තිවත
පද්මිණී සෙනවිරත්නගේ 'තිවත' නවකතාව කියවා හමාර කලේ මේ දැන්ය. පසුගිය ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී ඒ පොත මවිසින් තෝරා නොගත් බව දුටු ඉනිමංකඩ මහත්මිය 'තිවත' හොඳ පොතක් කියවලා බලන්නකෝ කී නිසා එය මිළදී ගත්තෙමි. ඉතිහාසය පදනම් කරගත් බොහෝ නවකතාවල ඇති ප්‍රධාන අඩුපාඩුවක් ලෙස මා දකින්නේ ඒවා හුදු ඉතිහාස කතා පමණක් වීමය. එහෙත් 'තිවත' එසේ නොවී වර්තමානය වෙත එල්ල කරන සමාජ හා මානව චර්යාමය කැඩපතක් වී තිබේ. මෙහි දී ඉතිහාසයේ වරද කරුවකු කර ඇති සීතාවක රාජසිංහයන්ගේ සැබෑව හෙලි කරමින් ඔහු නිවැරදි කරන්නට කතුවරිය උත්සාහ කරන්නීය. ඒ කාර්යයේ දි ඇයහෙළිදරව් කර ගන්නා සමාජ වටපිටාව වර්තමාන අපට බෙහෙවින් නුදුරුය. ජාතිය , ආගම, කුලය, යන පාර්ශව තුන එදත් අදත් ශතවර්ෂ පහක් තිස්සේ අර්බුදයේ මැවුම්කරුවන් වි ඇත්තේ නොවෙනස් ලෙසිනි. කෘතියේ එක තැනක මෙසේ තිබේ.
'වැරැද්දක් ඇතා නැතා රජවරුන්ට එරෙහිව ජනී ජනයා උසිගන්නන්ට සංඝයාට හැකි වී තිබෙන්නේ උන්නාන්සේලාට අවනත නූනොත් ජීවත් වෙන්නට තියෙන මාර්ගය අහිමි වන නිසා වග මටද වැටහුනේය.'
එකී යුගය හදාරන්නට හා ඒ යුගයට අදාළව බස් වහරක් තනා ගන්නට කතුවරිය සෑහෙන පරිශ්‍රමයක් දරා ඇතැයි සිතමි. ඒ සියල්ල ඇසුරින් රසවත් හා අර්ථවත් කියවීමකට මගපාදාදීම පිළිබඳව මම සෙනවිරත්න මහත්මියට ස්තුති කරමි.
2019-12-01 දින මගේ දිනපොතේ තැබූ සටහනකි.
No comments:
Post a Comment