ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව ළඟ ළඟ පෙරලූනු බාල්දි අතරින් හතරවන බාල්දිය පෙරලා ඇත්තේ රෝහණ විජේවීරගේ බිරිඳ චිත‍්‍රාංගනී විජේවීර මහත්මිය විසිනි.
විජේවීර මහත්මිය සිය දරුවන් ද සමග දැනට නැවතී සිටින්නේ වැලිසර හමුදා කඳවුරට අයත් නිවස්නයක ය. බලාපොරොත්තු විය හැකි පරිද්දෙන්ම මෙකී පවුල දීර්ඝ කාලයක් බලා කියාගත් නාවික හමුදාව එම වගකීමෙන් නිදහස්වීමට යයි. තමන්ට එරෙහිව නැඟී සිටි කැරළිකාර නායකයෙකුගේ බිරිඳ හා දරුපවුල වසර 25 ක් තිස්සේ බලා කියා ගැනීමම එක්තරා ආකාරයට නාවික හමුදාව් හා රජය කළ ප‍්‍රශංසා කටයුතු කි‍්‍රයාවකි.
රෝහණ විජේවීර මරා දැමුණේ 1989 නොවැම්බර් මාසයේදී ය. ඔවුන්ගේ බාලම දරුවා ඉපදුනේ 1989 නොවැම්බරයේ කියා සිතුවත් ඒ දරුවාගේ වයස අවුරුදු 26 කි. අනෙක් දරු පස් දෙනාම ඊට වඩා වැඩිමහල් විය යුතුමය. එහෙයින් ඒ සියලූ දරුවන්ට හා විජේවීර මහත්මියට තමන්ගේ ම වූ ස්වාධීන ජිවිතයක් ගත කිරීමේ හැකියාව තිබේ. එහෙත් රජයේ අරමුදලින් (මහජන බදු මුදල්වලින්* වසර 25ක්ම ජීවත් වූ ඔවුන් එය නවතින තැන තමන් බලා ගන්නට තම ස්වාමියා අනෙකුන්ගේ සහයද සහිතව තැනූ දේශපාලන පක්ෂයට බලකරයි.
විජේවීර ජනතා විමුක්ති පෙරමුණ තැනුවේ තනිව නොවේ. ඒ සඳහා ජිවිත ද දහඩිය ද කඳුළු ද වැය කළෝ දහස් ගණනකි. අනෙක විප්ලවවාදි පක්ෂයක් තම මිය ගිය නායකයන් නඩත්තු කළ යුතු ආකාරයක් තිබේ. එ් ඔවුන්ගේ ඉගැන්වීම් හා කැපකිරීම් යළි යළි මෙනෙහි කරමින් ඒ ඔස්සේ ය.
දැන් රෝහණ විජේවීරගේ බිරිඳ සිය සැමියා විසින් රචිත පොත් කිහිපයක් නැවත පළ කිරීම වළක්වමින් අධිකරණ කි‍්‍රයාමාර්ගයකට එළඹ තිබේ. මෙය දේශපාලන පක්ෂයකට, එහි අනුගාමිකයන්ට පමණක් නොව බුද්ධිමය සමාජය ද බැ?රුම්ව සිතිය යුතු අනාගත උවදුරක් පිළිබඳ අශෝභන පූර්වා දර්ශයකි.
තවමත් ලංකාවේ බුද්ධිමය නීතිය විසින් මෙවැනි කාරණා පිළිබඳ නිරවුල් ආස්ථානයක සිටිමින් මෙවැන්නක් විවරණය කිරීමට අසමත්ය යන්න මගේ හැඟීමයි. නීතිය කෙසේ වෙතත් දේශපාලන හා සදාචාරය පැත්තෙන් ද විජේවීර මහත්මියගේ හැසිරීම සලකා බැලිය යුතුය.
රෝහණ විජේවීර යනු එතෙක් තිබූ වාමාංශික ව්‍යාපාරයෙන් ද, ලෝක සමාජවාදී ව්‍යාපාරයෙන් ද බොහෝ දේ උගෙන, දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැඟීමට දායක වූ පුද්ගලයෙකි. එහෙත් ඔහුගේ ඒ ව්‍යායාමය සඳහා සිය ජීවිතයෙන් හා දේපළවලින් වන්දි ගෙවූ තවත් දහස් ගණනකි. කැප කිරීම් කළ අප‍්‍රමාණ ජීවිත සංඛ්‍යාවකි.
මාර්ටින් වික‍්‍රමසිංහ හෝ වෙනත් ලේඛකයෙකු ලියන කෘතියක් ඔහුගේ පෞද්ගලික දැනුම සොයා යාමේ අරගලයේ මාහැඟි ප‍්‍රථිඵලයක් වූවාට විජේවීර රචිත කෘති එසේ පෞද්ගලිකව දැනුම සොයා යාමේ අරගලයක කොටසක් පමණක් ම නොවේ. ඒ සඳහා වන දැනුම හා අත්දැකීම් සපයා ගැනීමේ අරගලයට දායක වූවෝ වනාහි සිය ජීවිතයෙන්, දේපළවලින් හා කාලයෙන් සිය ශ‍්‍රමය පුද කළෝ ය. එහෙයින් විජේවීරගේ කායික ජීවිතය ද මානසික ජීවිතය ද නඩත්තු කළෝ ඒ මහා කැප කිරීම් කළ පුද්ගලයෝය.
ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා ජීවත් වූයේ පොත පත ලිව්වේ කියෙව්වේ සිය පෞද්ගලික ධනයේ උපකාරයෙනි. දොස්තර වික‍්‍රමසිංහ දේශපාලනය කළේ සිය වෛද්‍ය දැනුම මගින් උපයා ගත් ධනයෙනි. පීටර් කේනමන් දේශපාලනය කළේ සිය ධනවත් පවුලේ ධනය වියදම් කරගනිමිනි. කොල්වින් ආර් ද සිල්වාගේ කායික හා බුද්ධිමය ජීවිතය නඩත්තු කළේ ඔහුගේ නීතිඥ වෘත්තියෙන් උපයා ගත් මුදලිනි.
එහෙත් විජේවීරගේ තනි පෞද්ගලික ජීවිතය පමණක් නොව ඇගේ දරුමල්ලන් සහිත සුවිශාල පවුලද නඩත්තු කළෝ පක්ෂයය. පක්ෂයට සල්ලි සපයා දීමට මේ රටේ දුගියෝ ද තරුණයෝ ද ශිෂ්‍යයෝ ද වෙනත් තරාතිරම්වල පුද්ගලයෝ ද දායක වූහ. ජවිපෙ කැටවලට සල්ලි නොදැමූ කිසිවකු ශී‍්‍ර ලංකාවේ වෙත් නම් ඒ අතළොස්සකි. ඔවුන්ගේ නියමුවා, ගිනි පුපුර, ආදි පත්තර විකුණන්නට වෙරදරන ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයන් ලක්වන උසුලූ විසුලූ නින්දා මම දැක ඇත්තෙමි. එහෙත් ඒ සා හැඟීමෙන් දායක වූ මිනිසුන්ගේ දහඩිය මහන්සියෙන් පවුලක් නඩත්තු කිරීම ඒ කැටවලට සල්ලි දැමූ පුද්ගලයෙකු වශයෙන් මම නම් විරුද්ධ වෙමි. ඒ අපේ දහඩිය මහන්සිය අපහරණය කිරීමක් සේ මම සලකමි.
ජවිපෙ විජේවීර පවුලේ දේපළක් ද? විජේවීර මහත්මියගේ සොහොයුරා වූ වෛද්‍ය සුභාෂ් ප‍්‍රනාන්දු නැමැත්තා එකළ විදේශයක සිට පැමිණ සිය මස්සිනාගේ හයියගෙන රණ්ඩු සරුවල් කරගත් අයුරු අපට මතකය. විජේවීර මහත්මියගේ හැසිරීම ද ඊට දෙවෙනි නොවේ.
විජේවීර මහතාගේ බිරිය හා දරුවන් වනාහි ඔහුගේ දේශපාලන ජීවිතයේ කොටස් නොව ඔහුගේ පෞද්ගලික ජීවිතයේ ඵලයන් ය. ඒ සුවිසල් පවුලේ යහපත සඳහා පක්ෂ සාමාජිකත්වය, අනුගාමිකයන් හෝ හිතවතුන් කිසිවක් කිරීමේ අවශ්‍යතාවක් හෝ යුතුකමක් නැත. සැබැවින්ම එසේ කරන්නේ නම් ජනතා විමුක්ති පෙරමුණ වටා සිටින මහ ජනකායගේ කැපවීම් අපහරණයේ යෙදවීමකි.