Friday, 24 October 2025

මතක මාවතක් දිගේ....






 

දිවයිනේ තුනෙන් දෙකක් පමණ බිම් ප්‍රදේශයක පැතිර පවත්නා මහවැලි කලාපවල ඇවිදින්නට මම හැකියාව ලැබුණේ මහවැලියට සම්බන්ධව රැකියාව කළහෙයිනි. මහවැලි සී කලාපයට යන ගමන්වලදී මහනුවර හරහා යන විට තෙල්දෙණිය පසුකර මහියංගනයට යන තෙක්ම පිරිසිදු රසවත් අහර වේලක රස බැලීමට අද මෙන් බොජුන්හල් නොතිබුණි. දහ අට වංගුවෙන් උඩ පහළ ගිය අප කොයි කාටත් කුසගින්න නිවූ සරල බොජුන්හල 'වංගු දෙකේ' රොටී කඩේය. පැය 24ම විවෘතව තිබුණු එහි නිරන්තරව පාරිභෝගිකයන්ගෙන් පිරී තිබිණ. එවේලේම පුච්චා දෙන රොටී සහ කොච්චි සම්බලය එය වැළඳූ කාටත් මතක ඇති. අප මෙවරද ඒ මතකය ඔස්සේ නකල්ස් කඳු නිම්නය නරඹමින් උදෑසන ආහාරය සඳහා නුවර සිට එහි ගියා.

දිවයිනේ තුනෙන් දෙකක් පමණ බිම් පෙදෙසක පැතිර පවත්නා මහවැලි ප්‍රදේශවල ඇවිදින්නට මට හැකියාව ලැබුණේ එහි රැකියාව කළ හෙයිනි. කඩිනම් මහවැලිය ආස්‍රිත කටයුතුවල නියළුණු පිරිස් දිවා රාත්‍රි වෙනසක් නැතිව මහියංගන නුවර පාර ඔස්සේ මහවැලි බී හා සී කලාපවලට ආවා ගියා. ඒ යන අතරතුර කුසගින්න තෘප්තිමත්ව නිවාගත් තැනක් 'වංගු දෙකේ රොටී කඩේ".
එහෙත් එම රොටී කඩයට අද ඇත්තේ එයට අයත් අතීත ශ්‍රී විභූතියේ නටබුන් පමණයි. දවස් කිහිපයකට පෙරාතුව අප එහි යන විට කඩ මිදුලේ නවතා තිබුණේ අපේ වාහනය පමණයි.
අදත් මීට දශක තුනකට පෙර තිබූ රසය,කෑම බීමවල ඒ හැටියෙන්ම තිබුණා. ලුණු මිරිස ඒ හැටියටම රහයි.
මේ වන විට කඩයේ සමාරම්භකයින් සියල්ල මියගිහින්. කඩයේ සරුසාර බව වියැකී ඇත්තේ සියයකට ආසන්න කෑම කඩ තෙල්දෙණිය සිට මහියංගණය දක්වා ඉදිවී ඇති නිසා විය හැකියි.

මෙම රොටී කඩය මගේ ජීවිතයේ මතක මංසලක්.

පාලමක් ඉදිවූ විට ඔරු පාරු හා ඒවායේ පැවැත්ම හා බැඳුණු සංස්කෘතියද මිය යාම වළක්වන්න අමාරුයි.

Thursday, 23 October 2025

ආචාර්ය කුමාරි ජයවර්ධන මෙවරද මුණගැසුනෙමි.



 

දින කිහිපයකට පෙරාතුව (ඔක් 20) කෘතගුණයක් සැලකීමේ අරමුණින් ආචාර්ය කුමාරි ජයවර්ධන මුණගැහෙන්න ගියා. මගේ 'ප්රේමානිශංස' නවකතාව ලිවීමට ඈ ලියූ 'සොක්කන් ලොක්කන් වූ වගයි' (Nobodies to somebodies) ශාස්ත්රීය ග්රන්ථය මට නොවක් උපකාරයක් වුණා.
තනි ගැහැණියක් ලෙස එවන් කෘතියක් ලිවීමට කුමාරිට තිබූ ධෛර්්යය සුළුපටු එකක් විය නොහැකියි. අප මහාක්ෂ චරිත ලෙස එතෙක් දැක තිබුණේ ධන බලයෙන් හා දේශපාලන බලයෙන් ඔපවත්වූ කිසියම් පිරිසක්. ඔවුන් අයිස්බර්ගයේ උඩ කොටස පමණයි. ඒ උඩ කොටස රඳා පවත්නා අයිස්බර්ගයේ යට කොටස ගැන තාර්කික සත්ය කතාව 'සොක්කන් ලොක්කන් වූ වගයි' කෘතියෙන් හෙළිදරව් කෙරුණා. ශාස්ත්රීය සීමා මායිම් නොබිඳිමින් එකල සමාජ ආර්ථික දේහය සකස්වූ කුලමල හා වෙනත් යටපත්ව තිබූ ක්රියාකාරී සාධක ඇය හෙළිකළා. ඒ අතින් ගත්කළ අපේ දේශපාලන සාහිත්යයේ බිහිවුණු නිර්භීතම හා කෘතහස්තම කෘතිය එයයි. එම කෘතිය අතට පත් වේලේ මා 'ප්රේමානිශංස' නවකතාවට අදාළව එතෙක් කරමින් සිටි ගවේශණයන්ට ලැබුණු ආලෝකය අපමණයි. ඒ සියල්ලේ ශක්තියෙන් ලියවුනු 'ප්රේමානිශංස' නවකතාවට ස්වර්ණ පුස්තක/විද්යෝදය/ ගොඩගේ සම්මාන ත්රිත්වයම ලැබුණා. මා 2022 අවුරුද්දේත් නිර්මාල් සමඟ ගොස් 'ප්රේමානිශංස' කුමාරිට පිළිගන්වා ඉහත සියල්ල ඇයට පවසා සිටියා.
ඊයේ මා කුමාරි හමුවට ගියේ ඇයට මගේ අලුත්ම නවකතාව 'පියාසර සමය' පිළිගැන්වීමට. එම කෘතිය මවිසින් පිළිගන්වා ඇත්තේ ඇගේ ශ්රී නාමයට.
''සොක්කන් ලොක්කන් වූ වගයි"
පමණක් වුව සෑහේ
පිදුමට මෙගත
ආචාර්ය කුමාරි ජයවර්ධනට'
ඈ එදා දුටුවාට වඩා නිරෝගී ප්රසන්න හැඟීමෙන් අපව පිළිගත්තා. ඇගේ සෞඛ්ය ඇතුළු කුදුමහත් කටයුතු කැපවීමෙන් යුතුව සිදුකරන අප මිත්ර විද්යා අභය එදාත් මේ හමුව සංවිධානයට උදව් කළා. 'කම්කරු ව්යාපාරයේ නැඟීම' ඇතුළු කුමාරිගේ ඉතාම වැදගත් පොත් දැන් මුද්රණයේ නැහැ. ඒවා යළි ප්රකාශයට පත්කිරීමේ වැඩපිළිවෙලක් දියත්කර තිබෙන බව විද්යා අපට පැවසුවා.
ආචාර්ය කුමාරි ජයවර්ධන යනු ඈත-මෑත කාලීන ඉතිහාසයේ බිහිවූ ශ්රේෂ්ඨතම කාන්තාවක්. ඇය ඔහුගේ ශ්රේෂ්ඨ පියා වන ඒ.පී.ද. සොයිසා විද්වතා නැවතූ තැනින් ඉදිරියට ගිය දියණියක්.