Thursday, 26 September 2013

නිශ්ශංක දිද්දෙනිය රංගනවේදියෙකු පිළිබඳ සතුට දනවන මෙනෙහි කිරීමක්




                                          නිශ්ශංක දිද්දෙනිය
                          රංගනවේදියෙකු පිළිබඳ සතුට දනවන මෙනෙහි කිරීමක්
                         25 වසරක් තිස්සේ අඛණඩව සිංහබාහු ලෙස රංග වස්ත‍්‍ර හැඳගත් ඔහු සිංහල ජාතියේ සමාරම්භකයාට වංශකතාවලින්, ජනසාහිත්‍යයෙන්, අනෙකුත් නාඩගම්වලින් නොදුන් තරුණ ජවයක්, වීරත්වයක් හා අපමණ අභිමානයක් පමණක් නොව නොනැසෙන සෞන්දර්යයක්ද ලබා දුන්නේය. නිශ්ශංක දිද්දෙනිය නැමති මේ රංගන ශිල්පියා ශී‍්‍ර ලාංකික වේදිකා රංගනයට සිංහබාහු තුළින් ලබා දුන් සෞන්දර්යමය අධිමානය ලබා දීමට සමත් කිසිදු නලූවෙකු සිංහබාහු නැමති මහා රංගයට යළි හමු නොවීය. නිශ්ශංක දිද්දෙනිය විවේකීව කල් ගෙවද්දී තරුණ නළුවෝ සිංහබාහුට අඳිති. කලියුගය එළඹිකල සියලූ දෑ නීරස වන්නාසේ සිංහබාහුද තවත් නාටකයක්ව වේදිකාවේ කල් ගෙවයි.
                     සිංහබාහු පමණක් නොව සරච්චන්ද්‍රයන්ගේ සමස්ත කලාවම ශී‍්‍ර ලාංකික සංස්කෘතියේ ගැඹුරු හර පද්ධතිය නියෝජනය කරයි. කාලයාගේ ඇවෑමෙන් නිසරු පසකින් වැසී ගිය යුගයක එ් සරච්චන්ද්‍රයන්ගේ කලාවේ මහිමාව සොයා ගත හැක්කේ එ් සඳහා සුදුසුකම් ලත් මිනිසුන් සමූහයක් අතිනි. අපගේ අවබෝධයේ හැටියට එ් සඳහා වඩාත් සුදුසුකම් ඇති රංගධරයන් දෙදෙනෙක් අප සමග සිටී. එ් නිශ්ශංක දිද්දෙනිය හා ආචාර්ය ජයලත් මනෝරත්නයන්ය. මේ කලාකරුවන් දෙපල සරච්චන්ද්‍රයන්ගේ නිර්මාණවලට බැහැරින් තබා ඇතුවා පමණක් නොව, ඔවුන්ගේ ස්වසන්ථානගත සරච්චන්ද්‍ර නිර්මාණ ආවේශය, හුදකලාව හෝ රංගනයකට යොදා ගැනීමට මඟ අවුරාලන නීති තහංචි පනවා ඇත.
                සරච්චන්ද්‍රයන්ගේ නිර්මාණවලට බැහැරින් ඇති මහා රංගයන් කිහිපය අතර දයානන්ද ගුණවර්ධනගේ ගජමන් පුවත නාටකය ද වේ. එහිදී නිශ්ශංක දිද්දෙනියයෝ එම නාටකය ඇසුරින් සිංහල වේදිකාව තුළ තබන මහා මුද්‍රාව සුළු පටු නොවේ. ගායනා කරමින් රංගනයේ යෙදීම සුළු පටු කාරණයක් නොවේ. මහාචාර්ය සරච්චන්ද්‍ර මෙන්ම ගුණවර්ධනයෝ ද රංගනයේ හැකියාවන් පසක් කළේ ගායනයට ඇති හැකියාව මිම්මක් ලෙස පාවිච්චි කරමින්ය. එ් දුලබ පරීක්ෂණයෙන් සමත්වූවන් අතර ප‍්‍රමුඛයෙකි දිද්දෙනිය.
රත්නපුර දිස්ති‍්‍රක්කයේ පනාවැන්න ගමේ ඉපදී හැදී වැඩුනු දිද්දෙනියයෝ පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ස්වර්ණමය අවධියේ එහි ශාස්ත්‍රෝත්ග‍්‍රහණය සඳහා පැමිණි විද්‍යාර්ථීන්ගේ ගොන්නට අයත් වෙති. සිය රංග සගයා වූ ආචාර්ය ජයලත් මනෝරත්නයන්ද එ්  ශිෂ්‍ය සමූහයට අයත් වූ අතර දෙදෙනා තුළම ගොනුව පවත්නා රංගනයේ විධි නියාම සැකසෙන්නේ මේ ගැඹුරු පරිසරයේ සිටයි. මේ පරිසරයට ගුරු වූවෝ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ය. ඇතැම් විට සරච්චන්ද්‍රයන් නොවන්නට නිශ්ශංක දිද්දෙණිය පිළිබඳ මේ සා පෘථුල කතාබහකට ලාංකීය කලා සමාජය යොමු නොවන්නට ඉඩ තිබුණි.
               සරච්චන්ද්‍රයන් දිද්දෙනියගේ අති සියුම් ප‍්‍රභා ප‍්‍රතිභා උකහාගැනීමට සමත් වූයේ කුඩා කල සිට හදාවඩාගත් දරුවකුගේ දක්ෂතා දන්නා හඳුනන පියෙකු පරිද්දෙනි. සිංහබාහු චරිතය කරුණාබරිත මව්ගුණයෙන් ද, ප‍්‍රතාපවත් පිය ගුණයෙන් ද, පෝෂණය වූ චරිතයකි. ඔහු උදාරය. ඔහු සමසිතින්ද නැණ ගුණයෙන්ද යුක්තය. ඔහු ජාතියක සමාරම්භකයාය. එවැන්නෙකුට ප‍්‍රාණ වායුව සැපයිය හැකි නළුවකු මහා නළුවෙකි.
             දිද්දෙනිය සිංහබාහු නාටකයෙන් ඔබ්බේ සරච්චන්ද්‍ර නිර්මාණ කිහිපයකටම දායක විය. පේමතෝ ජායතී සෝකෝ, වෙස්සන්තර, ලෝමහංස, මහාසාර ඒ අතර වේ. එයින් ලෝම හංස නාටකයේ ප‍්‍රධාන චරිතයට පන දුන්නේ දිද්දෙණියයන්ය මහාසාර නාටකයේ වැඳිරිය වූයේ දිද්දෙණියය. පේ‍්‍රමතෝ ජායතී සෝකෝ නාටකයේ පුන්නක ශිෂ්‍යයා දිද්දෙණියය.
             සරච්චන්ද්‍ර විසින් පිහිටුවන ලද වෘක්ෂයේ මුදුන් මුලින් ජනිත වූ නව ශාඛාව ජනරංගය ලෙස හැඳින් විය හැකිය. එහි නිර්මාතෘ වූයේ දයානන්ද ගුණවර්ධනයන්ය. එතුමන්ගේ වාර්තා රංගයක් වන ගජමන් පුවත ඇතමුන්ගේද මගේද මහා රංගයයි. සිංහල ජන සාහිත්‍යයේ සරල එමෙන්ම සෞන්දර්ය ගුණයෙන් අනූන ඇලපාත මුදලි දිද්දෙනියයි. මාතර යුගයේ  කාව්‍ය සාහිත්‍යයේ මුදුන් මල්කඩ සේ සැලකෙන ගජමන් නෝනා කිවිඳියගේ ජීවිතය ඇසුරෙන් නිර්මානිත ගජමන් පුවතේ ඒ සාහිත්‍ය පරම්පරාවට අයත් කවි ගායනාවලින් සමන්විතය. ඇලපාත නම් වූ නම්බුකාර පෙම්වතාගේ කවි ගායනා දශක හතරක් පමණ තිස්සේ අපේ වින්දන ක්ෂේත‍්‍රය පුළුල් කරමින් එහිම රැුඳෙමින් රැුව්දෙමින් සිටී. ඒ කවිවල ඇති සාරය පමණක් නොව ගායනාවේ හා උචිත රංගයේද ආනුභාවයෙනි.
             දිද්දෙණිය මුද්‍රාව තැබූ සිංහබාහු, ලෝමහංස හෝ ගජමන් පුවතෙහි දිදුලන්නේ සෞන්දර්යයෙන් අනූන පෞරුෂයකි. ඔහු තබන පියවර නර්තන හැකියාවකින් ඔපවත්වූවක් වේ. ඔහුගේ ගායනයේ පවත්නා අනු නාදයන් දිද්දෙනිය ගායන ලකුණයි.
            මහාචාර්ය සරච්චන්ද්‍රයන්සේම දිද්දෙණියද නාටකය නළුවාගේ කලාවකැයි අදහයි. මේ දිනවල ඔහුගේ පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතුවලදී වෙහෙසෙන්නේද එ් මතය සනාථ කිරීමටයි.
            නළුවකු රංගධරයෙකුගෙන් වෙනස් වන්නේ කවර නම් කාරණා විසින්දැයි මගෙන් ඇසුවොත් මා ඔහුට දිද්දෙණිය හෝ මනෝරත්න හදාරන්නැයි යෝජනා කරමි. මක් නිසාද යත් ඔවුන් හුදු නළුවෝ නොවෙති. රංගනය වටා ඇති සුවිසල් දැනුම ලෝකය තමන්ගේ නොකරගෙන සැබෑ නළුවකු විය නොහැකියයි මේ දෙදෙනාම විශ්වාස කරති. එමෙන්ම ඔවුහු රංගනයේ යෙදෙන අතරම හදාරති. පර්යේෂණ කරති.
වේදිකාවෙන් සිනමාවට පිවිසුණු ශ්‍රේෂ්ඨ නළු බෙන් කිංස්ලි රඟපෑ ී්බා ඪ්කකැහ චිත‍්‍රපටයේ අවසන් ජවනිකාව මෙසේ වේ. සියලූ කාරණා සිදුවූයේ ඔවුන්ගේ ආර්ථික වටාපිටාව මෙන්ම ගෞරවයටද හානි ගෙන දෙන අයුරිනි. ගෞරවය මුලූමනින්ම අවසානවීමට ප‍්‍රථම ඔහු දරුපවුලම මැරෙන්නට සලස්වා තමන් වඩාත්ම වේදනාකර දිවිනසා ගැනීමේ විධික‍්‍රමය තෝරා ගත්තේය. එ් පොලිතීන් උරයකින් මුහුණ වසා ගෙන ආශ්වාස ප‍්‍රශ්වාස අහිමිව මරණයට පත්වීමයි. එ් මරණයට සූදානම් වීම ගැන එක් විචාරකයෙක් පවසා තිබුණේ ‘එ් උදාර මිනිසාගේ ඒ උදාර අවසානය නිරූපණය කිරීමට බෙන් කිංස්ලිට තරම් කවර වූ හෝ අද සිටින නළුවෙකුට නොහැකියි මම සිතමි. එ් දැවැන්ත රංගන හැකියාව ලබන්නේ දැනුමද ලෝකාවබෝධයද එක් වූ හැකියාවක් නිසා යයි මම සිතමි.

                  මේ ආකාරයට සිංහබාහු දිද්දෙනියම වන්නේත්,් ඇලපාතමුදලි දිද්දෙනියම වන්නේත්් එ් රංගන වටා පවතින දැනුම ලෝකයට ඔහු ඇතුළුව සිටින නිසාවෙනි.
                    මේ මෑතකදී සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ පැවති මායාදේවි පුහුණුවීමක් බැලීමට ගිය මට එහි නිෂ්පාදක කේ.බී. හේරත් නවක නිලියක පුහුණුවීම්වලට නොඑ්ම ගැන හා ඔවුන්ගේ වගකීම් විරහිත බව ගැන මැසිවිලි නගනු ඇසුවෙමි. එහෙත් දිද්දෙණිය එහි කුඩා කොටසක පුහුණුවකට පෙර ස්වයං පුහුණුවක්ද සහිතව පැමිණ සිය නිෂ්පාදකයා ඉදිරියේ නිවැරදිව සිය රංගනය පෙන්වා උපදෙස් පැතීය. එ් සිය රංගනයටද නිර්මාණයටද ඇති වගකීම් සහිත රංගධරයෙකුගේ හැසිරීමයි.
                 දශක පහක් තිස්සේ විවිධ නාට්‍ය ධර්මයන් අනුදත් නාට්‍ය නිෂ්පාදකයන් උදෙසා සිය රංගන හැකියාව කැප කළ රංගධරයෙකු ගැමිදරුවෝ සහෘද සංවිධානය මගින් පසුගිය දිනෙක උපහාර ලැබුවේය. එවන් උපහාරයකට සුදුසු රංගන වියතෙකි නිශ්ශංක දිද්දෙනියයෝ.
                                                                 චන්ද්‍රරත්න බණ්ඩාර


No comments:

Post a Comment