Sunday 14 May 2017

වෙසක් පිළිබඳ අතීතකාම මතකය.





          මම සිංහල අවුරුද්දට වඩා වෙසක් එකට වැඩියෙන් කැමතිය. එය මගේ අතීත මතක කලාපයේ වැඩි ඉඩක් එළිය කරයි. වෙසක් කියන විට මතක් වෙන්නේ අපේ ගෙදර අද්දරින් ගැලූ මා ඔය දෑලේ පිහිටා තිබූ සපු ගස් දෙකය. සපුමල් සුවඳ තරම් හදවතට ගිලා බහින මතක සිටින ස්වාභාවික පරිසරයෙන් ආ සුවඳක් මා විඳ නැති තරම්ය. ඊළඟට අරලිය මල් සුවඳය. ලෝකයේ අග නගරයක වසර පහළොවක් තිස්සේ ජීවත්වන මම ගමට යන්නේ මේ දෙ- සුවඳ කියා දෙන මං පෙත් ඔස්සේය.
          අද මම ගමට යන විට හැට හැත්තෑව දශකයේ ඒ භෞතික ගම නැත. කුඹුරු යායවල් පුරන් වෙන්නට ඇර තිබේ.  සපු ගස් දැව වශයෙන් ගෙන ඇත. පන්සලට යන පාර දිගේ තිබූ තේජාන්විත අරලිය ගස් පවා හේතුවක් නැතිව කපා දමා තිබේ. මගේ සෑම පොතකම පාහේ තිබූ පරිසරයේ හැඩ රුව කාබාසීනියා වී ඇත. එදා දෙකන්නයේ වගාවට වෙන් කෙරුණු කුඹුරු හා කඳු වැටි වගා නොකරන්නේය. ඒ නිසා උසට වැඩුණු ගහ කොල විනාශ කිරීමට සහ ඉඩෝර කාලයේ ගිනි තැබීම නිසා අක්කර ගණනක් මුඩුබිම් පෑදී ඇත්තේ උඳගොව්වා කෑ අප‍්‍රසන්න හිසක විලාසයෙනි.

        මහ ඉහළින් පැවැත්වුණු 2600 බුද්ධ සැමරුම් වර්ෂයේ වෙසක් සිරි නැරඹීමට මම මගේ අතීත සැමරුම් බිම් වල ඇවිද්දෙමි. මා අතීත කාමයෙන් සිහිපත් කරන අවධියේ අපේ ගම්පලාත්වලට විදුලිය නොතිබිණි. වෙසක් එක එළිය වුනේ බකට් පහන්වලිනි. වෙසක් කූඩු වලිනි. ඈත කඳු වැටිවල එල්ලී ඇති බකට් පහන් දෙතුන් දොහක් තිස්සේ මනරම් දසුන් මැවීය. ගමේ රජ මහා විහාරයට යා යුත්තේ අප නිවස පසු කරගෙනය.  මහ සෙනග දෙදිනක් පුරා අප ගේ ඉදිරිපසින් පන්සලට ඇදේ.
      මේ දසුන් අද නැත. හාමුදුරුවෝ පන්සලේ නැත. නඩු හබවල, ගලබොඩ අත්තේගේ රැුස්වීම්වල, මහින්ද රාජපක්ෂ යන එන උත්සවලට හාමුරුදුවෝ පිටත්ව ගොසිනි.ලංකාවේ සංස්කෘතික විපරිනාමය සිදුවී ඇත්තේ මෙයාකාරයටය.
       යෙහොවාගේ සාක්ෂිකාරයන්ගේ ලෙඩ සුව කිරීමේ රැුස්වීම්වලට දහස් ගණන් බැතිමතුන් පැමිණෙති. ඒ එන ඔක්කෝම ලෙඞ්ඩුය. සදහම් ආශ‍්‍රමවලට නන් වැදෑරුම් අසපුවලට ද එලෙසින්ම දහස් ගනන් බැතිමතුන් පැමිණෙයි. ඔවුන් ද ලෙඞ්ඩුය. මේ අසපු නිසා අනවශ්‍ය තරමට ආගමික වීමෙන් කැඞී බිඳී ගිය පවුල් ගණනාවක් ගැන මම දනිමි.
         ඔයාකාර ආගමුත්, අවර ගනයේ කලාවත් පවිටු දේශපාලකයන්ට ගැලවී සිටීමේ හොඳ උගුල්ය. ඒ උගුල්වලින් අපේ ඉතිහාසයේ බොහෝ දේශපාලකයෝ හොඳින් වැඩ ගත්හ.
          පුරාතන බුදු දහම ශී‍්‍ර ලංකාවේ සංස්කෘතිය නිර්මාණය කිරීමේදී මහ මෙහෙවරක් ඉටු කළෝය. පුරාණ යතිවර සම්ප‍්‍රදාය වනාහී ලංකාවේ සංස්කෘතික අලංකරණයට මග පෑදුහ. හික්කඩුවේ ශී‍්‍ර සුමංගල, රත්මලානේ ශී‍්‍ර ධර්මාරාම, ලූණුපොකුණේ ධර්මානන්ද, කොත්මලේ ශී‍්‍ර ධර්මානන්ද, විදුරපොල පියතිස්ස, පැලෑනේ සිරි වජිරඥාන, වැලිපිටියේ සෝරත, කිරිවත්තුඩුවේ ශී‍්‍ර ප‍්‍රඥාසාර, කොටහේනේ පඤ්ඤාකිත්ති, පොල්වත්තේ ශි‍්‍ර බුද්ධධත්ත, තෙල්වත්තේ ශී‍්‍ර අමරවංශ, උඩකැන්දවිල සිරි සරණංකර ආදි භික්ෂු උතුමන්ලා ඒ වියත් යුග මෙහෙවරට බරසාර ලෙස උරදුන්හ. මේ උතුමන්ගේ ශාස්තී‍්‍රය මෙහෙවරට අලගුවත් තිබිය හැකි එක් භික්ෂුවක් හෝ අප අතර සිටීද? බුද්ධි සම්ප‍්‍රදාය වැනසී ගිය බුදු දහමක අසිරිය මෙවැනි වෙසක් උත්සවවලින් වුව පෙනේ.

2 comments:

  1. අතීතකාමයේ මිහිරියාවෙන් වත්මන සමරන්න වෙලා තියෙන්නේ. අද ආගම් යනු මාෆියාවකි. ගරානා ව්‍යාපාරයකි. සිවිල් බලය රඳවගන්නා මෙවලමකි.

    ReplyDelete
  2. ඇල් හේනේ රුක් සෙවනේ ගෙපැලේ විහාරේ
    පූජාවේ බෙර නාදේ ගැමි ගීත රාවේ
    මා පුංචි කාලේ ලැබූ ආදරේ සුන්දරත්වේ
    යයිදෝ මැකිලා ගම්මානේ .....

    ReplyDelete