අත්තනායක සර්ගේ අභාවය මට දනවන්නේ වෙසෙස් ශෝකයකි. ඔහු පිළිබඳ හොඳ නරක මිශ්ර ඇගයීම දකිමින්ම මම ඔහු කෙරේ වු නොනැසෙන ලෙන්ගතුකම ප්රකාශ කරමි. එතුමන් අසූ ගනන් මැද භාගයේ මගේ බිඳ වැටුණු උසස් අධ්යාපනය යළි නගාසිටුවා ගැනීමට මහත්සේ උපකාර කළ තැනැත්තෙකි. එමගින් එහි ප්රමාණවත් ඉමක් කරා යාමට මට හැකි විය. අසූ ගනන් අගභාගයේ මගේම ප්රකාශන ආයතනයක් 'පිනිදිය ප්රකාශන' ලෙස ආරම්භ කළ අවස්ථාවේ එතුමා බාහිර උපාධියට අදාළ විෂය පොතක් ලියා දී මගේ නව ප්රයත්නයට දිරිය ලබා දිණි. එය තම පංතිවල විකුණා දුන්නා පමණක් නොව කතෘභාගය ලබා ගැනීමද ප්රතික්ෂේප කළේය.
ඔහු මගේ නිර්මාණ අගය කළේ මා ඇති තැන්වල පමණක් නොව නැතිතැන්වලද එයම කළේය. මගේ සාහිත්ය ජීවිතයේ සමාරම්භක අවධියේ ඒ දිරි දීම ක්ෂේත්රයේ රැඳී සිටීමට හේතු වූවා යැයි සිතමි. ඔහු නූතන සාහිත්ය සම්බන්ධව විචාරකයෙකුට වඩා දිරිදෙන්නෙකු හා ප්රවර්ධකයෙකු ලෙස සැලකීමට මම වඩා කැමැත්තෙමි. එහෙත් පැරණි සාහිත්ය සම්බන්ධව නම් ඔහුගේම විචාර ශෛලියක් තිබූ අතර එය ඔහුට ජනප්රසාදය කැඳවීය.
අපේ නිර්මාණ ජීවිතයේ ආරම්භක පදනම් භූමිය අපේ පාසල හා මහනුවර නගරයයි. එහි පැවති සම්මන්ත්රණ ආදියට දුහුනු අපට සහය වෙමින් එතුමා කළ මෙහෙවර ඒ කාලයේ ඒවායේ නියළුනු කිසිකෙුට අමතක වේ යැයි නොසිතමි. අත්තනායක සර් සේම ඔහුගේ සමකාලිනිකයෙකු වූ මහාචාර්ය විමල් එස් රන්කඩුව මහතාද එයාකාර උදව් උපකාර අප සාමූහිකය වෙනුවෙන් ඉටු කළේය.
එතුමාගේ ජනප්රියත්වය පදනම් කරගෙන අවශ්ය නම් ඔහුට දේශපාලනයටද ඇතුලු විය හැකිව තිබුණි. එසේ ඇතුලුවී අමාත්ය තනතුරක් දක්වා පවා දුර යා හැකියාවක් තිබුණි. එවැනි ආරාධනාවක්ද ලැබී තිබුණි. එහෙත් ඔහුට එලෙස දේශපාලන තනතුරු හඹා යාමට අවශ්ය නොවීය.
කවර සීමාවන් තිබුණත් අත්තනායක සර් මිය යන්නේ ක්ෂේත්ර කිහිපයකම මුද්රාමය නාමයක් වෙමිනි. ඔහුට ගරහන්නන්ට වඩා ඔහුව අගයන්නෝ බොහෝය. කැනඩාවේ සිංහල සංගමය විසින් පවත්වන 'බසක වරුණ' වැඩ සටහනට ප්රධාන දේශකයා වෙමින් පැමිණ කළ දේශනයට රොද බැඳි ජනතාව කියා පෑවේ ඔහුගේ ජනප්රියත්වයයි.
විසි තිස් වසකට පසුවත් ඔහු මා කෙරේ පෑ මිත්රශීලි විලාසය හා පැරණි මතක ඇවිස්සීම මා බෙහෙවින් හැඟීම් බර කළ බව මතකය.
ඔබතුමන්ට සුබ ගමන්!