Wednesday 14 October 2015

වලාකුළු බැම්ම





              මගේ අළුත්ම නවකථාව ''වලාකුළු බැම්ම" ලෙස නම් තැබුවෙමි. නම් ගනනාවක් අතරින් ඒ නම තෝරා ගැනීමට මා මිතුරු නිමල් ඒකනායක හා චූලාභය ශාන්ත කුමාර හේරත්ගේ සහය පැතුවෙමි. නිමල් කොහොමත් කලා කෘතිවලට නම් තැබීමේ ශූරයෙකි.-පුත්‍ර සමාගම-අයි නාලිකාව -උක්දඩු ගින්න-ඒ ශූරකමේ අගනා ප‍්‍රථිපලය. වලාකුළු බැම්මම විය යුතු යයි කීවේ නිමල්ය.

             සමහරවිට මේ මගේ අවසාන විශාල නවකථාව විය හැකිය.පිටු ගණන හයසියයකට ආසන්නය. අවුරුදු තුනහමාරක් මේ සදහා වැය කෙළෙමි. 1997 අවුරුද්දේ -හැන්දෑදුරය- පිටවුනාට පසු නවකතාවක් ලියා නැත්තෙමි.

              වලාකුළු බැම්මේ මා දැන් සිටින්නේ තුන්වනවරට සෝදුපත් බලන අවස්ථාවේය. එය සො‍දුරු කාර්යයක් වෙතැයි කලින් සිතා සිටියත් එය මහත් අසහනකාරී දෙයක් වී ඇත්තේ ජීවන ගැටළු ඒ මතට රොක්වී ඇති නිසාය.එක ඇසක සිදුවී ඇති පෙනුමේ අඩුවක්ද මෙම කාර්යයට බාධා කරයි.

              පොත ප්‍රකාශ කරන්නේ සරසවි ප්‍රනාශකයන්ය. නිමල් ඒ සදහා වන මිතුරු කපුකම කළේය. ප්‍රකාශනය සදහා විධිමත් ක්‍රියාමාර්ග ඉදිරි දෙසතිය තුල ගැනෙනු ඇත.

             කවරය දිනිදුට දෙන්නට සිතා සිටිමි.මගේ පසුගිය කෘති කිහිපයකම කවර නිර්මාණය කළේ ඔහුය.
පරිඝනක අකුරු කළේ මගේ මල්ලී නලින්ගේ මැදිහත් වීමෙනි.එහි තවත් ඉතිරි කොටස් චන්දිමා සොයුරිය ඉටු කළාය.වියරණ බැලුවේ ධර්මරාජ විද්‍යාලයේ විශ්‍රාමලත් සිංහල ආචාර්ය ඩී.බී.හේරත් මහතාය.

             මේ කෘතිය ප්‍රකාශනය වනතුරු මම ආශාවෙන් බලා සිටිමි. ලියා හමාර වූ දා හීන් අඩියක් සප්පායම් වෙමින් නවකථාවේ ගැබ්බර බරින් හෑල්ලුවීමේ සතුට අහිංසකව වින්දෙමි. මට තවත් ධනයක් ඇතැයි සිතුවෙමි. සෝදුපත් බලන විටත් යම් පිරැණු බවක් දැනේ. පොත ප්‍රකාශනයට පත්වනදා කොහොම හිටීවිද?

2 comments:

  1. සාර්ථක වේවා යැයි පතමි..............

    ReplyDelete
  2. අපේ සුබ පැතුම්...!

    ReplyDelete