපෙයි. ඒවා වචන බවට පත් කරන්නට ඇවැසි ශක්තිය මේ මොහොතේ මට නැත. එය වෙනත් තැනක වෙනත් විදිහකට ලියන්නට බලාපොරොත්තු වෙමි.