Sunday 5 March 2023

පුරවරක මතක

 





මේ පිංතුරවල තියෙන්නේ තවමත් පණගැහෙන දේශපාලන හා සංස්කෘතික නිජබිමක සජීවිී නටබුන්. මහනුවර කොටුගොඩැල්ල වීදියත් දළදා වීදියත් ආරම්භ වන මංසන්ධිය සමීපයේ පිහිටි මේ දෙබිච්චිය මැදින් ගොස් තරප්පු පේලියකින් ගොඩ වී පිවිසෙන කාමර දෙකක වම් ඉවුරේ ධාරා දෙකක දේශපාලන ව්‍යාපාර දෙකක් ක්‍රියාත්මක වුණා. වම්පැත්තේ කාමරයේ සවිකර තිබුණු 'පොදු සේවක සංගමය ' මට තාම මතකයි. එම කාමරයේ ප්‍රධානියා වෘත්තීය සමිති නායක ජයරත්න මලියගොඩ. කොමියුනිස්ට් පක්ෂය ඇසුරේ දේශපාලනය ආරම්භකොට එතැනින් ඉවත්ව පොදු සේවක සංගමය පිහිටුවාගෙන වෘත්තීය සමිති ව්‍යාපාරය ඉතා කුඩා කර්මාන්ත ශාලා හා වැඩපොළවල් දක්වා ව්‍යාප්ත කළ නිර්මාණාත්මක මිනිසෙක්. අප පාසල් සිසුන් වූ එක්දහස් නවසිය හැත්තෑ ගණන් අගභාගයේ මේ දෙබිච්චිය තුලින් මේ දේශපාලන කාර්යාලයට පිවිසුණු චරිත කිහිපයක් අප දැක තිබෙනවා. ආචාර්ය නිව්ටන් ගුණසිංහ, ආචාර්ය සුදර්ශන් සෙනවිරත්න මට මතක දෙදෙනෙක්. ඉතා කෙසඟ හැමවේලාවේම කුඩයක් අතින්ගත් තැනැත්තෙක් සිය සුන්දර පෙම්වතිය සමග මේ දෙබිච්චිය දිගේ අර කාමරයට යනවා. ඒ ආචාර්ය දයාන් ජයතිලක . එකළ ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙක්.ඔවුන්ගේ දේශපාලන සංවිධානය වූ 'සමාජ අධ්‍යයන කවයේ " මූලස්ථානය වූයේත් මේ මලියගොඩගේ කාමරය. මේ සියල්ලම යන්නේ සිය දේශපාලන ව්‍යාපාරයේ සාකච්ඡාවලට. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේවත් නැති තරම් විශාල ජෝෂප් ස්ටාලින්ගේ ඡායාරෑපයක් එහි සවිකර තිබුණා මට මතකයි. ඒ මා ලංකාවේ දී හෝ පිටරටකදී දුටු විශාලම ස්ටාලින් පිංතුරයයි. 

අනෙක් කාමරය නිල කොමියුනිස්ට් පක්ෂයට අයත්ය. රංජිත් විජේසිංහ, රාජා උස්වැටකෙයියාව වැනි සහෝදරවරු නිසා අපි එහි ගියෙමු. සොල්දර කාමරයක් වූ එය චාල්ස් ඩිකන්ස්ගේ නවකතාවල මධ්‍යකාලීන නිවසක පැහැය මකාලූයේ නිරන්තරව එතැන සිදුවූ සජීවී සංවාද හා සහෘදයින්ගේ යාම් ඊම් නිසාය.


නගරයට ආවොත් ගොඩවුනු තැනක් වූ එහි හැදෙන තේ කෝප්පයේ අල්ලපු කැෂමාරා හෝටලයේ හෝ අසබඩ ක්වීන්ස් හෝටලයේ තේ එකට වඩා මතකාවලියේ රැඳුනු රසයක්  තිබුණි. විකල්ප පත්තර හැම එකක්ම තිබුණු ඒ සොල්දර කාමරයේ කතා වූයේත් විකල්ප දේවල්මය. ළමා හා  තරුණ වියද පසුකොට මැදියම් වියද ගෙවා දමමින් සිටින අපට මේ සොල්දර ගෙදර මහනුවර නගරයේ අපූරු පුරවර සංකේතයකි.

1977 දී ජේ.ආර්.ජයවර්ධන ලංකා සමාජය උඩු යටිකුරු කොට සමාජයේ එතෙක් පැවති චලනයේ ස්වරූපය වේග රිද්මයකට පරිවර්තනය කළේය. ඒ පරිවර්තනයේ පළමු අනිටු විපාක විඳින්නට සිදුවූයේ ලංකාවේ වාමාංශික ව්‍යාපාරයටය. හිතින් හිතාගන්නට බැරි බුද්ධිමය මහිමාවක් පෙන්වූ කොමියුනිස්ට් - සමසමාජ දෙපක්ෂයේම නායකයන් සහමුලින්ම පාර්ලිමේන්තුවෙන් පන්නා දැමුණි.  


එතැන් සිට 'ඊළඟට කරන්නේ කුමක්ද?' යන උභතෝකෝටිකය හමුවේ පැරණි වාමාංශය දිනෙන් දින ඔත්පල විය.

ඒ ඔත්පලවීම තිබියදීත් මහනුවර කොමියුනිස්ට් පක්ෂයේ හා සමසමාජ පක්ෂයේ නායකයෝ සිය ශක්ති ප්‍රමාණයෙන් සිය ව්‍යාපාරය රැකගත්හ.

මේ සොල්දර ගොඩනැගිල්ලේ දකුණුපස කාමරය ඒ වාමාංශය රැඳුනු එක තැනකි. රාජපක්ෂ ආවේශය වැළඳුනු කොමියුනිස්ට් සමසමාජ නායකයෝ තවදුරටත් සිය පක්ෂ ඒ තුළ විමුක්තිය සොයද්දී මේ කාමර වැසියෝ එයින් මිදී විකල්ප මාවත් සොයන්නට විය.

අවසානයේ මෙහි ඒකමිතිය බිඳීගොස් පරවාද ඉවසන වෙනත් ප්‍රජාතන්ත්‍රවාදී හැඩරුවක් ගත් කාමරයක් බවට පත්විය. මෙහි ආගිය ආචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා විය. රාජා උස්වැටකෙයියාව එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්දය ඉල්ලන තැන දක්වාම දකුණු ඉවුරට සමීප විය. එහෙත් ඔහුගේ ගැඹුරු අතීතය ලියැවී ඇත්තේ රතුපාටින් නිසා රාජා තවමත් නුවරුන්ට වාමාංශිකයෙකි. රංජිත් සහෝදරයා සිය කඳවුර මාරු නොකළ නමුත් වාම දේශපාලන උභතෝකෝටිකයක සිරවී සිටින සෙයකි. ඒවායේ වාස්තවිකත්වය විමසීමට මෙසේ දුර සිට බැරිය.


සොල්දර මහලේ දකුණු කාමරයේ අණසක පැතිරවූ මලියගොඩ සහෝදරයා මියයාමත් සමග ඒ කාමරයේ වාමාංශික බව අතුරුදහන් වී දැන් තේ කඩයක් බවට පත්වී තිබේ.


මම තවමත් මහනුවර නගරයට යන සෑම දිනයකම මේ ඩිකන්සියානු සොල්දර ගෙදර දකුණුපස කාමරයට යමි. දැන් එහි බොහෝ විට සිටින්නේ අප නාදුනන සහෝදරයින්ය. විටින් විට කෝරලේගෙදර තිලකේ, නිහාල් හෙට්ටිආරච්චි වැනි තවමත් අල්ලාගෙන සිටින වාමාංශිකයින් මුණගැසේ. විජය නන්දන සහෝදරයාද නුවරට පැමිණි විට මේ කාමරයට ගොඩවෙන බව මා සමග පවසා ඇත. මේ කාමරයට පැමිණෙන සියල්ලන්ම පාහේ යම් දේශපාලනයක නිරත වුවන් බව මගේ අවබෝධයයි. එදා නම් ඒ සියල්ලන්ම පාහේ කොමියුනිස්ට්වාදීන් වූහ. අද එසේ නොවේ. දකුන,වම,  යන ධාරාවන් දෙකම නියෝජනය කරන්නෝ එහි එති.යති. එහෙත් මේ භූමියේ එදා මෙදා තුර රැකගත් ආචාර ධර්මයක් වේ. ඒ ජාතිවාදයට එහි ඉඩක් නැතිකමයි.

අදටත් අප එහි යන අරමුණ වෙන්නේ රංජිත් විජේසිංහ හෝ රාජා උස්වැටකෙයියාව සහෝදරයන් මුණගැසීමය. මෑත අවුරුදු පහ හය පමණ කාලය තුල එහි ගිය කිසි දිනෙක අර පැරණි රස තේ කෝප්පය ලැබුණේ නැත. එහෙත් තවම එහි විකල්ප පත්තර තිබේ. තේ බීම සඳහා එතැන සිටින රාජා හෝ රංජිත්ද කැටුව පහළ බේක්හවුසියට හෝ ක්වීන්ස් හෝටලයට යන්නෙමු. සියල්ල වෙනස් වි ඇතත් ගොඩනැගිල්ලේ හැඩයත්,රාජා, රංජිත්, කෝරලේගෙදර ආදීන්ගේ තරුණ ස්වරූපයත්  වෙනස්ව නැත. සමහරවිට ඒ සියල්ලටම ඇත්තේ වාමාංශික හෘද සාක්ෂියක් නිසා විය හැකිය.


1 comment:

  1. ලස්සන නොස්ටැල් ජියන් මතකයක් .

    ReplyDelete