Friday, 21 January 2022

චතුර ජයතිලක


මට චන්දරේ නමින් ඇමතූ ලෙන්ගතුම මිනිසුන්ගෙන් කෙනෙකි චතුර. පැරණි,සාපේක්ෂව සහනශීලී යුගය නිමා වී මේ ගිනි කන යුගයේ ආරම්භය දුටුවේ අප දෙදෙනා එකටය. මා එසේ කියන්නේ  77 මැතිවරණ ප්‍රතිඵල ඇසුවේ චතුරත් මාත් අපේ ගෙදර සිට එකට නිසාය. 

චතුරගේ ලොකු අයියා ජීවන් මා සමසමාජ දේශපාලනයට ඇද දැමූ අයගෙන් කෙනෙකි. ඔහු චතුර මෙන්ම අමුතුම මිනිසෙකි. දේශපාලන හේතු නිසා පාසල් ගණනාවකින් දොට්ට වැටුණු ඔහු මට හමු වූයේ අපේ ගම් පළාතේ පිහිටි තලාතුඔය මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ කරමින් සිටියදීය. ඔහු එදවසත් චේන් ස්මෝකර් කෙනෙකි. ඇන්.ඇම්.ලා සමගත් ඔහු කතා කළේ ඉංග්‍රීසියෙනි. පාසල් අවධියේම පක්ෂ නායකයන් සමග වාද කිරීමට තරම් දේශපාලන දැනුමකින් සන්නද්ධ වූවෙක් ඔහු. මගේ පාසල් ජීවිතයේ දුටු බහුශ්‍රැතම පාසල් ශිෂ්‍යයා ජීවන්ය.

චතුරගේ ඊළඟ අයියා ප්‍රගාශ් ද උතුරන්න දක්ෂකම් තිබූ මනා පෞරුෂත්වයක් නඩත්තු කළ කෙසඟ මිනිසෙකි. ඔහු අපේ පාසල වූ ධර්මරාජයට ආවේ මාතලේ විද්‍යා විද්‍යාලයේ සිටය. ඔහු අපේ පාසල වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කළේය. ප්‍රගාශ් මට පළමු වරට පරාක්‍රම කොඩිතුවක්කුගේ කවිපොතක් හා බුද්ධදාස ගලප්පත්තිගේ 'දෙදෙනාම දියණියෝ' කෘතිය ලබා දී ඒවා ගැන කියා දුන්නේය. මට මතක විදිහට මා පළමුව අත පත් නූතන කවි පොත් ඒවා විය යුතුය. ඔහු ලංකාව බිහිකළ විශිෂ්ඨතම ප්‍රචාරක නිර්මාණ වේදියෙක් බව මගේ හැඟීමයි.


ඒ දෙදෙනාම අකල්හි වියෝ විය. 


චතුර හා අප අතර වූයේ නාටකීය සබඳතාවයකි. අප දෙදෙනාම එකට දේශපාලනය ආරම්භ කළෙමු. මට චතුර ගැන හිතෙන්නේ ඔහු 'කොන්සර්වේටිව් වාමාංශිකයෙකු' ලෙසිනි. 1978 දී  සමසමාජ පක්ෂය අතහැර නව සමසමාජ පක්ෂයට යන්නට මට කෙතෙක් ඕනෑකමක් තිබුණත් චතුරගේ විරෝධය නිසා එසේ නොගියෙමි. එසේ නොයාම ගැන අද මට ඇත්තේ සංතෝෂයකි.

චතුර පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා විය. විවාද කණ්ඩායමේ ද නායකයා විය. ප්‍රබුද්ධ නම් වූ සඟරාවේ කතුවරයා ද විය. පාසල් ජීවිතය නිමා වී අපි වෙන්ව ගියෙමු. යළි අපි හමුවන්නේ ඊට වසර පහළොවකට පමණ පසු දවසක මගේ සේවා ස්ථානයේ දී ය. ඒ සිරස ටැලන්ට් පැක්ටරි ආයතනයේ නායකයා වශයෙනි. ඔහුගේ විවාහ මංගල්‍යයේ ඇරයුම් ලැබූ සීමිත මිතුරන් අතර මමද විය. ඒ විවාහය ඉතා වාසනාවන්ත එකක්ව යහපත්ව ගෙවෙන බව දනිමි.

අපි එක්ව ජීවිතයේ වටිනාකම් ගැන සාකච්ඡා කළ අයුරු මට මතක් කරමි. ඒවා මට බොහෝ සෙයින් වැදගත් විය. චතුරද සිය අයියලා මෙන්ම යහපත් වටිනාකම් නඩත්තු කරමින් දිවිසැරිය ගෙවා දමන බව මම දනිමි. චතුර ඔබට සුබ උපන් දිනයක්ද යහපත් අනාගතයක් ද වේවා.

-චන්ද්‍රරත්න බණ්ඩාර


Friday, 14 January 2022

නවාට උපන් දින තෑග්ගක්....


 ඒ 87-89 භීෂණ සමයයි. මම සේවය කළේ මාර්ග ආයතනයේය. නවා කොමර්ෂල් කොම්පැණියේ සේවය කළේය. බොහෝ විට අපි දෙදෙන එක්ව බස් රථයක නැගී වැඩට ගියෙමු.

එහෙත් එදා දේශප්‍රේමී ව්‍යාපාරය පැනවූ ඇඳිරි නීතියට යටත් දවසක් විය.

එදා බස් රථ ධාවනය වූයේ නැත. එහෙත් අප දෙදෙනාම වැඩට යා යුතුය. එවැනි දිනෙක සාමාන්‍යයෙන් කරන්නේ පාරට ඇවිත් යන හැම වාහනයකටම අත දිගු කිරීමයි. දන්නා අඳුනන කෙනෙක් වෙතොත් වාහනය නවතා අපට ප්‍රවාහන පහසුකම් සලසයි. එදාද වාහනයක් එසේ අප ඉදිරියේ නැවතුනේය. ඒ මහාචාර්ය නලින් ද සිල්වාගේ වාහනයයි. ඉදිරිපස අසුනේ මහාචාර්ය නලින් සමඟ වත්මන් පාර්ලිමේන්තු මංත්‍රී ගෙවිඳු කුමාරණතුංග ද විය. වාහනයට නැගි වේලේ සිට මහාචාරය නලින් මාව වාදයකට පොළඹවා ගන්නට උත්සාහ කළේය. ගෙවිඳු ඔහුට සහාය විය. ඔහුගේ වාහනයේ යන හෙයින් සෑහෙන දුරක් යන තෙක් මම මහාචාර්ය නලින් කියන දෙයක් අසා සිටියා විනා වචනයක්වත් කතා නොකෙළෙමි.

එහෙත් අපේ සේවා ආයතනයේ ප්‍රධානියා ගැන එතුමන් කී බොරුවක් 'නෑ සර් ඒක නම් බොරු' කීවා පමණකි.

වාහනය පැත්තකට කර නැවැත්වීය.

'හ්ම්..වාහනෙන් බහිනවා. බැහැලා ඕනෑ එකක යනවා' කීය.

ඒ නුගේගොඩ අනුලා විද්‍යාලය අසලිනි.

අපි තවත් පැය භාගයක් පමණ එතන සිටි අතර පැමිණි ලංගම බස් රථයක එල්ලී වැඩට ගියෙමු.

ඒත් අපි තවමත් මහාචාර්ය නලින් ද සිල්වා බුද්ධිමය සමාජයේ සිටිය යුතු චින්තකයෙකු ලෙස පිළිගනිමු.