සිරිනිමල් ලක්දුසිංහ සර්ගෙ 'ෂඩ් දශකයක මෙහෙවර' උළෙල අද (මැයි 28) මහවැලි කේන්ද්‍රයේදී පැවැත්වෙනවා. එතුමා ප්‍රකට පුරා විද්‍යාඥයෙක්, සාහිත්‍යවේදියෙක්, ගුරුවරයෙක්, වාම දේශපාලනයේ යෙදුණු ක්‍රියාධරයෙක් සමග ඉතාම යහපත් මනුස්සයෙක්. ඔහු මගේ ගුරුවරයෙක් වගේම අකාලික මිතුරෙක්. මට එතුමා උගන්වා තිබෙන්නේ පුරාවිද්‍යාවට අදාළව කලා ඉතිහාසය විෂය ධාරාව. එතුමාටම ආවේණික ඉගැන්වීමේ ශෛලියයක් හිමි බවත් එමගින් අප විපුල පල ලද බවත් කිව යුතුයි. වරක් ශ්‍රී ලාංකික ප්‍රතිමා කලාව හා බුදුපිළිමය ගැන එතුමා අපට ඉගැන්වූ ආකාරය තවමත් මට මතකයි. 'ඇසේ මතුවන කඳුළු බිඳු ගෙන' ගීතය ආස්‍රය කර ගනිමින් අව්කන පිළිමයේ ප්‍රතිමා ලක්ෂණ විස්තර කළේ රඟපාමින්. අවුරුදු තිස්පහකට එහා ඒ සිදුවීම මම අදටත් සමහර මාධ්‍ය හා ප්‍රජා වැඩසටහන්වලදී සඳහන් කරනවා.
ලංකාවේ පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ ප්‍රමාණිකයන් අතර එකී විෂයයෙන් බැහැරව අනෙකුත් ක්ෂේත්‍රයන් පිළිබඳ ප්‍රමාණිකයන් පමණක් නොව නියැලෙන්නන් හෝ ආස්‍රිතයන් පවා විරලය. එහෙත් ලක්දුසිංහ සර් හැඳින්විය හැක්කේ ඒ විරලයන් අතර කෙනෙකු ලෙසය. පුරාවිද්‍යාව මහජන විෂයයක් බවට පත් කිරීමට ලක්දුසිංහ සර් පුරාවිද්‍යාඥයෙකු ලෙසත්, විශේෂයෙන් කෞතුකාගාර අධ්‍යක්ෂවරයා ලෙසත් පුරාවිද්‍යා පශ්චාත් අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙසත් කළ මෙහෙවර වෙසෙසිය.
ලංකාවේ අතීත යුගයේ පාසල් අධ්‍යාපනය යාපනයේ හින්දු විද්‍යාලය, ශාන්ත පැට්‍රික් විද්‍යාලය ආදියෙන් ලැබූ සිංහල සිසුන් සිටියේය. මෛත්‍රීපාල සේනානායක, කේ.බී. රත්නායක වැනි උදවිය එසේ අධ්‍යාපනය ලැබූවෝ වෙති.
ඊට පසු පරම්පරාවට අයත් ලක්දුසිංහ සර්ද කිසියම් කාලයක් යාපනයේ අධයාපනය ලබා ඇති බවක් මා අසා ඇත.
මට එතුමා මුණගැසෙන්නේ 90 දශකයේ මුල්භාගයේය. එතුමාගේ ශිෂ්‍යයෙකු වීමට පෙර මාධ්‍යවේදියෙකු ලෙස කිහිපවතාවක් මුණගැසී ඇති බව මගේ මතකයයි.
2022 වසරේ මවෙත 'සාහිත්‍ය ත්‍යාගයන්' ලැබුණු අවස්ථාවේ එතුමා වේයන්ගොඩ සිට දුම්රියෙන් පැමිණ සිටියේ සිය දියණියට රහසින් බව මවෙත පැවසීය. අසනීප තත්වයෙන් පෙළුනු ඔහුගේ එකී පැමිණීම මහත් සංවේදී සිදුවීමක් ලෙස මගේ මතකයේ නිදන්ගතව ඇත.
අපට සමීපතමයින් සිටියාට ලෙන්ගතු සමීපතමයින් විරලය. ලක්දුසිංහ සර් වනාහි මට එවැන්නකි.
මේ අගනා විද්වතාගේ මෙහෙවර ඇගයීම සඳහා පෙරමුණ ගැනීම පිළිබඳව ජනක ඉනිමංකඩයන්ටත්, විදර්ශන ප්‍රකාශන ආයතනයටත් ස්තුතිවන්ත වෙමි.