මගේ facebook සටහන
ගණනාත ඔබේසේකරයන් නික්ම ගියේ මානව වංශ විද්‍යාඥයෙකු ලෙස සිය ජීවිතයේ අවසන් මොහොත දක්වාම සිය යුතුකම් කොටස ඉටුකළ ඔහුගේ යුගයේ විශිෂ්ට බුද්ධිමතා ලෙසය. ඔහු පිටුපසින් මේ නික්ම යන්නේද එවැනි කැපවීම් සහගත එවන් මහා පරිමාණ බුද්ධිමය බලාපොරොත්තු තිබුණු තරුණ බුද්ධිමතෙකි.
ආචාර්ය හර්ෂණ රඹුක්වැල්ලගේ හදිසි අභාවය දරාගැනීමට සෑහෙන වෙහෙසක් දරණ අතරතුර මෙම සටහන ලියන්නේ එයද මගේ වේදනාවට සහනයක් වේ යැයි සිතමිනි.
හර්ෂණගෙන් මා ලැබූ මහඟු උපකාර එවැනි උසස් කාර්ය බහුල ජාත්‍යන්තර ගනයේ බුද්ධිමතෙකුගෙන් ලැබිය නොහැකි දේවල්ය. මගේ ප්‍රේමානිශංස නවකතාව ඉංග්‍රීසියට පරිවර්තනය කරවන ලෙස උපදෙස් දුන්නේ ඔහුය. ඒ සඳහා අවශ්‍ය පරිවර්තකයා හා සංස්කාරකවරිය නිර්දේශ කළේ හා ඔවුන් සම්බන්ධීකරණය කළේ ඔහුය. ප්‍රතිපාදන සඳහා අවශ්‍ය කටයුතු සම්බන්ධීකරණ කටයුතු කළේ ඔහුය. ඔහුට ශ්‍යාම් සෙල්වදොරේට තිබුණු මිත්‍රත්වය හරහා අදාළ මේ කටයුතු ආරම්භ කළ හැකිවිය.
අවසන් වරට පසුගිය සිකුරාදා මා අමතමින් තවදුරටත් මේ පිළිබඳව සාකච්ඡා කළේය.
දේශියව හා ජාත්‍යන්තරව බොහෝ කටයුතුවල නියළුණු, විදේශිය විශ්වවිද්‍යාලයක කාර්ය බහුල වූ ඔහු තම දරු පවුලේ හා රෝගී මවගේ කටයුතු ද ඉටුකරමින් , ඔහුගේ නොවන අන් අයෙකුගේ කෘතියක් වෙනුවෙන් හර්ෂණගේ කැපවීම ඔහුගේ හදවතේ විසල් බව කියාපාන්නකි. එය මා මගේ ජිවිත කාලයේ මා ලැබූ හිතාගන්නට බැරි තරම් පරිත්‍යාගයකි.
ඔහු පරමාදර්ශී බුද්ධිමතෙකු වීමට වරම් ලැබූ විශිෂ්ටයෙකි.
දෙරටක කාල පරතරය නිසා මට අවේලාවේ දුරකතනයෙන් අමතන ඔහුගේ සුපුරුදු ඇමතුම 'අයියේ නිදිද? කතාකරන්න පුළුවන් වෙලාවක්ද?'
අසන්නට මල්ලී කෙනෙකු දැන් මට නැත.
අද හරිම මන්දාරම් දවසක්..මේ ශෝකී පරිසරය හර්ෂණ වෙනුවෙන් විය හැකිය.