ගාර්ෂියා ලෝකාගේ නාට්‍යයක් ඇසුරෙන් තැනුනු 'නියගලා ප්‍රේමය' නාට්‍යයේ පූරකගේ භූමිකාව රංග භූමිය මත දිග හැරෙන මොහොත, හේමන්ත අරුණසිරි ඡායාරූප වේදියා ඔහුගේ රූපමය පරිකල්පනය ඔස්සේ අපට ප්‍රදානය කරන අයුරු වටහා ගැනීමට මේ සමග ඇති ඡායාරූපය පමණක් වුව ප්‍රමාණවත් ය. මම 'නියගලා ප්‍රේමය' නාට්‍යය නරඹා නැත. බලන්නට අවස්ථාවක් ලැබේදැයි පවා සැක සහිතය. එහෙත් එම නාට්‍ය නොනැරඹීම අඩුවක්ව මගේ රසාත්මක අවකාෂය කනස්සලු කරන්නට මේ ඡායාරූපය පොළඹවයි.
හේමන්ත ඉතා දියුණු ඡායාරූප ශිල්පියෙකි. ඒ දියුණුව වනාහි ශිල්පීය බවෙහි මෙන්ම කලාත්මක බවෙහි මනා සුසංයෝගයකි.
මනා ආලෝකකරණයෙන් පිරිපුන් රංග භූමිය මත රඟන සඳ ට පැවරූ පූරක භූමිකාවට පණ දෙන නිළියකි. හේමන්ත විසින් ඇගේ රංගනය ඡායාරූපමය අවකාෂයක රඳවමින් නාට්‍යයෙන් බැහැරට ගෙන ගොස් නව ආත්මයක් ලබා දෙයි. එය වනාහි අවස්ථාව ඡායාරූපයට නැගීමට සපුරා වෙනස් කාර්යයකි. ඇයගේ පයෝධර යුග්මයට පහතින් සමරූපී සෙවැනැලි යුග්මය වෙත අපේ අවධානය පළමුව ලක්වේ. එතැන් සිට අපගේ ඡායාරූප හා චිත්‍ර පිළිබඳ දැනුම ඇසුරින් අප සතුවූ යම් භාවමය රසයකින් යුතුව අප සමස්ත චිත්‍රය අපගේ පිනවුම් උපකරණයක් එසේ නැත්නම් වස්තුවක් බවට පත්වේ.
හේමන්තගේ ඡායාරූප බහුතරයක් තුළ ශිල්පීය ගුණය හා කවිත්වය (කලාත්මක ගුණය ලෙස මා කලින් හැඳින් වූ දෙයට සුදුසුම වචනය මෙය විය යුතුය.) පරෙස්සමට මුසුවු පීදිමක් නැත්තම් පරිපාකයක් දක්නට තිබේ.
මේ කොරෝනා සමයේ වැඩි වශයෙනුත් ඊට මද කලකට පෙර පවා තමන්ගේ හෝ අනුන්ගේ ඡායාරූපයක් වෙනුවෙන් හේමන්ත ලියන කවිය ඔස්සේ අපගේ සිත යොමු කළහොත් ඔහුගේ ඡායාරූපමය සාක්ෂරතාවයේ විපුලත්වය සොයා ගැනීමට හැකිය. ඔහුගේ කාව්‍යමය චින්තාවන් විසින් අනුප්‍රාණය ලබන ඡායාරූපමය ඇස මෙවන් නිර්මාණ වලට පාදක හේතු වන්නේ යයි මට සිතේ.
හේමන්තගේ ඡායාරූප ලෝකයට යා යුතුය. ඒ සඳහා කවර ක්‍රමවේද පාවිච්චි කළ යුතු දැයි මම නොදනිමි. එහෙත් ඒ ගැන සොයාබැලීමට මටද සිතේ.
-චන්ද්‍රරත්න බණ්ඩාර