Wednesday 5 April 2017

චතුර පිළිබද මතක කන්දෙන්



        චතුරගේ සහෘද සම්භාවනාවටත් වඩා මට සතුට දනවන්නේ රෝගී තත්වයෙන් මිදී ධම්මික මාභරණ යළිත් මිතුරු සමාජයට පැමිණ මෙම උළෙලේ මෙහෙයවන්නා වීම ගැන ය.

      ධම්මික චතුර පුෂ්පා හා එහි සංවිධාන කටයුතුවල යෙදෙන අනෙකුත් මිතුරන් ද සහිතව ගෙවුණු ළමා විය තරම් මිහිරිතම හා ඒ මිහිර නිසා ඇති වූ සුන්දර ආතතිය  මතක් කරන්නට තරම් ලොකු දේවල් ජීවිතයට මේ මැදිවියේ සිටින අපට ලැබී ඇත්දැයි සිතෙන තරම් ය.

       චතුර ජයතිලක පාසල් වියේ මගේ සමීපතම මිත‍්‍රයන්ගෙන් කෙනෙකි. ඔහුගේ ජීවිතයේ විප්ලවීය අවධිය  ඇරඹුනේ පාසලෙන් පිටදීය. අපි නම් එය පාසල් වියේදීම අත්හදා බැලූ කල් ඇතුව මේරූ චරිත වූයෙමු. අපේ කලාවේ සමාරම්භය පාසල් පුස්තකාලය හා අක්කර පනස් හතක් පුරා විහිදුනු මනරම් භූමි භාගය තුළ දී සිදු විය. එකළ කෙතෙක් අපිම අපේ ජීවිත පැවැත්මට වශී වී සිටියා ද කිවහොත් පාසල හැරයාමේ කඩඉම නොවන්නට තවමත් පාසල් යන සිසුන් වන්නට ඉඩ තිබුණැයි සිතේ.

        චතුර හා මා අතර බැඳීම මිත‍්‍රත්වයෙන් එහාට ගිය එකක් වන්නේ ළමා වියේදීම වමේ දේශපාලනයට ඇද ගැනීමේ කොක්ක ගැසුවන් අතරින් එකකු වූයේ චතුරගේ අයියා ජීවන් වූ නිසාවෙනි. එනිසාම චතුරගේ ගෙදර ඇත්තෝ ද මගේ සමීප වැඩිහිටියෝ වූහ. චතුරගේ අම්මාගේ සොහොයුරු එල්.එම්. පෙරේරා සිය මාතලේ විද්‍යා විද්‍යාලයේ විදුහල්පති ධූරයෙන් ඉවත් වී 1977 මහ ඡුන්දයට රත්තොට ආසනයට ස්වාධීනව තරඟ කළේය. ඒ තමන් බලාපොරොත්තු වූ පරිදි එකළ වාමාංශික එක්සත් පෙරමුණෙන් අපේක්ෂකත්වය නොලැබූ නිසාවෙනි. බලාපොරොත්තු වූ පරිදිම අර්බුදයට පත්ව තිබුණු චතුරගේ මාමාගේ ඡුන්ද ව්‍යාපාරයට මම ද චතුර ද ගොස් ඔහුගේ උකුවෙල පැවති අවසන් මහ රැුළියේ ප‍්‍රධාන කථිකයන් වීමු. එහි දී මොන මොනවා කියා  රැුළිය ඇමතුවාද මතක නැතත් කතාවකට හුරුවක් ලෙස පෙරදා රාති‍්‍රයේ රජය හා විප්ලවය පොත නම් කියවා බැලූ මතකයක් නම් ඇත. මෙවැනි කථිකයන් සහිත ඡුන්ද ව්‍යාපාරයක ප‍්‍රතිඵලය ඔබට අනුමාන කළ හැකිවනු නිසැකය.

     චතුරගේ ‘ආදරණීය’ ඉල්ලීමට ගිය මේ හිතුවක්කාර ගමන ආරංචි වී  දෙදෙනෙකුගෙන් බැනුම් ඇසීමි. පළමු වැන්නා චතුරගේ අයියා වූ ජීවන් ගෙනි. ඒ වැරදි දේශපාලන කි‍්‍රයාවක නිරතවීමේ වරදට ය. දෙවනුව අපේ ගුරු දෙවි ඒ.පී. ගුණරත්නයන්ගෙනි. ඒ අපේ ‘කීර්තිමත්’ විද්‍යාලයේ නම්බුව කෙලෙසීම ගැන ය.

        බඹරු ඇවිත් චිත‍්‍රපටය තිරගත වීම චතුර අප ඇතුළත් ඔය සංවිධායක නඩයේ සියල්ලටම මාරාන්තික කලා උණ වැළඳීමේ ආසන්න හේතුව විය. මම හා මාභරණ සංස්කරණය කළ වින්දන, චතුරට වින්දනෙහි  ඉඩ සිය බලවත් සිතැඟි කි‍්‍රයාත්මක කිරීමට බැරිකමේ නෝක්කාඩුවට බිහිවූ ප‍්‍රබුද්ධ, බණ්ඩාර ඒකනායකගේ නිර්මාණ,  හා ධර්මරාජ විද්‍යාලයීය සිනෙරු කලා සංසදය බඹරු ඇවිත් බෝකළ වසංගතයේ ප‍්‍රතිඵලයකැයි මම අදටත් අදහමි. අපගේ කලාව ද (විශේෂයෙන් ලේඛනය ද) ජනමාධ්‍ය හැසිරීම ද, අප විසින් අප වටා ඇති සිවිල් අවකාශය පාවිච්චි කිරීමේ රටාව ද සැකසෙන්නේ බඹරු ඇවිත් අපගේ ජීවන පදාසය මත තැබූ බලවත් මුද්‍රාව සමග යයි සිතේ. කලා කෘතියකට එවැනි බලපෑමක් මිනිස් ජීවනය මත තැබිය හැකිය යන්නට හොඳම උදාහරණය බඹරු ඇවිත් ය. පතිරාජ  යෝධයෙකු ලෙසත්, කපිල කුමාර කාලිංග ,අමරසිරි කලංසූරිය, දයා තෙන්නකෝන් වැනි අපේ ආදි ශිෂ්‍යයෝ ළමා අපිට බලා හැදෙන්නට අප ඉදිරියෙන් තිබූ යෝධ ගී‍්‍රක ප‍්‍රතිමා විය. එදා නිවෙන්නට ආසන්න පහනක් සේ බලවත්ව අවට ඒකාලෝක කළ විවිධ වාමාංශික මත ධාරා නිසංසල නුවර නගරයේ හැමතැනම තිබිණ. අද වන විට ඒ පහන නිවී ගොස් ඇතිවා සේම, ඒ නිසංසල නුවර නගරය වෙනුවට අද ඇත්තේ පෙනහලූ රෝග බෝ කරන චණ්ඩියන්ගේ සරු බිමක් වූ අවලං නගරයකි.
එදා පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ශාස්ත‍්‍රාලෝකය ඊට ප‍්‍රතිවිරුද්ධ ඈත කන්දේ පාසලක අකුරු කළ අපටද දැනිණ. අද ඒ පේරාදෙණිය, කච්චේරියකට ඉස්පිරිතාලයකට වඩා වෙනස් වන්නේ නම් ඒ මදකිනිි.
චතුර මද කලක් කි‍්‍රකට් සෙල්ලම් කළේය. ඔහුගේ අයියලා දෙන්නාම (ජීවන් හා මොහාන්) දක්ෂ පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයෝ වූ හ. චතුර පාසලේ විවාද කණ්ඩායමේ නායකයා ද, පසු කලෙක ප‍්‍රධාන ශිෂ්‍ය නායකයා ද වූ බව මගේ මතකයයි.

        චතුරගේ කලාත්මක ජීවිතය, සිය නාගරික මධ්‍යම පංතික පවුල් පසුබිම හා ඔවුන් උරුම කරගත් නිදහස් හා වාම නැඹුරුවක් සහිත  චින්තන වටපිටාව විසින් සකසන ලද්දකි. ඒ පොහොසත් උරුමය  ඔහුගේ කලාවේ  හැඩ රටා නිර්මාණය කිරීමට පසුබිම හොඳින් ම බලපා ඇති බව මගේ හැඟීම ය. ඔහු ක්ෂේත‍්‍රයේ  අපි නොහිතන තරම් බොහෝ දුර ගොස් ආපසු පැමිණ ගෘහගත ජීවිතයක් ගත කරන්නේය. කලකට පසු වෙනත්ම ක්ෂේත‍්‍රයකින් චතුර නැවත මතුවී සිටිනු දැකිය හැකිය. ඒ ගුණය ඊටත් වඩා චතුරගේ සොහොයුරන්ට පිහිටා තිබුණැයි මට සිතේ.

      අජිත් තිලකසේන සිය නිර්මාණ ගුරු තනතුරේ තබාගෙන සිටි අවධියක් චතුරටත් මටත් පාසල් ශිෂ්‍යයන් වශයෙන් තිබුණි. එහෙත් මට ඒ ආස්ථානයේ දිගටම සිටීමට ශක්තිය නැති විය. එහෙත් චතුර තවමත් ඒ ආස්ථානයේ සිටී. විශේෂයෙන් අජිත් ගේ භාෂාවේ රටාව අනුගමනය කරන ඔහු අපට චතුර වූවාට ඔහුට අනුව චතුරය.

      එකම ආත්මයක පූර්වාත්මය බදු පාසල් ජීවිතයේ මිතුරු බන්ධනයන් අනෙකෙකුගේ නිර්මාණ ඇගයීමේ අවස්ථාවක් කර ගැනීම කවර තරම් විශාල සත්පුරුෂ කාර්යයක් ද? මාභරණ ඇතුළු ඒ සත්පුරුෂ මිතුරු කැලට ස්තුතියි.
               චන්ද්‍රරත්න බණ්ඩාර

2 comments: