පුෂ්පානන්දගේ අකුරු වනාහි අතීතයක්, මහා ශ්රම වැගිරීමේ ඉතිහාසයක්, සෞන්දර්යමය ඇතුලාන්තයක් හා කාර්ය සාධක බවක් සහිත නිර්මාණයකි. පාසල් අවදියේ නේවාසිකාගාරයේත් .එකම පංතියේත් ඔහු සමඟ එකට සිටීම මා සිහිපත් කරන්නේ මහත් ගෞරවයෙනි. එකිනෙකා විසින් තම කුරිරු බවේ ප්රමාණයට දූෂණය කරන සිංහල භාෂාව සිය පියාපත් අතර සඟවා ගනිමින් එය රැක ගැනීමට උත්සාහ දරණ අතළොස්සක් ධීමතුන් අතර පුෂ්පා දැවැන්තයෙකි.
අප මෙන්ම පුෂ්පා ද පාසලේ දී උගත්තේ විද්යාවයි. ඒ අධ්යාපනයෙන් වෘත්තීය අනාගතයක් සකසා ගැනීමට අප අපොහොසත් වුවත් අපගේ සිතුම් ක්රියාවලිය තාර්කික කිරීමටත් අන් විෂයයන් සුහදව සංකලනය කරගැනීමටත් අපට හැකියාව ලැබුණේ එමගිනැයි මම සිතමි.
පුෂ්පාගේ අකුර උපන්නේ ඔහුටම ආවේණික චිත්ර ශිල්පීය හැකියාවේ කූටප්රාප්තියක් ලෙසිනැයි මට සිතේ. ඔහු සරල හා හෘදයංගමව සිය චිත්ර ශිල්පී හැකියාවෙන් අපට කළ උපකාර මගේ සිහියට නැගේ. මගේ මහගෙදර බිත්ති අරා සිටින මගේ මියගිය දෙමව්පියන්ගේ පිංතූර ද්වය ඇඳ පරිත්යාග කළේ ද පුෂ්පා විසිනි.
මට මතක විදිහට අපේ 11 බී පංතියේ ඡායා කැබිනෙට්ටුවක් පිහිටුවා තිබුණේ එකළ රටේ තිබුණු අතිෂය දේශපාලන උනන්දුව පංති කාමරයටත් කා වැදී තිබුණ නිසා විය හැකිය. ඒ ඡායා කැබිනෙට්ටුවේ සංස්කෘතික ඇමතිවරයා වූයේ පුෂ්පා ය. මට මතක විදිහට මට ලැබී තිබුණේ ප්රවෘත්ති අමාත්ය ධුරයයි. කෙඩෙටිං කළ පිට්ටාට ආරක්ෂක ඇමති ධුරයත්, පාසලේ සෞඛ්යදාන ව්යාපාරයේ නායකයා වූ මාභරනට සෞඛ්ය අමාත්ය ධුරයත්, යාපාට ළමාරක්ෂක ධුරයත්, පංතියේ මොනිටර් වූ ජයසුන්දරට ජනාධිපති ධුරයත් ලැබී තිබුණි. ඒ පිළිබඳ මගේ මතකය මෙපණකට සීමා වෙයි. ඒ ධුර බෙදීමේ විද්යාත්මක පදනම මේ ආණ්ඩුව මෙන්ම පරණ ආණ්ඩු ද අනුගමනය කළා නම් රටට මෙවන් විපතක් සිදු නොවනු ඇත.
පුෂ්පාගේ 'සෙවනැලි' ඒක පුද්ගල චිත්ර ප්රදර්ශනය අප ගොනුව අතරින් එවැනි මහා දෙයක් පිටත සමාජයේ සිදුවූ පළමු අවස්ථාව බව මගේ හැඟීමය. ඔහු නිමකළ ජීවරූප හා අනෙකුත් සිතුවම් සියයක් පමණ එහි ප්රදර්ශනය කෙරිණි. ඒ දක්වාත් එතැන් සිටත් ඔහු විවිධ ජීවරූප හා අනෙකුත් සිතුවම් දහස් ගණනක් ඇන්දේය. කොම්පියුටර් නොමැති එසමයේ පුෂ්පා අතින් ඇඳි අකුරු දේශපාලන පෝස්ටර්, චිත්රපටි නාමාවාලි ආදී මෙකී නොකී බොහෝ අවශ්යතා වෙනුවෙන් නිර්මාණය විය. ඒ දීර්ඝ සතතාභ්යාෂික ගමන්මගේ කූට ප්රාප්තිය ෆොන්ට් මාස්ටර් පරිඝනක අක්ෂර යයි සිතමි. අද පුෂ්පා නිමකළ අකුරකින් තොරව සිංහල ජන සමාජය කිසිවක් නොකියවන තරම්ය. ඒ මහා සොයාගැනීමට ඔහුට බුහුමන් ලැබිණ. 'යකඩ මිනිසා' යයි නම් කෙරිණි. වංශකතාකරුවන් අනාගතයේ දිනයක අතීතය ගැන ලියන දාක සිංහල අක්ෂරයට පුෂ්පා විසින් විසිවන හා විසිඑක්වන ශත වර්ෂවල කළ මෙහෙවර පිළිබඳව නොඅනුමානවම සටහන් තබනු ඇත.
එවන් මහා මිනිසෙකු සමඟ අප හැදී වැඩුනු බව සිහි කිරීම ම අප ලැබූ භාග්යයක් නොවන්නේද?
පුෂ්පානන්ද ඒකනායක නම් ඒ යකඩ මිනිසාට, අතීත දම්රද වැසියාට සුබ අනාගතයක් හා සුබ උපන් දිනයක් වේවා.
-චන්ද්රරත්න බණ්ඩාර
