Sunday, 29 June 2025

විශ්ණු වාසු ගැන මගේ සත දෙක...



මගේ නිර්මාණ ජීවිතයේ සමාරම්භක මිතුරෙක් වන විශ්ණු වාසුගේ Made in India කෘතිය දොරට වැඩීමේ අපූරු (පෙර නොවූ විරූ) උත්සවයේ විශේෂ අවස්ථා දුරු රටක සිට සමාජ මාධ්ය අවකාශය ඔස්සේ නැරඹීමි. එයට සහභාගි වූවන්ගෙන් ඒ ගැන වැඩිමනත් තොරතුරු ද දැනගතිමි.
විශ්ණු කිසිවෙකුට අභියෝග කළ නොහැකි බ්රෑන්ඩ් එකක් බවට පත්වෙමින් තිබේ. ඒ සදහා ඔහු තනාගෙන ඇති ඔහුටම අනන්ය අවකාශය දෙස විශ්මිතව බලා සිටිනවා හැර අපට එයට අභියෝග කළ නොහැකිය. වයසින් මුහුකුරා යාමේදී ඔහු දේවල් දෙස බලන ආකාරය 'අත්හැරීමේ මූලධර්මය" මත පදනම්ව ඇතැයි මට සිතේ. එය එසේ යැයි ඔහු සමාජය ඉදිරියේ විවෘතව පවසන ආකාරය වැඩිහිටි අධ්යාපනයට එක්කරන්නේ නව මානයකි.
'සිම්පල් සයිමන්" 'සාරි අඳින පිරිමි' 'Made in India' කෘති ත්රිත්වය මෙරට සමාජය වැළඳගත් ආකාරය අපේ රටේ තවමත් සහකම්පන ගුණය සජීවී බව පෙන්වන මාහැඟි උදාහරණයෝය. අප සතු නිර්මාණ ශක්තිය වැය කරන්නට හිතෙන්නේ එවැනි නොමැරුණු සමාජයකටය. ස්ත්රී පුරුෂ සමාජභාවී ගැටළුව අවධානය යොමුකරමින් ඒ ගැන නිර්භයව අදහස් පළකළ/කරන පළමු සාහිත්යවේදියා බවට විෂ්ණු වාසු පත්වෙයි. ඒ පිළිබඳ සමාජයේ සාදර පිළිගැන්ම තවත් එවැනි සාහිත්යකරණයකට අවතීර්ණ වීමකට සිතමින් සිටින ලේඛකයින් දිරිගන්වයි.
විෂ්ණු වාසුට තම විද්යාලයේ (මහනුවර කිංග්ස්වුඩි විද්යාලය) ආදි කතෘ දිනයදා ප්රධාන ආරාධිතයා වෙමින් ප්රධාන දේශනය පැවැත්වීමට ලද ආරාධනය කවදා හෝ ඔහුට නොබෙල් ත්යාගය ලැබුණහොත් ඊට පමණක් දෙවෙනි වන්නෙකැයි මට සිතේ
එහිම සහෝදර පාසල වන මගේ පාසලේ විෂ්ණු වාසු ආදි ශිෂ්යයෙකු වී නම් ඔහුට කවදාවත් එවැනි අවස්ථාවක් නොලැබෙන බව මගේ හැඟීමය. බාහිරින් ලැබෙන මේ ප්රශංසාව කිංස්වුඩ් විද්යාලය විසින් අත්පත් කරගන්නේ එය පිහිටවූ නැකත හොඳ නිසා නොව එකී පාසල් ප්රජාව,නවීකාරක ගුණයෙන් පොහොසත් නිසාය.
මම, චූලාභය, කපිල එම්. ගමගේ හා විෂ්නු වාසු සාහිත්යට පිවිසීමේ නිල සටහන තබන්නේ 'අසික්කිතයාගේ සිහිනය' කුඩා කෘතිය නිර්මාණය කිරීමත් සමඟය. අප සිව්දෙනා පාසල් තුනකය. අපට අපගේම ඊට පෙර වූ සාහිත්ය භාවිතයන් තිබිණි. එහෙත් නගර මධ්යයේ තැනෙක නිතර අප හමුවී ඇසුරු කිරීම හරහා ඉස්මත්තට පැමිණි 'නිරායාස කිසියම් දෙයක්' අපව ඒ අනාගතවාදී කටයුත්ත සඳහා මෙහෙයවීය. එය අපට නිල සාහිත්ය ජීවිතය පටන් ගත් තැන පෙන්වා දෙන 'මුදුන් මුලකි'.
දැන් දැන් විෂ්ණු වාසු followers වීමට තැත් දරණ වැඩිහිටියන් ඇතැයි සිතමි. මා එසේ සිතන්නේ මටද එසේ වීමට සිතෙන බැවිනි. එහෙත් ජෛන ශාස්තෘන් උපතින් බිහිවන්නාසේ අතර මැදදී මට එය කළ නොහැකිය. කොටින්ම වෙනත් ආකාරයක ජීවත්වීමක් තබා මරණයවත් අභිමත පරිදි තෝරාගත නොහැකි යදම්වලින් අප බැඳී ඇති හෙයිනි. විෂ්ණු වාසු ගතකරන්නේ අපට ඊර්ෂ්යා හිතෙන තරම් ලස්සන ජීවිතයකි.
විෂ්ණු වාසු ලියන්නට පටන් ගන්න තිබුණේ මීට බොහෝ පෙරය. එසේ වූවානම් හැඟීම් ප්රකාශනයේ විවෘත භාවයක් හා ජීවිතයේ අඳුරු පෙදෙස් දෙස සාහිත්ය ඇස යොමුවන වර්ණවත් සිංහල සාහිත්යයක් සඳහා එය බලපෑමක් කරනු නිසැක.

Sunday, 1 June 2025

පමා වූ සටහනක්....

 




අත්තනායක සර්ගේ අභාවය මට දනවන්නේ වෙසෙස් ශෝකයකි. ඔහු පිළිබඳ හොඳ නරක මිශ්ර ඇගයීම දකිමින්ම මම ඔහු කෙරේ වු නොනැසෙන ලෙන්ගතුකම ප්රකාශ කරමි. එතුමන් අසූ ගනන් මැද භාගයේ මගේ බිඳ වැටුණු උසස් අධ්යාපනය යළි නගාසිටුවා ගැනීමට මහත්සේ උපකාර කළ තැනැත්තෙකි. එමගින් එහි ප්රමාණවත් ඉමක් කරා යාමට මට හැකි විය. අසූ ගනන් අගභාගයේ මගේම ප්රකාශන ආයතනයක් 'පිනිදිය ප්රකාශන' ලෙස ආරම්භ කළ අවස්ථාවේ එතුමා බාහිර උපාධියට අදාළ විෂය පොතක් ලියා දී මගේ නව ප්රයත්නයට දිරිය ලබා දිණි. එය තම පංතිවල විකුණා දුන්නා පමණක් නොව කතෘභාගය ලබා ගැනීමද ප්රතික්ෂේප කළේය.
ඔහු මගේ නිර්මාණ අගය කළේ මා ඇති තැන්වල පමණක් නොව නැතිතැන්වලද එයම කළේය. මගේ සාහිත්ය ජීවිතයේ සමාරම්භක අවධියේ ඒ දිරි දීම ක්ෂේත්රයේ රැඳී සිටීමට හේතු වූවා යැයි සිතමි. ඔහු නූතන සාහිත්ය සම්බන්ධව විචාරකයෙකුට වඩා දිරිදෙන්නෙකු හා ප්රවර්ධකයෙකු ලෙස සැලකීමට මම වඩා කැමැත්තෙමි. එහෙත් පැරණි සාහිත්ය සම්බන්ධව නම් ඔහුගේම විචාර ශෛලියක් තිබූ අතර එය ඔහුට ජනප්රසාදය කැඳවීය.
අපේ නිර්මාණ ජීවිතයේ ආරම්භක පදනම් භූමිය අපේ පාසල හා මහනුවර නගරයයි. එහි පැවති සම්මන්ත්රණ ආදියට දුහුනු අපට සහය වෙමින් එතුමා කළ මෙහෙවර ඒ කාලයේ ඒවායේ නියළුනු කිසිකෙුට අමතක වේ යැයි නොසිතමි. අත්තනායක සර් සේම ඔහුගේ සමකාලිනිකයෙකු වූ මහාචාර්ය විමල් එස් රන්කඩුව මහතාද එයාකාර උදව් උපකාර අප සාමූහිකය වෙනුවෙන් ඉටු කළේය.
එතුමාගේ ජනප්රියත්වය පදනම් කරගෙන අවශ්ය නම් ඔහුට දේශපාලනයටද ඇතුලු විය හැකිව තිබුණි. එසේ ඇතුලුවී අමාත්ය තනතුරක් දක්වා පවා දුර යා හැකියාවක් තිබුණි. එවැනි ආරාධනාවක්ද ලැබී තිබුණි. එහෙත් ඔහුට එලෙස දේශපාලන තනතුරු හඹා යාමට අවශ්ය නොවීය.
කවර සීමාවන් තිබුණත් අත්තනායක සර් මිය යන්නේ ක්ෂේත්ර කිහිපයකම මුද්රාමය නාමයක් වෙමිනි. ඔහුට ගරහන්නන්ට වඩා ඔහුව අගයන්නෝ බොහෝය. කැනඩාවේ සිංහල සංගමය විසින් පවත්වන 'බසක වරුණ' වැඩ සටහනට ප්රධාන දේශකයා වෙමින් පැමිණ කළ දේශනයට රොද බැඳි ජනතාව කියා පෑවේ ඔහුගේ ජනප්රියත්වයයි.
විසි තිස් වසකට පසුවත් ඔහු මා කෙරේ පෑ මිත්රශීලි විලාසය හා පැරණි මතක ඇවිස්සීම මා බෙහෙවින් හැඟීම් බර කළ බව මතකය.
ඔබතුමන්ට සුබ ගමන්!