Monday, 11 January 2021

මනෝ මතක


 දිරියෙන් යුතුව පහලම තැනින් ඉහළට නැගුනෝ 'දුක දිනා ජය ගත් හපන්නු' ලෙස කාව්‍යාත්මකව නාම ගැන්වේ. අපි ඉපදුන ජන්ම කලාපයේ උපත ලබා (දියතිලක කෝරලය හා හේවාහැට රටින්) ඉහළටම නැගුණු කලාකරුවා ආචාර්ය ජයලත් මනෝරත්න විය යුතුය. 

ඔහු අංශ තුනකින් අද්විතීය විය. පළමුවැන්න ලෙඩ ඇඳට වැටෙන තුරුම අත් නොහළ සතතාභ්‍යාසයෙන් නිරතවූ අධ්‍යාපනයයි. එ් දැරෑ වෙහෙස මහන්සියට එතුමන් ආචාර්ය උපාධි දෙකකින් සම්මානිත විය. මා  නිවැරදි නම් නාට්‍ය රංගනය උදෙසා ආචාර්ය උපාධියකින් සම්මානිත එකම රංගධරයා ඔහු විය යුතුය.

දෙවැන්න අසහාය හා අපූර්ව යන විශේෂණ දෙකින්ම හැඳින්විය හැකි රංග ප්‍රතිභාවක් ඔහු සතු වීමයි. 

තුන්වැන්න මනුෂ්‍ය සම්බන්ධතා විෂයෙහි එතුමන් දැක්වූ විශේෂිත බවයි. ලෙඩ ඇඳෙහි දිගු කලක් රෝගීව වැතිර සිටිනු දුටු මගේ දෙනෙතට කඳුලක් ආවේ ඒ කරුණ නිසාවෙනි.


 අපේ දුකින් බර අඳුරු ලෝකය සතුටින් හා ආලෝකයෙන් තැබීමට මනෝ තරම් දායකත්වයක් දුන් කිසිවෙකු අපගේ මිත්‍ර වළල්ලේ නොසිටියේය. මම හා මනෝගේ අනෙකුත් සමීපතමයන් හැර සිංහල කතාකරන බහුතරයක් දෙනා මනෝ නිසා මුවගට  ප්‍රහර්ෂයක් නගා නොගත්තෝ වේ නම්  අතලොස්සකි. 


ජීවිතය පිළිබඳ ප්‍රත්‍යක්ෂයන් නැවත සලකා බලන්නට මනෝගේ නික්ම යාම හා නික්ම ගිය ආකාරය මට තවමත් බලකර සිටින්නේය. 


මනෝ කලාවේ හා දේශපාලනයේ පරමාදර්ශයන් සමග සිටීමට යත්න දැරීය. කලාවේ ඔහුගේ සුසමාදර්ශී හැසිරීමට ප්‍රමානවත් ඇගයීමක් ලැබුණාදැයි මට නිශ්චිතව තක්සේරු කළ නොහැකිය. දේශපාලනයේ ඔහුගේ පරමාදර්ශී දැක්ම ඇගයීමට ලක් නොවුනත් ඔහු නිරත වු කලාවේ ගැඹුර සැකසීමට උපස්ථම්භක වී යැයි මම සිතමි.


 බොහෝ හාස්‍ය උපදවන කතා කියා අනතුරුව 'රට යන අත' ගැන කතා කරන විට ඔහු බැරෑරුම් වෙන ආකාරය අප අත්වි්ඳ ඇත්තෙමු. ඒ ඔහුගේ හෘද සාක්ෂ්‍යයි. 


මනෝගේ බොහෝ රංගයන් තමන් උපන් ගමේ කමත නම් රංගභූමිය වෙත එක්වරක් හෝ ගෙන ගියේ තමා ජීවත් වන මතු මහලේ වරපට ඇත්තේ එතැන යයි සංකේත කරන්නට මෙනි. එසේ නැත්නම් පිනිමුවා නව ප්‍රාණයක් ලබන්නට සඳුන් රුකක් වෙත යන්නාක් මෙනි. 



මනෝ කිසිදාක තමා තුල ජීවත් වූ ගැමියාට මැරෙන්නට ඉඩ නොදුන්නේය. ඒ ගැමියාට  රෝගී වීමටද ඉඩ නොදුන්නේය. පොරමඩුල්ල- පේරාදෙනිය - ලුම්බිණිය නම් සංකේතීය ස්ථාන ත්‍රිත්වය වනාහි මනෝගේ ජීවිත වපසරියේ  ආරම්භය පෝෂණය හා මෙහෙවර නිරෑපනය කරතියි මම සිතමි. ඔහුගේ ශාස්ත්‍රීය දේශනයක් වුවද නව නළු රසයෙන් යුත් එකක් විය. ඒ දේශනය කෙරෙන්නේ බොහෝ විට සිය ජීවිතයම උදාහරණයට ගනිමිනි. එහිදී උපන් ගම /පාසල ,පේරාදෙණිය (විශේසයෙන් සරච්චන්ද්‍ර ඇසුර ගැන) හා රංගභූමිය යන ත්‍රිත්වය අපූරුවට එකට ඈඳයි.


අප ලැබූ මනුෂ්‍යාත්මභාවයට මනෝ වැනි පිරිපුන් මිතුරෙකුගේ ඇසුර ලැබීම අපගේ ජීවිතයේ අතළොස්සක් වූ ඉතාම විශිෂ්ට ලැබීම් වලින් එකැකැයි සිතමි.


මනෝ ජීවත්ව සිටින කාලයේදීත් ජීවිතය පිලිබඳ නන් වැදෑරුම් කාරණා අපට ඉගැන්වූ අතර ඔහු නික්ම ගියත් එ් බරසාර කාර්යයේ තවමත් ඔහු නිරතවේ.


මගේ ඉල්ලීමට කිහිප වතාවක්ම මගේ ගීත දර්ශකයේ හොඳම ගීත දහයට ඇතුලත් ඔහුම වෙස්සන්තර නාටකයට ගයන 'ගිරිකුළු මුදුනින්' ගීතයත් , පේමතෝ ජායතී සෝකෝ නාටකයේ ඔහු වෙනුවෙන් ගයන 'ඇදුරුතුමා වෙන්න මගේ' ගීතයත් මනෝ  ගායනා කලේය. ඒ මා ඔහුගෙන් ලද විශිෂ්ට සම්මානයන්ය. 

 

ලැබැඳියෙකු නික්ම ගිය පසු පවසන උධෘත මනෝ උදෙසා ප්‍රමාණවත් නොවන නිසා රංගධරයාණෙනි - මිතුරාණෙනි - ගරු කටයුතු ලංකා පුත්‍රයාණෙනි ජීවි්තය පුරාම ඔබව මතක තබා ගන්නා බව පමණක් පවසා නිහඬ වෙමි.

චන්ද්‍රරත්න බණ්ඩාර

https://www.youtube.com/watch?v=cSB8aGKz6yM

No comments:

Post a comment