Thursday, 19 September 2024

21 සාමූහික ශක්තියෙන් පැරණි යුගය නිමා කෙරෙනු ඇත.


 



දූෂණයෙන් කිලිටි බවින් පිරුණු වැඩවසම් බවේ නෂ්ටාවශේෂ දැනුවත්ව නඩත්තු කෙරුණු සමාජ ක්‍රමයක් සහිත පැරණි යුගය නිමාවීමේ ආරම්භය සැප්තැම්බර් 21 වනදා සනිටුහන් කෙරෙණු ඇතැයි සිතමි. එය එසේ නොවුණොත් මේ සටහන ඒ උදාර බලාපොරොත්තුවේ සටහනක් වනු ඇත. ආර්.ප්‍රේමදාස හා මෛත්‍රීපාල සිරිසේන යන නිර්ධන සම්භවයක් සහිත දෙදෙනා අනුර කුමාර දිසානායක හා සම්භවයන් අතින් සමාන වුවත් මුල් දෙදෙනාගේ මට්ටමට ඔහු පුද්ගලිකව පිරිනොහෙලෙන බව සහතිකය. ඒ දර්ශනයක හා ව්‍යාපාරයක සාමූහික ප්‍රාර්ථනා ඔහුට නියෝජනය කරන්නට සිදුවීම නිසාය. ඒ සාමුහිකත්වය අහෝසි වූ විට අනුර කුමාර යන නාමයට පැවැත්මක් ඇත්තේ නැත. ඔහුගේ දීර්ඝ කැපවීම් සහගත දේශපාලන ජීවිතය සමීපව හදාරණ කෙනෙකුට ඔහුව විශ්වාෂ කරන්නට ඕනෑ තරම් සාක්ෂි ඇත. සජිත් පිලෙන් හා රනිල් පිලෙන් ඔහුගේ ඇදක්, වරදක් හොයන්නට කලක් තිස්සේ කණ්ඩායම් ෙයාදවා හිටියත් සොයාගත හැකි වූයේ ඔහුගේ මුහුණේ ලපය හා ඔහුගේ විවාහය ආස්‍රිත පට්ටපල් බොරුවක් පමණය. ඒ කාරණා දෙක මත්තේ හැපීමම අනෙක් ප්‍රධාන පාර්ශ්ව දෙකෙහි ඇති අමනුස්ස ස්වභාවය පෙන්නුම් කරයි.

මෙම ජනාධිපතිවරණයේදී තවත් වාමාංශිකයන් දෙදෙනෙකු තරඟ කරයි. ඒ පෙරටුගාමී පක්ෂය හා සමාජවාදී සමානතා පක්ෂයෙනි. ඒ තරම් දෘඩ වාමාංශික බවක් රටට ඔරොත්තු නොදෙන බව මගේ හැඟීමයි. එහෙයින් ඒ ගැන මගේ වදවීමක් නැත. මා වදවන්නේ අනුර සහෝදරයාට ලැබෙන මැන්ඩේට් එක ක්‍රියාත්මක කිරීමට පෙරටුගාමීන් විසින් බාධා කෙරේද යන්නයි. සසප මගින් නම් ඒ හැටි ගනන් ගත යුතු බාධාවක් එල්ල වේ යයි සිතිය නොහැකිය.
මගේ දේශපාලන ඉතිහාසය මේ වන විට වසර හතළිහ ඉක්මවා තිබේ. එමගින් ලෝකය විවරණය කරගැනීමේ මානයක් සකස් කරගැනීමට හැකියාවක් ලැබීම නිසා ඒ අතීතය දෙස මට කෘතගුණයෙන් බැලිය හැකිය. එහෙත් බලය ලබා ගැනීම යන කාරණයේදී 1964 සභාග දේශපාලනයට යොමුවීමෙන් ඔවුන් කරන ලද වැරැද්ද ඉතාම නිර්ලජ්ජී ලෙස මේ මොහොතේ ක්‍රියාවට යොදවන්නේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය හා වාසුදේව නානායක්කාරයි. මහින්ද රාජපක්ෂ වෙත ඔවුන්ගේ සහාය 1964 ඔවුන්ගේ තර්කනය හරහා වටහා ගතහැකිය. එහෙත් දිලිත් ජයවීර වැනි ප්‍රකට ලෙස ගෝටාභයගේ බලය අවභාවිතා කරමින් කටයුතු කළ පුද්ගලයෙකු තම නායකයා ලෙස තෝරා ගැනීම සිය සමස්ත අතීතයම කුණුගොඩට ඇද දැමීමකි. තමන්ගේම සරමින් මුහුණ වසා ගැනීමකි.

ජාතික ජන බලවේගයට සමීපව සය වසරක් පමණ තිස්සේ කටයුතු කිරීම නිසා අපට අපගේම දේශපාලන අතීතය දෙස තර්කානුකූලව බැලීමට හැකියාවක් ලැබිණි. එමෙන්ම අදූෂිත බව හා අවංකකම, කැපවීම දේශපාලනයට කෙතරම් අවශ්‍යද යන්න වටහා ගත හැකිවිය.
අතීතයේ දෘඩ දේශපාලනයෙන් වෙන්වී සමාජ ප්‍රජාතන්ත්‍රවාදයක් කරා ජාතික ජන බලවේගය පැමිණිීම අප බලාපොරොත්තු වූ ගමනයි.
2003 පමණ දිනයක මාධ්‍යවේදී රවි චන්ද්‍රලාල් සහ මම අපට එක්විය හැකි ලෙස ජනතා විමුක්ති පෙරමුණ සකස් කරගන්න බැරිදැයි සුනිල් හඳුන්නෙත්තිගෙන් අසා සිටි බවක් මට මතකය. මට හිතෙන්නේ අප දෙදෙනා බලාපොරොත්තු වූ ඒ ව්‍යාපාරය දැන් බිහිව ඇති බවයි.
අනුර දිසානායක අනුහස් සහිත නායකයෙකැයි මම සිතමි. ඒ බව මම මීට හත් අට වසරකට පෙර 'රාවයට' හෝ 'අනිද්දා' පත්‍රයට ලිවීමි. සැබැවින්ම සොබා දහමේ ආශිර්වාදය ලත් මිනිසෙකු ලෙස ඔහු හඳුනා ගත හැකිය. ඇතැම් විට එවැනි ආශිර්වාදයක් ලබන පළමු දේශපාලන නායකයාද ඔහු විය හැකිය. තඹුත්තේගම දුගී ගොවි පවුලක සිට අධ්‍යාපනය හා දේශපාලනය හරහා රටේ නායකත්වය දක්වා අනුර කුමාර දිසානායක පැමිණි ගමන ගැන සතුටු විය නොහැකි වාමාංශිකයෙකු වේ නම්  එය අප විග්‍රහ කරගන්නේ කෙසේද?
ගෙවී ගිය ජීවිතය මුළුල්ලේ අපගේ ජීවන ගැටලු වලින් අප පීඩාවට පත්වීමු. ඊට අමතරව දේශපාලන සවිඥානකත්වයක් සහිත පිරිසක් වශයෙන් රට අවකල් ක්‍රියාවට ගොදුරු වන සැටි දැක කනස්සල්ලට පත්වීමු. දැන් අපට බලාපොරොත්තුවක් ඇත. ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරන්නට වෙර දරණ නායකයෙක් හා ඔහු වටා ඒ සඳහා වෙහෙසෙන සාමූහිකයක් ඇත. සෑම උසස් බලාපොරොත්තුවක්ම බලාපොරොත්තු වූ ආකාරයටම ඉෂ්ට නොවිය හැකිය. එහෙත් ඒ සඳහා උත්සාහ දරණ ආකාරයවත් අපට සැනසීම උදාකරනු ඇත.
-චන්ද්‍රරත්න බණ්ඩාර