Wednesday, 14 October 2015

වලාකුළු බැම්ම





              මගේ අළුත්ම නවකථාව ''වලාකුළු බැම්ම" ලෙස නම් තැබුවෙමි. නම් ගනනාවක් අතරින් ඒ නම තෝරා ගැනීමට මා මිතුරු නිමල් ඒකනායක හා චූලාභය ශාන්ත කුමාර හේරත්ගේ සහය පැතුවෙමි. නිමල් කොහොමත් කලා කෘතිවලට නම් තැබීමේ ශූරයෙකි.-පුත්‍ර සමාගම-අයි නාලිකාව -උක්දඩු ගින්න-ඒ ශූරකමේ අගනා ප‍්‍රථිපලය. වලාකුළු බැම්මම විය යුතු යයි කීවේ නිමල්ය.

             සමහරවිට මේ මගේ අවසාන විශාල නවකථාව විය හැකිය.පිටු ගණන හයසියයකට ආසන්නය. අවුරුදු තුනහමාරක් මේ සදහා වැය කෙළෙමි. 1997 අවුරුද්දේ -හැන්දෑදුරය- පිටවුනාට පසු නවකතාවක් ලියා නැත්තෙමි.

              වලාකුළු බැම්මේ මා දැන් සිටින්නේ තුන්වනවරට සෝදුපත් බලන අවස්ථාවේය. එය සො‍දුරු කාර්යයක් වෙතැයි කලින් සිතා සිටියත් එය මහත් අසහනකාරී දෙයක් වී ඇත්තේ ජීවන ගැටළු ඒ මතට රොක්වී ඇති නිසාය.එක ඇසක සිදුවී ඇති පෙනුමේ අඩුවක්ද මෙම කාර්යයට බාධා කරයි.

              පොත ප්‍රකාශ කරන්නේ සරසවි ප්‍රනාශකයන්ය. නිමල් ඒ සදහා වන මිතුරු කපුකම කළේය. ප්‍රකාශනය සදහා විධිමත් ක්‍රියාමාර්ග ඉදිරි දෙසතිය තුල ගැනෙනු ඇත.

             කවරය දිනිදුට දෙන්නට සිතා සිටිමි.මගේ පසුගිය කෘති කිහිපයකම කවර නිර්මාණය කළේ ඔහුය.
පරිඝනක අකුරු කළේ මගේ මල්ලී නලින්ගේ මැදිහත් වීමෙනි.එහි තවත් ඉතිරි කොටස් චන්දිමා සොයුරිය ඉටු කළාය.වියරණ බැලුවේ ධර්මරාජ විද්‍යාලයේ විශ්‍රාමලත් සිංහල ආචාර්ය ඩී.බී.හේරත් මහතාය.

             මේ කෘතිය ප්‍රකාශනය වනතුරු මම ආශාවෙන් බලා සිටිමි. ලියා හමාර වූ දා හීන් අඩියක් සප්පායම් වෙමින් නවකථාවේ ගැබ්බර බරින් හෑල්ලුවීමේ සතුට අහිංසකව වින්දෙමි. මට තවත් ධනයක් ඇතැයි සිතුවෙමි. සෝදුපත් බලන විටත් යම් පිරැණු බවක් දැනේ. පොත ප්‍රකාශනයට පත්වනදා කොහොම හිටීවිද?

පතීගේ කලාව


              
             මම ඉන්නේ නැවත ප‍්‍රචාරය වන කඩුල්ල ටෙලි නාට්‍යය නරඹමිනි. දැන් කැනඩාවේ වෙලාවෙන් රාති‍්‍ර 2.00ය. එහි නිර්මාණකරුවා වන්නේ ආචාර්ය ධර්මසේන පතිරාජයන්ය. ඔහු මගේ ලෝකය තුළ සදා නොනිවෙන පහන් තරුවය. මගේ කලාවේ ගමන් තරුව වූයේ ඔහුය. අපි පාසල් යන පැටි වියේදී අපගේ අනාගත ඉරණම රැුඳී පවතින්නේ සිනමාව ඔස්සේ යැයි සිතුවේ පතී නිසා ය. ඔහු අපගේ පාසල වූ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ජේෂ්ඨ ආදී ශිෂ්‍යයෙකි. පතී තිරනාටකය ලියූ හන්තානේ කතාව තිරගත වන විටත් ඔහුගේ පළමු කෙටි චිත‍්‍රපටය වූ ‘සතුරෝ’ හා ඔහුගේ පළමු වෘත්තාන්ත චිත‍්‍රපටය වූ ‘අහස් ගව්ව’ චිත‍්‍රපටය තිරගත වන විටත් ඒවා බැලීමට තරම් තැනක අපි පසු නොවූනෙමු. අප දුටු පතීගේ පළමු චිත‍්‍රපටය වූයේ බඹරු ඇවිත්ය. එය අපගේ රසික ඇස කණා පොල්ලන් ගැස්සවීය. චිත‍්‍රපටය බැලීමෙන් නොනැවතී අපි පාසල් සිසුන් කණ්ඩායමක් සේ පතී සොයා කොළඹ නොදන්නා අපි, කොළඹ ආවෙමු. රාජගිරියේ වැලිකඩවත්ත පාරේ පිහිටි ඒ නිවහන තාම මට මතකය. ජීවිතය සරලව බාර ගන්නා ඔහුගේ විභූතිමත් ඇස් දෙකට හා නොනැසෙන තාරුණ්‍යයට සමාජයේ බොහෝ දේ විෂය වේ යයි අපි සිතුවෙමු. විද්‍යා විෂය හදාරමින් සිටි අප කලාවට පිවිසුණේ අපටත් පතී කෙනෙක් වෙන්නට හැකි යයි සිතාය. පාසල් වියේදීම අපි මත්පැන් තොලගෑවේ පතී බොන නිසාය. ඒවා සුන්දර විභුතිමත් මිනිසකුට අත්‍යාවශ්‍ය එකකැයි අපි සිතුවේ පතී හරහාය. ලෙඩ රෝගවලට මාවත් හෙළි නොකරන්නේ නම් අපි එදා හිතුවා හරිය. (හැම වටිනා දේකම අඳුරු පැත්තක් තිබේ.)
             පතීගේ බඹරු ඇවිත් මම දහ හතර වතාවක් බැලූවෙමි. මහනුවර වේල්ස් සිනමා හලෙන් ගැලවී ගොස් කඩුගන්නාව කීර්ති සිනමා හලේ තිරගතවන විටත් බැලූවෙමි. කැනඩාවට පැමිණත් දෙතුන් වරක් වීඩියෝ මාර්ගයෙන්ද එය නැරඹුවෙමි. හෙටත් මැරෙන තුරාවට අලූත් දැනුමක් දෙන කලා කෘතියක් සේ එය අපට බොහෝ දේ දෙනු ඇත.
             1979 හෝ 80 දවසක පතී අපේ පාසලේ දේශනයකට කැඳවාගෙන යාමටත් මමත් මගේ සගයා වූ ධම්මික මාභරනත් විද්‍යාලපති ඒ. පී. ගුණරත්න ගුරු පියාගේ වාහනයෙන් මහනුවර දුම්රියපලට පැමිණියෙමු. පතී එදා පෙනී සිටියේ ඩෙනිම් කලිසමකිනි. සාක්කු බොහෝ ගණනක් ඇති කපු කමිසයකින්ද සෙරෙප්පු දෙකකින් යුතුවය. එදා ඔහුගේ මනා ආකර්ෂණය අප හිත් බැඳ ගත් නිසා තවමත් අපට ටයි කෝට් ඇඳීම කැමැත්තෙන් කළ නොහැකි ව තිබේ.
            පසු කලෙක විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයන් ලෙස පතී බුහුමන්  ලබන සමයේ (1998) මාද මැදිහත්ව තැනූ ‘ධර්මරාජ විද්‍යාලයීය කලා සංගමයේ’ ප‍්‍රධාන ආරාධිතයා ලෙස පතී කැඳවූවෙමි. ඊට වසර තුනකට පෙර ආරම්භ වූ මේ කලා උළෙලේ ආරාධිතයා වූයේ අග‍්‍රාමාත්‍ය රත්නසිරි වික‍්‍රමනායක, ජී.ඇල්. පීරිස්, සරත් අමුණුගම හා බැටී වීරකෝන්ය. ඔවුන් පැමිණියේ මනා පූර්ණ බටහිර ඇඳුමෙන් සැරසීය. පාසල් සිසුන්ගේම යෝජනාවක් අනුව දේශපාලකයන් පසෙක තබා මහා කලාකරුවන් ප‍්‍රධාන අමුත්තන් සේ සහභාගි කරගැනීමට තීරණය විය. ඒ පළමු තේරීම අපේම ආදි ශිෂ්‍යයෙකු වූ පතිරාය. පතීද මේ කලා උළෙලට ඊට පෙර නොවරදාවම සහභාගි වී තිබුණි.
          බටහිර හා පෙරදිග තූර්ය වාදක කණ්ඩායම් දෙක පෙරටු කරගත්, විද්‍යාලාධිපතිතුමා ආදි ශිෂ්‍ය සංගම් සභාපති හා කලා සංගම් ප‍්‍රධානීහු ප‍්‍රධාන අමුත්තා පිළිගැනීමට සිසුන් දින තුනක් දිවා ? මහන්සිවී තැනූ තොරණ පාමුල රැුඳී සිටියෙමු. පතී පැමිණියේය. ඒ අප සිතූ විදිහට නොවේ. හැමදාම අඳින අමුතු කමිස වෙනුවට සුදු කමිසයක් හැඳ සිටියේය. ඒ්ත් මඳක් අත් නමාගෙනය. විදුහල්පතිවරයාගේ සිනාවත් ඇඹුල්වීමත් අතර මුහුණ මම දුටුවෙමි. එහෙත් සියල්ල යථා පරිදි සිදු විය.
       එකළ අප දිනපතා හෝ සතිපතා කිහිප දිනක්වත් බ්ලූම්පීල්ඞ් සමාජ ශාලාවේදී  හමු වී කලාව ගැන කථා කළෙමු. පසුදාට කවර තරමේ වැඩ රාජකාරි තිබුණත් පතී නික්ම යන තෙක් බිබී සංවාද කෙළෙමු. නිමල් ඒකනායක, නැසීගිය විමල් හලංගොඩ, ලයනල් වික‍්‍රම, සුනිල් සිරිසේන මහින්ද සේනානායක (විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ) ඒ පිරිස් අතර විය.
       2014 අවසන්වරට ලංකාවට ගිය විටත් ඒ හමුව එසේම පැවැත්විණි. විමල් හලංගොඩ මිය ගොසිනි. ලයනල් ආවේ නැත. ඩොනල්ඞ් කරුණාරත්න හා ජයලත් මනෝරත්නද විය. එදා ඒ කථාකරන සෙනෙහෙබර ඇස් වලින්ද සංයමශීලී බුද්ධිමත් වචන පිටකරන මුවින් ද පතී අප හා කථා කළේය. පතීගේ වයස දැන් අවුරුදු 72 ක්ලූ. එතරම් නොනැසෙන තාරුණ්‍යයක් මම දැක නැත්තෙමි. අපට ඔහුගේ අනුගමනය කළ නොහැකි වූ බොහෝ දේ අතර නොනැසෙන තාරුණ්‍යයක් පවත්වා ගැනීමට ඔහු අත්දුටු ක‍්‍රමවේද අප අත්නොදිටුවෙමු. ඔහු මෙන් අනාගාමිකයෙකු වීමට අපට බැරි විය. ඔහු මෙන් පූර්ණ භෞතිකවාදියකු වීමට අපට බැරි විය. ඔහු මෙන් පතලා වූ මානව හිතවාදයක් දරා සිටීමට බැරි විය. ඔහු මෙන් නව දැනුම ඉවසන්නෙකු වීමට අපට බැරි විය. ඔහු මෙන් සිය පෞද්ගලිකත්වය සරලවද ඒ හා සමානවම බැ?රුම්වද ගැනීමට අපට නොහැකි විය. ධන ධාන්‍ය බව භෝග සම්පත්වලට උකටලීව සිටීමට අපට නොහැකි විය.
      බොහෝ දෙනා තොරොම්බල් කරන ගෞතම සිද්ධාර්ථ චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට පළමු ඇරයුම ලැබුණේ පතීටය. ඔහු එය බාරගෙන පිටපත ද ලියූ බව සැලය. එහෙත් එහිදී චිත‍්‍රපටය වෙළඳාමේ දී ඇති විය හැකි බාධා දුරලීමටදෝ අප දන්නා තරමින් ආගම් ගැන එතරම් තැකීමක් නොකරන චිත‍්‍රපටයේ නිෂ්පාදක නවීන් ගුණරත්න පිටපත ‘පුරාවිද්‍යා චක‍්‍රවර්තී’ එල්ලාවල මේධානන්ද භික්ෂුව වෙත අනුමැතිය පතා යොමු කළ යුතු යයි යෝජනා කර ඇත. පතී ඒ සඳහා විරුද්ධ වූවා පමණක් නොව එකී ව්‍යාපෘතියෙන්ද ඉවත් විය. අප තොරොම්බල් කරමින් නැරඹුයේ ඒ කලාව මරා උපන් දේවගුත්ත නාමධාරී සිද්ධාර්තය.
          පතී යනු මාවත් ගණනාවකින් සොයා යා හැකි මිනිසෙකි. මා ආරම්භකව සිතු මාවතෙන් බොහෝ දුර ගියෙමි. යළි මම එහි පැමිණියෙමි.
         අපගේ සිනමා ආගමනය සිදු නොවූයේත්, පතීට සිනමා දිවියෙන් බොහෝ කලකට වෙන්වීමට සිදු වූයේත්, එකම හේතු කාරණා නිසා ය. විවෘත ආර්ථිකය පැමිණීම, සිනමාවේ ආගමනය, 83 කළු ජූලිය හරහා ජනයාගේ විනෝද සිත් ඇහිරීම, සිනමාව ආයෝජන ක්ෂේත‍්‍රයක්ව තිබූ අවධිය විවෘත ආර්ථිකය හරහා ඇහිරී යාම ඒ  කාරණාය. මට වසර මතක නැත. එහෙත් ගැහැණු ළමයි චිත‍්‍රපටයේ රඟ පෑම වෙනුවෙන් වසන්ති චතුරානිට හොඳම නිළියට හිමි කතෝලික සිනමා පර්ෂදයේ සම්මානය ලැබුණු වසර විය. එදා මමද ඒ උත්සවය බැලීමට ගොස් සිටියෙමි. එදා සරල පතීට ගාම්භීර ගාමිණී ෆොන්සේකා හමුවිය. ඒ දෙදෙනා හුවමාරු කරගත් දෙබස අවුරුදු 30 කට පමණ පසුවත් මට මතක තිබේ.
ගාමිණී : කොහොමද පතී.
පතී : ඔහෙ ඉන්නවා.
ගාමිණී : ළඟදි ඔයාගේ චිත‍්‍රපටයක්වත් දැක්කෙ නෑ.
පතී : කෝ අපිට චිත‍්‍රපටි හදන්න සල්ලි වියදම් කරන්න නිෂ්පාදකයො.
ගාමිණී ලජ්ජාවෙන් සිනාසෙමින් ඉවත්ව ගියා මට මතකය.
         අපගේ සිනමා සිහිනය වැළකුණේ ද පතීලා චිත‍්‍රපට නොහැදු නිසාය. අප එල්ලෙන්නට සිතා සිටි පතීටද ඒ ආර්ථික සමාජ දේශපාලන වාතාවරණය තුළ චිත‍්‍රපට නොලැබුණේය. අපි ඉන් විතැන් වී ලේඛන කලාවට පිවිසියෙමු. එය අප මිනිසුන් ලෙස ඔසවා තැබීය.
       ඒ දීර්ඝ විරාමයට පසු පතී චිත‍්‍රපටයක් 2000 දී පමණ නිෂ්පාදනය කළේය. ඒ ”මතුයම් දවසක’’ යි. ඒ ගැන මම කිසිත් නොකියමි.
      සැබැවින්ම ඔහුගේ නැවත  ආගමනය සිදු වන්නේ ‘සක්කාරං’ සමගය. එය තුළ පතීගේ නිර්මාණාත්මක  ජීව ගුණය රැුඳී ඇතැයි සිතමු.