Wednesday 24 July 2024

මියගියත් ජීවත්වෙන මිනිහෙක්.-ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සහෝදරයා (1943-2024)


 


අපට 'බාහු" වූ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සහෝදරයා මේ දේශපාලන සමාජය සදාකාලිකව අතහැර ගොසිනි. මම සමසමාජ දේශපාලනයේ උපසම්පදා වූයේ ලංකා සමසමාජ පක්ෂයෙන් වුවත්, ඒ සඳහා මා පෙළඹ වූ පළමු ලේඛනය 'වාම සමසමාජය" නම් වූ ටැබිලොයිඩ් පුවත්පත මිළ දී ගත්තේ එවකට පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු වූ බාහු සහෝදරයා අතිනි. තැන මහනුවර බේක්හවුස් හෝටලයේ රන්වැට අද්දරය. ඔහු සමග මේ පැත්තේ සුමනසිරි ලියනගේ, පදික වෙළෙන්දෙකු වූ සෝමපාල සහෝදරයා (කොට සෝමේ) වැනි කිහිප දෙනෙකු එම පත්තරය විකුණම්න් සිටියෝය. පාරෙන් අනෙක් පැත්තේ ඩෙවෝන් හෝටලය පැත්තේ ආචාර්ය නලින් ද සිල්වා ද එම පත්තරයම විකුණමින් සිටියේය. එදා මගේ වයස දහහතරකි. 

නොගැලපීම්, නුරුස්නාකම් කවරක් තිබුණත් ඔහු අවංක මිනිසෙකු  ලෙසත්, එකම කඳවුරේ මිනිසෙකු ලෙසත් , අසාමාන්‍ය උගතෙකු හා බුද්ධිමතෙකු ලෙසත් ඔහු අද අවසන් ගමන් යන තෙක්ම මගේ බුහුමනට ලක්විය. දෙමළ ඇතුළු සුළු ජාතීන්ගේ අයිතීන් ගැනත් අනෙකුත් සමලිංගිකයින් වැනි සුළුතර ප්‍රජාවන්ගේ අයිතීන් ගැනත් සමාජයට දැනෙන ලෙස පළමුවරට  හඬ නැඟුවේ බාහු සහෝදරයාය. ඒ වෙනුවෙන් ඔහු පුද්ගලිකවම අවමන් වින්දේය. පහර කෑවේය. අවාසි භුක්ති වින්දේය. ඔහු ජාතින් ගැන හා සුළුතර ප්‍රජාවන් ගැන මතුකළ දෙය සමස්ත වාමාංශික කඳවුරම වාගේ පිළිගෙන ඇත.

බුද්ධිමතුන් අතර රජෙකු ලෙස මෙරටත් රටින් පිටතත් ජීවත්ව සිටිය හැකිව තිබූ ඔහු බැරැක්ක වීදියේ තෝසෙ කමින් ප්ලේනටි බොමින් රැය පහන් කළේය. අරගලය කොතනද ආරාධිතව හෝ අනාරාධිතවම එයට සහභාගි විය. සෙනඟ දසදහසටද, විසිපහටද සමාන උද්‍යෝගයකින් ඔවුන් ඇමතීය. දශක හයකට වැඩි කාලයක් ඔහු දැරෑ වෙහෙසේ ප්‍රතිඵල වාම සංස්කෘතියට මුසු වී ඇත. 

වාම දේශපාලනය තුල සිටි කඩවසම්ම මිනිසා ඔහුය.


පුරෝගාමී සහෝදරය ඔබට සුබගමන්...  

Monday 22 July 2024

මට සිහිනයක් තිබේ I have a Dream

 













ලෝකයේ අධිරාජ්‍යවාදයේ නිහීනත්වය තේරුම් ගැනීමට ලංකාව ඉන්දියාව වැනි රටවල් ප්‍රමාණවත් නැත. ඒ සඳහා අප ඔවුන් අප්‍රිකාවට කළ දෙය තේරුම් ගත යුතුය. මිනිසා තමා වෙනුවෙන් සේවයේ යෙදෙන සතුන්ටවත් හිංසා කරන්නේ බැරිම තැනය. එහෙත් සුදු මිනිසා වහල් ක්‍රමය තුල අප්‍රිකානු ජනයාට යට කී තිරිසනුන්ටත් වැඩි හිංසාවන්ට භාජනය කළේය. ඒබ්‍රහම් ලින්කන් වහල් මෙහෙය නිම කිරීමෙන් අවසන් නොවුණු කලු ජාතිකයන්ගේ ගැටළු වෙනුවෙන් පෙනීසිටි ඉහළම මානව හිමිකම් ක්‍රියාධරයා මාටිං ලූතර් කිංග්ය. ඔහු සොයා ගිය ගමනක තතු මෙසේය.Free at Last....Free at last
විසල් බිම්කඩක පැතිරුණු මාටිං ලූතර් කිංග් කෞතුකාගාර පරිශ්‍රය හා ඔහුගේ ජීවිතයේ බොහෝ කටයුතුවලට සම්බන්ධ බිම් කඩෙහි සැරිසරා එතනින් නික්ම යාමට ආසන්නයේ මම රැඳී සිටින්නේ ඔහු සහ ඔහුගේ බිරිඳ Coretta Scott King (1927-2006) මිහිදන් කළ සොහොන අබියසය. නිල්පාටින් ඔප කළ ජලය පිරවූ තඩාගය රැළි නඟයි. සිහින් සංගීතයක් ද පසුබිමේ ශබ්ද විකාෂන යන්ත්‍රානුසාරයෙන් ඇසෙන ඔහුගේම දේශනය. 'අවසානයේ අප නිදහස් " යන්න ඔහුගේම හඬින් අසන්නට ලැබුණි. 

මාටින් ලූතර් කිං ජූනියර් ජාතික ඓතිහාසික උද්‍යානය අක්කර 35ක් (0.14 km2) පමණ ආවරණය වන අතර සිවිල් අයිතිවාසිකම් නායක මාටින් ලූතර් කිං (Jr) ගේ ජීවිතය හා වැඩකටයුතු සම්බන්ධ ජෝර්ජියාවේ ඇට්ලන්ටා හි ස්ථාන කිහිපයක් ඇතුළත් වේ. බැප්ටිස්ට් පල්ලිය - කිංග් බව්තීස්ම වූ පල්ලිය වන අතර ඔහු සහ ඔහුගේ පියා වන මාටින් ලූතර් කිං යන දෙදෙනාම එහි දේවගැතිවරු වූහ

කෞතුකාගාරය සහ උද්යානය ඇට්ලන්ටාහි  'ජාතික වනෝද්යාන සේවය' විසින් පරිපාලනය කරනු ලබන අතර අමුත්තන්ගේ මධ්‍යස්ථානයක් සහ කෞතුකාගාරයකින් සමන්විතය.
මාර්ටින් ලූතර් කිං (Jr) ගේ  ජීවිතය සහ ඇමරිකානු සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයේ නායකයෙකු ලෙස ඔහුගේ උරුමය පිළිබඳ අර්ථ නිරූපණයට තීරනාත්මක මෙම ස්ථාන වැදගත්වේ.

 මාටින් ලූතර් කිංගේ ගමන් මග මෙම කෞතුකාගාරය මගින් මැනවින් විස්තර කරයි. අවිහිංසාවාදී සමාජ විපර්යාසක් සඳහා කිං මධ්‍යස්ථානයට කිංගේ සහ ඔහුගේ බිරිඳ වන වන කොරෙටා ස්කොට් කිංගේ සුසාන භූමිය ඇතුළත් වේ.
"මට සිහිනයක් තිබේ"  යනුවෙන් නම්කෙරුණු සිවිල් අයිතිවාසිකම් දිනාගැනීමේ අරගලයේ පෙළගැස්ම සටහන් කෙරෙන ප්‍රදර්ශනයකි. ජාත්‍යන්තර ලෝක සාම රෝස උද්‍යානය, සහ මොහාන්දාස් කේ. ගාන්ධි වෙත අනුස්මරණ උපහාර සඳහා වෙන්වුණු කොටසක් ද , සමාජීය කටයුතු සඳහා ක්‍රියා කළ නිර්භීත පුරෝගාමීන් සිහිපත් කරන "ජාත්‍යන්තර සිවිල් අයිතිවාසිකම් පාගමන" ද නිරූපිත කොටසක්ද ඇත.

පීඩිත ජන කොටසකගේ 'නිදහස් වීම' පිළිබඳ හැඟුම්බර ප්‍රකාශනයක් වන මෙම කෞතුකාගාරයට පිවිසෙන පරිශ්‍රයේ පිහිටා ඇති වහලාගේ ප්‍රතිමාව අගනා මූර්තිමය නිරෑපනයක් පමණක් නොව ඉන් ඉදිරියට අප නරඹන්නට සැදී පැහැදෙන දෙය ගැන ඉඟියක් ද සපයයි.
මා දිගුවේලාවක් නැවතී සිටි ස්ථාන කිහිපයකි මේ.
1. සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයේ පා ගමන
2.ලූතර් කිං සිරබත් කෑ මැදිරියේ ප්‍රමාණයට තැනූ සිරමැදිරිය. එහි දොරටුව සැබෑ දොරටුවමය.
3. ලූතර් කිංගේ මෘත කලේ බරය රැගෙන ගිය ලී කරත්තය.
4. කිංගේ වෘත්තියට අදාළ පරිහරනය කළ දෑ
5.ලැබූ සම්මාන ආදිය
6 .මහත්මා ගාන්ධි සමග සමබන්ධතාව විදහා දැක්වෙන දෑ
7. ඔහුගේ ජීවිතය හා ක්‍රියාකාරිත්වයට අදාළ සවිස්තරාත්මක ඡායාරෑප හා සටහන්
8. ඔහු පැවැත්වූ දේශන
9. ඔහුගේ දේශපාලන ක්‍රියාකාරිත්වයට අදාළ චිත්‍රපට දර්ශන
10. ඔහුගේ හා බිරිඳගේ භෂ්මාවෂ්ස තැන්පත් කළ අලංකාර සොහොන