Sunday, 27 June 2021

ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන්ට


 

ඔහු පළමුවරට අපට මුණ ගැසෙන්නේ මහනුවර දී 'කාලයේ රාවය' ප්‍රසංගයේ සැලසුම්කරුවෙකු ලෙසින් එක්දහස් නවසිය අසූ ගණන්වල මැද භාගයේ දී ය. ඒ ඔහු සෝවියට් දේශයේ අධ්‍යාපනය ලැබ පැමිණි විගස ම වාගේ ය. ඒ මුණගැසීම සිදුවන්නේ ලංකාවේ 80 දශකය පිළිබඳ නොනැසෙන මතක තබා ගිය නන්දන මාරසිංහගේ සමානයා ලෙසිනි. (මාරසිංහ කවර තරම් අනුහසකින් යුත් අයෙක් වී ද යත් අද පවා ජනතා විමුක්ති පෙරමුණ කවර තරම් ප්‍රතිසංස්කරණයන්ට ලක් වී ඇති නමුත් ඔවුන් අතින් මියගිය අනෙක් සියල්ලට වඩා මාරේ මරා දැමූ පාප මතකයෙන් මිදීමට නොහැකිය. ) 


සුනිලුන්ට කියන්නට බොහෝ දේ තිබුණු බව පෙනුනු නමුත් කියන විලාෂයක් ඒ ආරම්භක අවධියේ ඔහු තනාගෙන සිටියේ නැත. ඔහුගේ දේශන අනවශ්‍ය තරම් දීර්ඝ විය. දේශන ගණනාවක පැහැදිලි කළ යුතු කරුණු එක දේශනයක ගැබ් කිරීමට ඔහු උත්සාහ දැරූ බව මගේ මතයයි. එහෙත් ඔහු කලා සංස්කෘතික සමාජ කණ්ඩායම් සමඟ දිවා රෑ කටයුතු කිරීම නිසාදෝ ඔහුගේ දේශන ශෛලීන් ක්‍රමයෙන් වෙනස් වන්නට පටන් ගත්තේය. එතැන් සිට ක්‍රමයෙන් ඔහු අපට ප්‍රිය මනාප දේශකයෙකු වෙන්නට පටන් ගත්තේය. එපමණක් නොව අප ප්‍රියකරන ධාරාවේ (වාමාංශික?/බහුත්වවාදී?) දේශකයන් පස්දෙනා අතරට ඔහු ඇතුලත් විය. අනෙක් සිව් දෙනා නම් මහාචාර්ය සුචරිත ගම්ලත්, පියශීලි විජේගුනසිංහ, ආචාර්ය ජයදේව උයන්ගොඩ හා තිස්ස අබේසේකරයි. අනෙක් සිව්දෙනාගේ වුව ද අතීතය ඇසුරෙන් වර්තමානය විග්‍රහ කිරීම මිසක අනාගතය වෙත ප්‍රක්ෂේපනය කිරීමක් අපට දැනෙන ආකාරයට කෙරුනා ද යන්න මට ඇත්තේ සැකයකි. එහෙත් සුනිලුන් අද වගේම එදාත් අතීතය, වර්තමානය හා අනාගතය යන කාලත්‍රයම සිය ඥාන විමංසනයට ලක් කළාය යන්න මගේ හැඟීමයි.


ඔහු 1996 දී පමණ ලියූ, ගැඹුරට මුල් විහිදුනු රුවන් වැකියක් බූදුසමය නම් වූ ක්ෂේත්‍රය පිළිබඳ මා තුළ එතෙක් පැවති අදහස් යළි සංග්‍රහ කර ගැනීමට හේතු කාරක විය. ඒ 'සංඝ සමාජයේ අර්ථඵලදායී වෙනසක් වීමට නම් ඒ සඳහා වන කැරැල්ල ආරම්භ විය යුත්තේ භික්ෂු සමාජය ඇතුළතින් මයි' යන වැකියයි. ඔහු එම කරුණු ඇතුලත් ලියවිල්ල බෙදාහරින ලද්දේ ආණ්ඩුව විසින් සිය සාම ක්‍රියාදාමයට පක්ෂව කෘත්‍රීමව සංවිධානය කරන ලද භික්ෂු උද්ඝෝෂණයක දී ය.  එම අදහස් ඔහුට ඇතිවන්නට ඇත්තේ තමන් ඥානනය කර ඇති අනෙකුත් විමුක්තිවාදී මූලධර්ම අනුව විය හැකිය. විසිපස් වසරක් පමණ ගෙවී ගොස් ඇති නමුත් ඔහු පැවසූ කාරණාව තවමත් අනාත වී නොමැත. 


එමෙන්ම දේශපාලනය වැනි භෞතිකවාදී විෂයයක් ජ්‍යෙතිෂය වැනි පාරභෞතික විෂයයන් ඇසුරෙන් විග්‍රහ කිරීමේ භයානකකම එදවස ඔහු කතා කළේය. ඔහුගේ ඒ පුරෝ කතනයන් කෙතරම් නිවැරදිව අද වන විට ඔප්පුවී තිබේද?


අද මම සුනිලුන් දකින්නේ තමා ජීවත්වන රට පමණක් නොව ලෝකයම සඳහා පාර්ශ්වීය නොව සමස්තයම ග්‍රහණය කරගත් සැලැස්මක් සහිත ලංකාවේ ප්‍රමුඛතම විද්වතා ලෙසිනි. බහුවිධ දැනුම පද්ධතීන් ඒ සඳහා ඔහු උපයෝගී කර ගනී. භෞතික විෂයයන් පමණක් නොව මනුෂ්‍ය නිශ්පාදනයන් වන ආධ්‍යාත්මික විෂයන්ට ද ඔහුගේ සැලැස්මේ තැනක් ඇත. ලංකාවේ මෙම දැනුම සාමූහිකත්වය වෙනුවෙන් ඔහු පෙනී සිටී. මගේ ද විශ්වාසය වන්නේ මෙවැනි සැලැස්මකින් විනා පාර්ශ්වීය සැලසුමක් ඔස්සේ මේ රට දියුණු කළ නොහැකි බවයි.

 

මේ සටහනට හිමිකාරයා වු ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන්ට

දිගාසිරි පතමි.

මානිවත්ත අභික්කම...

Thursday, 24 June 2021

ජීවත්වීම යනු ජීවිතයම යළි දිනා ගැනීමකි.


 

ප්‍රාර්ථනා කරකාරෙට බන්දා

හොවා කුසුමකට දෝතට නංවා

ස්වේත වර්ණ පින් පෙලට එකතුවී

බැතියෙන් වර එනතුරු පෙල ඉන්නා

පෑල දොරින් පිවිසුන බැති සින්දා

කල්ප ගනන් කල් එහිම රැඳෙන්නා 

කල පැමිණිය කළ දෝත බැලෙන්නා

කාර බැන්ද මල් පෙති ලියලන්නා

         -විෂ්ණු වාසු

(1982 අප එක්ව පළකළ 'අසික්කිතයාගේ සිහිනය' කවි පොතෙන්)

මේ ඔහුගේ මා ඇස ගැසුණු අතීත ම නිර්මාණ වලින් එකකි.

එතැන් සිට ගෙවී ගිය හතළිස් වසරක අතීතයේ භාෂාවෙන් ,සංගීතයෙන්, සිනමාවෙන් තමන්ගේම අනන්‍යතාවයක් ගොඩ නගා ගනිමින් ඔහු පෙළහැර පෑවේය. ඔහු සෙල්ලම් කළේ තමන්ම තනා ගත් පිට්ටනියකය. එහිදී ඔහු බොහීමියානු ධනපතියකුට සමානය. ඔහු තමන්ගේ බිමක තනාගත් චින්තාවන් ප්‍රකාෂන ලෙස මුදා හරින විට අපව හෙල්ලුම් කවයි. ඔහුගේ ඝටම් සංගීතය, ඔහුගේ සංගීත දෘෂ්ටිය, ඔහුගේ ගුවන්විදුලි වැඩ සටහන් හා ඔහුගේ සිනමාව යන සියල්ලේ මේ හෙල්ලුම් කවන ගුණය තිබිණ. අකල් හි මරු වැළඳ ගත් සිය බෑනනුවන් ගැන ලියූ සටහන තුල ගැබ්වූ විෂ්ණුගේ ස්වරය පාලක පංතිය හෙල්ලුම් කැවිවේය. සිය ශෝකයේ එතූ දේශපාලන චිත්‍රය සමාජයේ සැලකිය යුතු කොටසක් මනාව වැළඳ ගත්තේය.

ඔහු තමන්ට හිමි වූ ජීවිත හා නිර්මාණ කලාපයේ පරිධිය, ස්වොත්සාහයෙන් සිතිජ ඉම තෙක් පළල් කරගත් ආකාරය දකින මට දැනෙන්නේ මහත් සතුටකි. ගෞරවයකි. ජීවිතය යනු සම්ප්‍රදායෙන්, ආගමෙන් හෝ වෙනත් සදාචාර පද්ධතියකින් ලැබෙන දෙයක් ප්‍රවර්ධනය කර ගැනීමම නොවේ. එය සිය ජීවිතයේ ඇඟවුම් වලට අනුකූලව 'ජීවිතයම යළි දිනා ගැනීමකි'.

විෂ්ණු එවැන්නෙකි. ඔහුගේ ජීවිත පොතේ අතීතයේ හමු නොවූ බොහෝ අරුත් මම ගත කරන විප්‍රවාසී ජීවිතයේ දී මට හමුවෙමින් පවතී.දැනෙමින් පවතී. 

මෙහි ලියවුනු හැමදෙයක්ම සටහන් කරන වේලේ මගේ හද ගැසුණු මගේ මිත්‍රශීලී ස්වරය එයාකාරයෙන්ම ඔබට දැනේවා. 


විෂ්ණු වාසු, ඔබට සුබ අනාගතයක්. 

සුබ නිර්මානණීය අනාගතයක්.


-චන්ද්‍රරත්න බණ්ඩාර


Monday, 21 June 2021

මාලනී ගෝවින්නගේ


 

හිස් තැනක් යළිත්

එහෙම එකතුවුනු හිස්තැන් ගොඩක්

තමන්ගේ ම හදබසක් තිබූ

පරම රමණීය හදබසක්...

එකෙනෙහිම දල්වා ගත හැකි 

සිත් අග මෝදු වූ කෞෂල්‍යයන් සමූහයක්

අනාගත දැක්මක් සහිත අතීතානුසාරී දැනුමක්

සතර අගතියට ගොදුරු නොවූ දැනුමක්

අවුල් පත් නොවූ, හීනමානය අධිමානය මුසු නො වූ දැනුමක්.

බයාදු නොවී දෙපයින් ඇවිද ගිය මිනිසුන් අතර සිටි

තවත් එවැනි ගැහැණියක්....

මේ ළිං කටෙන් ඔබ්බේ ලෝකය 

ඒවායේ පිළි රැව් දෙන ගුණ සුවඳත් එක්ක ම

ගෙනවිත් පිරිනමා,රැස්කර ගෙන පිං පිරූ, පිරුණු ගැහැණියක්.

-චන්ද්‍රරත්න බණ්ඩාර

Wednesday, 16 June 2021

රවිලාල් හා යශෝධා විමලධර්ම



 


හැත්තෑ ගණන්වල ගුවන් විදුලිය තනි හයියට අද පවතින පනහකටත් වැඩි රෑපවාහිනී හා ගුවන් විදුලි සේවාවන්ගෙන් කරන සේවාව වගේ දෙගුණයක සේවාවක් කළා. එයත් කළේ භාෂාවත් රැකගෙන, රසිකත්වයත් වඩාලමින් සහ තමන්ගේ ආචාර ධර්ම පද්ධතියකුත් පිළිපදිමිනි. කොටින්ම මාධ්‍ය ක්ෂේත්‍රයේ විද්යුත් අවකාෂය එදා මුළුමනින්ම නියෝජනය කලේ  ගුවන් විදුලියයි. මෙහි විකාශනය වූ සිය ගනන් අගනා වැඩ සටහන් අතර එක වැඩ සටහනක් තිබුණා 'සප්ත රංග' කියලා. එය මෙහෙයවූයේ රවිලාල් විමලධර්ම මහත්තයා. එදා මෙදා තුර මගේ යෞවනයේ කුමක්දෝ භාව කලාපයක් පිනවන හඬ පෞරුෂයක් තිබුණු කෙනෙක් එතුමා. එතුමා මෙහෙයවපු 'සප්ත රංග' අඩපැයක වැඩසටහන පුරා විකාශනය වුනු ශාස්ත්‍රීය හින්දි ගී වගේම එතුමාගේ මෙහෙයවීමත් මට නම් ගීතයක්. එහෙම හඬ අනන්‍යතා තිබුණු කිහිප දෙනෙක්ම ජීවත් වුනේ ගුවන් විදුලිය සෙවනේ. මං හිතන්නේ ඔවුන්ගෙ පරපුරේ ලාබාලයා විතරයි අදටත් සක්‍රිය සේවයේ ඉන්නේ. ඒ සමන් අතාවුද හෙට්ටි. අනෙක් අය එක්කො මියගිහින්. නැත්නම් විශ්‍රාම ගිහිං.

මං කවි ලියන්න පටන් ගත්තෙ රවිලාල් විමලධර්ම මහත්තයාගෙ සප්ත රංග වැඩ සටහන අහලා. ඒක මෙහෙම කිව්වොත් වඩාත් නිවැරදියි. මට කවියෙක් වෙන්න වැඩිම බලපෑම ලැබුනේ විමලධර්ම මහත්තයා සිය සප්තරංග වැඩ සටහනට ලගන්නා සුළු බසකින් පරිවර්තනය කළ හින්දි ගීතවල කාව්‍යාත්මක සිංහල පරිවර්තන අහලා. 2017 වසරේ මා ප්‍රකාශයට පත් කළ 'පිංකම්පොල' කාව්‍ය සංගුහය හඳුන්වා දීමෙදිත් මං මේක කිව්වා. 

එක්දාස් නවසිය අසූ ගණන් මුල් භාගයේ දවසක ආරාධනා වැඩ සටහනක් පටිගත කරනවා බලන්න පදනම් ආයතනයට මං ගියේ පියසේන ගුණතිලකයන් සමඟ. එතුමා තමයි මට සංස්කෘතික සමාජයේ ජීවත්වන හුඟක් දෙනා හඳුන්නලා දුන්නෙ. පියසේන ගුණතිලකයන් එක්තරා ආකාරයට පියෙක් වගේ කෙනෙක්. 'සප්ත රංග' වැඩ සටහන ගැන තිබුණු මගේ පිස්සුව ගැන එදා ආරාධනා වැඩ සටහන නරඹන්න පැමිණි විමලධර්මයන් එක්ක ගුණතිලකයන් කිව්වා. එතකොට විමලධර්ම මහත්තයා හයියෙන් හිනාවෙලා මෙහෙම කිව්වා.' ආ එහෙනං ඒ වැඩ සටහන අහන එක්කෙනෙක් හරි ඉන්නවා.' 


මට මේ අටුවාව ලියන්න පෙළඹුනේ වෙන කාරණයකට ප්‍රවිෂ්ට වෙන්න පාරක් හදාගන්න. මේ මෑත දවසක 'සිහිනයකි රෑ' වැඩ සටහනට පැමිණ සිටියේ රවිලාල් විමලධර්මයන්ගේ දියණිය යශෝධා විමලධර්ම මෙනවිය. සිය පියාගෙන් ලද සම්භාව්‍ය උරුමයේ සැබෑ කොටස්කාරියක බව එදා ඒ වැඩ සටහනෙන් යශෝධා පෙන්වා සිටියා. ඇය හින්දි භාෂාවේ මනා නිපුනත්වයක් ඇත්තියක්. එදා මට කවි ලියන්න බලපෑමක් ඇති කළ සප්තරංග වැඩ සටහනේ සිය පියා කළ ආකාරයටම ඇයත් එදා හින්දි ගීතයන් හි සිංහල පරිවර්තනයන් ඉතාම හොඳින් ඉදිරිපත් කළා.

මේ එදා ඇය කළ පරිවර්තනයක්


කටු ලැහැබ පැටලවුනු

සළුව මුදවා ගතිමි.

සියලු බැමි බිඳ දෙපය

මිණි කිකිණි ලා ගතිමි.


සිසාරා උඩු ගුවන

පියාඹයි හද විමන

වළක්වන්නට එපා පියාඹා ගියාදෙන්

යළිත් ජීවත් වෙන්න ඇත සිතේ කැමැත්තක්.


යළිත් මිය යන්නට

අද සිතේ ඕනෑකමකි.

ජීවිතය හිනැහුනේ කුමක් අත් කරගෙනද?

 ලැබුණු දූවිල්ලක්

හැමූ සැඩ සුළඟක්


(චිත්‍රපටය- ගයිඩ්

 පද-සයිලේන්ද්‍ර

සංගීතය-එස්.ඩී. බර්මන්

ගායනය-ලතා මංගෙස්කාර්)

ඇත්තටම මගේ අදහස නම් යශෝධා, ලංකාවේ රංගධාරිනියක් පමණක් නොව විද්වත් යි හැඳින්විය හැකි කලාකාරියක්. 

-චන්ද්‍රරත්න බණ්ඩාර