Friday, 11 May 2018

මායා මාවත





          මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු පෙළ මුද්‍රණයේ පිදුම වශයෙන්  සිය දියණිය තම පෙම්වතා සමග වහංව ගිය පසු ලියූ දෙ-කව සිංහල කාව්‍ය ක්ෂේත‍්‍රයේ උසස් තැනක ලා සැලකේ.


        ඒ රිද්මය හා ඒ ශෝක රසයම ගැබ්වුණු කවි කිහිපයක් පිදුමක් වශයෙන් නැවත දුටුවේ සුනිල් සරත් පෙරේරා ලියූ මායා මාවත නම් වූ සිය ස්මරණ කෘතියේය.


බිරිඳ වෙසින්
මා වෙත ආ දේවතාවියේ
අනියත නියත බව පෙන්නා
ඔබ මැකී ගියේ


ගිරි කුළ හැපී දෙකඩව යයි        සඳම`ඩල
නිසලව සුසුම්ලයි කළුවර          තුරු වදුල
දෙකොපුල තෙමා රූරා එයි      ඇස කඳුළ
නිවසේ කැදැල්ලේ නො ඇසේ පිය තෙපළ


බත් දුන් කුරුලූ ලේනුන් විත්    වැට දිගට
දුක් ගන්නා බිසව් සොයනේ      ගේ අවට
ඔබතින් වැවූ කඩුපුල් මල්      පිපෙන විට
සිහිලල සුළ`ග දැවටී යයි           සුවඳ වට


අවදිව ඇසැර ලොව දකිනා              වෙලාවේ
උදයෙම මවෙත තේ උගුරක්           ගෙනාවේ
ඔබ ගැන නිබඳ සිහිවන               කල්පනාවේ
මොහොතින් මොහොත ළතැවෙමි හුදකලාවේ




      සුනිලූන්ගේ පියඹ වූ සරෝජිනී ඉලංගංගතිලක (පසුව පෙරේරා) මැතිණියට මේ කවි පෙළින් වහනය වන සියලූ ගුණ සුවඳ පිහිටා තිබිණ. මාතු භාර්යාවක ලෙස හැඳින්විය හැකි ඈ දරුවන්ට හොඳම මවක්, අපට හොඳම සහෝදරියක් වූවා ය. මුදු ගුණයෙන් ද සානුකම්පිත හදවතින් ද යුතු වූ ඈ වැන්නියක අහිමිවීම වහා සසලවන හදක් ඇති සුනිලූන්ට දරා ගැනීමට අපහසුවීම අරුමයක් නොවේ.


      කොළඹින් දුර බැහැර මහනුවර ජීවත් වූ මට කොළඹ හැටි කියා දුන් හා කොළඹ ජීවිතයට රැුකවරණය දුන් පවුලක් වේ නම් ඒ සුනිලූන්ගේ පවුලයි. මගේ එකල  ලිපිනය වූයේද ඒ නිවසමය. ඒ 133 මායා මාවත ම ය.


     සවස් යාමයේ නොවරදවා මා හා ඇතැම් විට පියසේන ගුණතිලකයන් සමග  ඒ නිවසට ගොඩ වන මට සුනිලූන් හමුවට එන වියතුන්  දැක ගැනීමටත් අල්ලාප සල්ලාපයේ යෙදීමටත් වාසනාව ලැබිණ. අමරදේව, මහාචාර්ය ජේ.බී හා විමල් දිසානායක, පණ්ඩිත අශෝක කරුණාරත්න, සයිමන් නවගත්තේගම (පණ්ඩුකාභය නිෂ්පාදනය අවධියේ) චන්ද්‍ර ගුණසේකර, බර්නාඞ් සොයිසා, බැටී වීරකොන් ,දයා හා අනුලා රණවීර,  ආදී වියත්හු හා ජනපි‍්‍රය පුද්ගලයෝ ඒ අතර වූවා මට මතක ය.


    මා රාවය පුවත්පත හා සම්බන්ධ කළේද සුනිලූන් විසිනි.


       සුනිලූන් කොළඹ ඉපදුනු ගමට පෙම්බැඳි වියතෙකි. ගැමි ලියක වූ සරෝජනී අක්කාට දැක්වූ අකලංක පේ‍්‍රමය ඈ ජනිත ගම් පියසට ද ඒ ඇසුරෙන් සමස්ත ලාංකීය ගමට ද ඔහු පෙම් කලා යයි සිතමි. ගැමියන් වූ අපට වඩා ගම පිළිබඳ අපූර්වත්වයකින් සුනිලූන් දකින්නේ ඔහු සිය ජීවිතය පුරවාලූ සරෝජිනී අක්කාට දක්වන පේ‍්‍රමයේ කොටසක් ලෙසිනැයි මට සිතේ.   ‘‘ඈත එපිට ගම්මානෙන් මතුවන’’, ‘‘මේ මහකන්ද දුටුවා’’ වැනි විශිස්ට ගී ඒ සඳහා උදාහරණ වෙති.


      සිය උපන් නිවස පිහිටා ඇති කොළඹ කිරුළපන මායා මාවත කේන්ද්‍ර කරගනිමින් ඔහු විහිදුවාලන අත්දැකීම් හා ස්මරණ විවරණය පරිනත කලාකරුවකුගේ පමණක් නොව විද්වතකුගේ ස්වරූපය කියා පායි. ඒ නිවසට වසර ගණනාවක් ආගිය කෙනෙකු ලෙසත්, ඔවුන්ගේ සතුට පිරීතිරී ගිය කුටුම්භය දුටු කෙනෙකු ලෙසත්, ඒ නිවසින් රැුකවරණය ලැබූ කෙනෙකු ලෙසත්, මායා මාවත කෘතියෙහි මට සාමාන්‍ය පාඨකයකුට වඩා සමීප බවක් දැනේ.


      සුනිලූන් අපූර්ව වූ කවියෙකි.  ගීත රචකයෙකි. පරිනත භාෂා පේ‍්‍රමියෙකි.  විසල් දේශපාලන සංස්කෘතික සමාජ වටපිටාවක අත්දැකීම් බහුල වූ, ඒවා සිය නිර්මාණ විෂයෙහි සංයමයෙන් පරිහරණය කළ හා කරන අයෙකි.


       සුනිලූන් විසින් තමන් අවට ලෝකය සංයමයෙන් යුතුව ඥානනය කළ අයුරු ‘මායා මාවත’ අපට කියා පායි. සරච්චන්ද්‍රයන්ගේ ‘පිං ඇති සරසවි වරමක් දෙන්නේ’ තිස්ස අබේසේකරයන්ගේ ‘අයාලේ ගිය සිතක සටහන්’ සිරිලාල් කොඩිකාරගේ ‘දියවැලක් ඔස්සේ’ වැනි උසස් ගනයේ ස්වකීය ජීවන අත්දැකීම් ඇතුළත් කෘති පෙළෙහි ඒ උසස් ගුණයන් එසේම රැුඳුණු කෘතියක් ලෙස ‘මායා මාවත’ සැලකිය හැකිය.


      ‘මායා මාවත’ කෘතිය මගේ වයස විසි ගණන්වල ජීවිතයේ ඇතැම් ස්පර්ෂ කලාපයන් යළි මතක් කර දෙන කෘතියකි. සුනිලූන් මට හොඳ ජීවන පූර්වාදර්ශයක් විය. ඒ දෙපළම මට හමුවූ මහා ගුණවත්  මිනිසුන් වූහ. අපගේ ස්මරණ කලාපයේ මිහිරෙන් පුරවාලූ ජීවන අත්දැකීම් මේ දෙපළ ඇසුරෙන් මට ලැබුණි. සුනිල් විසින් රචිත සිය ජීවන අත්දැකීම් සමුදාය තුළ ඔහුගේ සංයමයෙන් යුතු ජීවන විලාසය ගැබ්ව ඇතැයි සිතේ. මේ කෘතියේ ඇතැම් පරිච්ෙඡ්ද ඇසුරෙන් මතු වන සිය පියඹ සමග එක්ව ගිය ගමන් බිමන්වල සෝකී ස්මරණ, ඔහුගේ බලවත් වත්මන් ශෝකී හුදකලාව මට පසක් වේ.




චන්ද‍්‍රරත්න බණ්ඩාර

Tuesday, 1 May 2018

යුගයක අවසන් බදාදා



        ආගමික බලයෙන් තොරව කිසිදු සංස්කෘතියක් බිහිවී හෝ වර්ධනය  වී හෝ නොමැති බව වරෙක ටී .එස් එලියට් පවසා ඇත. එය ඇත්තක් යයි මමද විශ්වාෂ කරමි.
          බුදු දහම ලංකාවේ සංස්කෘතිය හා ශිෂ්ටාචාරය නිර්මාණයේ දි වැදගත් කාර්යභාරයක් සිදුකොට ඇත. විශේෂයෙන් විසිවෙනි සියවසට පෙරාතුව ඒ කාර්යය එසේම සිදුවිය. විශේෂයෙන් ලංකාවේ දී මිනිසා ශිෂ්ටාචාරගත කිරීමේ හා සංස්කෘතික මිනිසෙක් නිර්මාණය කිරීමේ දී ආගමේ කාර්යය කලාව වෙතට පවරා ගැනීම සිදු වූයේ බොහෝ ප‍්‍රමාද වීය. ආගමේ ඉගැන්වීම්වලට යටත් විනයගත රාමුවක ප‍්‍රාථමික ස්වරූපයෙන්  චිත‍්‍ර, නර්තනය, වැනි දෑ තිබුණු නමුත් සංගීතය හා අනෙකුත් වීධිමත් කලාවන් තිබුනේම නැති තරම්ය. එහෙත් මාර්ටින් වික‍්‍රමසිංහ (සාහිත්‍යය) , සරච්චන්ද්‍ර (නාට්‍ය) , ලෙස්ටර් (සිනමාව), චිත‍්‍රසේන (නර්තනය), අමරදේව (සංගීතය) යන පුරෝගාමින් විසින් විසිවන සියවසේදී ආගම පදනම් වූ කලාව ජීවිතය පදනම් වූ කලාවක් බවට පත්කීරීමේ පරිවර්තනීය කාර්යය ආරම්භ කළේය. ඔවුන් විසින් සිංහල සංස්කෘතියේ පුලූල් පරිධියක උසස් කලාව පැතිරවීය. ඊළ`ග පරම්පරාවන්ට ඒ මග යාමට මං පෙත් විවර කර දුන්නෝය.
           මේ ලියන අද බදාදා (2008-05-02) එක්තරා සම්භාව්‍ය පුරෝගාමී යුගයක අවසන් දිනය ලෙස සැලකීම උචිත යයි සිතමි. ලෙස්ටර්ගේ මරණය සටහන් කරන්නේ ඒ පුරෝගාමී පරපුරේ අවසන්  සිහරජු අහිමිවීමය.
        ආගම විසින් අත්පත් කරගෙන තිබූ සංස්කෘතික අවකාෂයට කලාව කැඳවාගෙන ආ පුරෝගාමීන් ඔවුන්ය. අද ලෙස්ටර් පරමායුෂ ගෙවා නික්ම යන්නේ ,යළිත් ඒ අපූර්ව සංස්කෘතික අවකාෂයට ආගම පැමිණිය හැකි රුදුරුම වේෂයෙන් පැමිණ හදි කරමින් සිටින අවධියකය.
       මේ පුරෝගාමී කලාකරුවන් බිහිවන්නට පෙර යුගයේ ආගම, ආගමික කලාවකට හා දැනුම පද්ධතියකට පිටුබලය විය. අහෙත් අද ආගම ආත්මාර්ථකාමී ලෙස ආගමේම අභිවෘද්ධිය පමණක් සඳහා මෙහෙයවෙමින්, ඒ සඳහා අනෙකුත් සියලූ බේදයන් අවුස්සමින් ඉතාම හිංසක මුහුණුවරක් ගනිමින් සිටී. ලෙස්ටර් නික්ම යන්නේ මෙවන් දුර්දාන්ත පරිසරයකිනි.
ලෙස්ටර්ගේ සිනමාව ගොගොල්ගේ හිමකබාය ලෙස වත්මන් කලාකරුවන් විසින් දකී. එය සැබෑවකි. එහෙත් ආගමික කලාවක් ජීවිතය උදෙසා පෙනී සිටින කලාවක් බවට පත්කිරීමේ පරිවර්තනීය  කාර්යය කළ සාර්ථක ආකාරය හැදෑරීම වත්මන් කලාකරුවන්ගේ (විශේෂයෙන් සිනමා කරුවන්ගේ) යුතුකමකි. අර්බුදය වාර්තා කිරීමෙන් හා එය විවරණය කිරීමෙන් පමණක් පොදු සංස්කෘතියේ කලාවට හිමිවිය යුතු විශාල ඉඩ යළි ලබාගත නොහැකිය. සිනමාවේදීනි යලි මුලට ගොස් ලෙස්ටර්ගේ මෙහෙවර හරි තැනින් අල්ලා ගන්න.
චන්ද්‍රරත්න බන්ඩාර